පිග්මන්ටේෂන්වලට විසඳුමක් නැති ද?

ඔක්තෝබර් 7, 2020

ප්‍රශ්නය

මම 32 හැවිරිදි කාන්තාවක්මි. මුහුණ පුරාම කළු පැහැ අඳුරු ලප හටගෙන ඇත. රූපලාවණ්‍යාගාරයකට ගොස් ඒ ගැන විමසූ විට ඇය පැවසුවේ මෙය පිග්මන්ටේෂන් තත්ත්වයක් බවයි. ඒ සඳහා සති කිහිපයක් ප්‍රතිකාර ලබා ගත්ත ද නැවැත එම තත්ත්වය ඇති වේ. මෙයට නිවැරැදි පිළියම කුමක් ද?

කුරුණෑගල - දර්ෂි

 

පිළිතුර

පිග්මන්ටේෂන් කියා හඳුන්වන්නේ සමේ සමහර තැන්වල මෙලනින් වැඩි වශයෙන් එක් වී අඳුරු ලප හා තිත් ඇති වීමයි. පිග්මන්ටේෂන් ඇති වීමට හේතු කිහිපයක්ම බලපානවා. මෙලනින් වර්ණකය සමේ තැනින් තැන එක් රැස් වීම මඟින් පිග්මන්ටේෂන් ඇති විය හැකියි. සම අධික හිරු එළියට නිරාවරණය වීමේ දී පාරජම්බුල කිරණ වල බලපෑම මඟින් ද පිග්මන්ටේෂන් ඇතිවිය හැකියි.

ගර්භණී සමයේ ඇති වන සංකූලතා ද පිග්මන්ටේෂන් ඇති වීමට හේතුවකි. ගර්භණී සමයේ ඇති වන මෙම ලප දරුවා බිහි වීමෙන් පසු නැති වී යයි.

ජානවල බලපෑමක් හෝ හෝමෝනවල බලපෑමක් හේතුවෙන් බ්ලීචිං සහිත ක්‍රීම් වර්ග ආලේප කිරීම, උපත්පාලන පෙති භාවිත කිරීම, රසායනික ද්‍රව්‍ය සහිත, ප්‍රමිතියෙන් තොර වර්ණක හිස කෙස් වර්ණ ගැන්වීමට යොදා ගැනීම, යම් රෝගයක් වෙනුවෙන් ලබා ගත් බෙහෙතක අතුරු ඵලයක් වීම, වයස්ගත වීමත් සමඟ මුහුණේ ඇති මැරුණු සෛල සහ මෙලනින් වර්ණකය එකට එක් වීම වැනි හේතු බොහොමයක් ඊට බලපායි.

පිග්මන්ටේෂන් තත්ත්ව සඳහා වඩා සුදුසුවන්නේ ස්වාභාවික සත්කාරයන්ය. මේ සත්කාරය සඳහා අර්තාපල්, කැරට්, කෝමාරිකා, මී පැණි, කහ දොඩම්, දෙහි, හාල් පිටි, කහ සහ කඩල පිටි අවශ්‍ය වේ.

අර්තාපල් හොඳීන් ශුද්ධ කර බ්ලෙන්ඩ් කර ගන්න. කැරට් කුඩා කැබලිවලට කපා බ්ලෙන්ඩ් කර ගන්න. කහ දොඩම් ගෙඩියේ හා දෙහිවල ඉස්ම මිරිකා ගන්න. කෝමාරිකා මදය වෙන් කර ගන්න. කැබලි දෙකක් දෙකට පලා තබා ගන්න.

හොඳීන් සෝදා ගත් මුහුණ කෝමාරිකා මදවලින් ක්ලෙන්සර් කර ගන්න.

ඉන්පසු තෙත ස්පොන්ජ් එකකින් ක්ලෙන්සර් එක උඩු අතට ඉවත් කරන්න.

බ්ලෙන්ඩ් කරගත් අල තේ හැන්දක්, හාල් පිටි තේ හැන්දක් සහ ලෙමන් යුෂ ටිකක් ගෙන ස්ක්‍රබ් එක සකසා ගන්න. පිග්මන්ටේෂන් ඇති ස්ථානවල කවාකාරව විනාඩි විස්සක් පමණ ස්ක්‍රබ් කරන්න. එය තෙත ස්පොන්ජ් එකකින් ඉවත් කර ගන්න. අල තේ හැන්දක්, කැරට් තේ හැන්දක් , කඩල පිටි තේ හැඳි දෙකක්, කහ කුඩු තේ හැඳී කාලක් කහ දොඩම් ඉස්මවලින් මිශ්‍ර කරන්න.

ඉන්පසු පිග්මන්ටේෂන් ඇති තැන්වලත් සම්පුර්ණ මුහුණ මතත් මෙය ආලේප කරන්න.

ඇස් මත පැක් එක ආලේප කළ නොහැකි නිසා සිහින්ව කැපූ අල පෙති දෙකක් ඇස්මත තබන්න. ටික වෙලාවක් තබා සෝදා හරින්න. මේ සත්කාරය සති දෙකකට වරක් මාස 4ක පමණ කාලයක් නොකඩවා කරන්න. වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකියි.

2020/10/07 තරුණි පුවත්පත බලන්න.