යටිපතුල් ඉරි තැලිලා

සැප්තැම්බර් 2, 2020

 

ප්‍රශ්නය

මම 36 හැවිරිදි මාගේ දෙපතුල් කාලෙන් කාලෙට ඉරි තැලෙයි. ඒ නිසා මාගේ දෙපතුල් ඉතා අවලස්සනයි. මෙයට කුමක් කළ යුතු ද?

මහව - රංගිකා

 

පිළිතුර

යටිපතුල් ඉරිතැලිම එසේත් නැත්නම් පැළීම ගැහැණු පිරිමි දෙපාර්ශවයම පිඩාවිඳින කාරණයකි. මෙම තත්ත්වය වඩාත් උග්‍ර අතට හැරුණොත් ඇවිදීමට පවා අපහසුවන අතර ඇතැම් අවස්ථාවලදී ලේ ගලන තත්ත්වයට පත්වෙයි. යටිපතුල් පැළීම බොහෝ තරුණ අයට තිබෙන ගැටලුවක් බවත් අනිවාර්යයෙන්ම කිව යුතු කරුණක්. වේදනාව හා අප්‍රසන්න පෙනුම නිසා මානසික පීඩාවන් ඇති කරනවා. එහෙත් නිවැරැදි ප්‍රතිකාරවලින් මෙය යථා තත්ත්වයට පත්කර ගත හැකියි.

යටි පතුල් පැළීමට හේතු කිහිපයක්ම බලපානවා. වියළි සම, දියවැඩියාව, තයිරොයිඩි ග්‍රන්ථියේ ඇතිවිය හැකි යම් රෝග, තරබාරු කම, දීර්ඝ වෙලාවක් සිටගෙන සිටිම, සමට නො ගැළපෙන පාවහන් පැලඳීම වැනි හේතු බලපෑ හැකියි.

සාමාන්‍ය උණූ වතුරවලින් ඔබේ යටිපතු පොඟවන්න උනුවතුරවලට ඔබේ සම සිනිඳු වි එය ඉවත් කර ගැනිමට පහසු වෙනවා. මෙයට සබන් හෝ ෂවර් ජෙල් ස්වල්පයක් එකතුකර ගන්න. මෙහි විනාඩි 10ක් පමණ හොඳින් ඔබේ යටිපතුල් පොඟවගන්න. මෙම ක්‍රියාව මඟින් ඔබේ යටිපතුල්වල ඇති ගොරෝසු සම හොඳින් ඉවත් කර ගැනිමට හැකියි.

එසේ උණුවතුර මඟින් සිනිඳු කර යටිපතුල්වල ඇති සම හිමිහිට ඉවත් කර ගත යුතු වෙනවා. වේදනාවක් නොවෙන ආකාරයට හිමින් මෙය ඔබට කර ගත හැකියි. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් පාවිච්චි කරන සිනිඳු ගලකින් (පියුමික් ස්ටෝන්) ඉතා පහසුවෙන් කර ගත හැකියි.

එම ප්‍රදේශයේ මැරුණු සම තව දුරටත් හොඳින් ඉවත් කර ගැනිම සඳහා ඔබට අවශ්‍ය වන්නේ එසෙන්ෂල් ඔයිල් ස්වල්පයක් සහා සිනී ස්වල්පයක් පමණි. සිනී සහා ඔයිල් හොඳීන් මිශ්‍ර කර ගන්න. පසුව එම මිශ්‍රණය යොදා ගනිමින් වක්‍රාකාරව දෙපතුල් පිරිමදින්න. මෙහිදී මැරුණු සම සම්පූුර්ණයෙන්ම ඉවත්කර ගන්නට හැකියාව තිබෙනවා. අවසානයේ දී සබන් හෝ ෂවර් ජෙල් මිශ්‍රකරන ලද උණුසුම් වතුරෙන් දෙපතුල් හොඳින් සොදා ගන්න.

ඉදුණු කෙසෙල් ගෙඩියක් පොඩි කරගෙන ලෙමන් යුෂ සමඟ මිශ්‍රකරගන්න. එලෙස සදාගත් මිශ්‍රණය දෙපතුල්වල ආලේපකොට විනාඩි 10ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු සෝදා හරින්න.

නිදාගැනිමට පෙර ඔලිව් තෙල්වලින් දෙපතුල් හොඳීන් සම්භාහනය කරන්න. පසුව පුළුන්වලින් සාදන ලද මේස් එකක් පලඳිනවා නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

 

 

2020/09/02 තරුණි බලන්න