කවරය සරසන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ

කවරයේ කතාව
අගෝස්තු 11, 2021

 

කෝවිඩ් වසංගතය මුළු ලොවම ගිල ගනිද්දී අපේ ජන ජීවිතත් එහෙම පිටින්ම කඩාගෙන වැටුණා. යන්තම් කෝවිඩ් මාරයා පරාජය කර රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙද්දී රැලි පිට රැලි පැමිණෙමින් යළි යළිත් අප කුමක් කරන්නද කියන තැනට පත්වුණා.

මේ වසංගතය හමුවේ වඩාත් අපහසුතාවන්ට පත්වුණේ පති කුලයට යන්නට සිහින මැවූ තරුණ තරුණියන් කීවොත් ඔබ එකඟ වේවි. තමන්ගේ ජීවිතයේ උදාවන හොඳම දිනයේ ලස්සනට හැඩ වෙන්න, ඒ දිනය සදා සිහිපත් කළ හැකි ලෙස ඡායාරූප ගත කරගන්න දහසකුත් සිහින දුටු ආදරණීයයන් පසුගිය දිනවල සිටියේ කර කියා ගන්නට දෙයක් නොමැති ලෙසින්. මේ නිසා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ, ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයේ පිරිස ද සිටියේ ඉතාමත් අසරණ වෙලා.

මංගල දිනයේදී සොඳුරු මානාලියක් ලෙසින් හැඩ වී සැමගේ ආකර්ෂණය දිනාගන්න නම් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සහය අවශ්‍යමයි.

එහිදී රූපලාවණ්‍ය, ඇඳුම් නිර්මාණය සහ ඡායාරූපකරණය යන අංග කිහිපයේම සාර්ථකත්වය ඉතාම වැදගත්. එවන් ක්ෂේත්‍ර කිහිපයකම ජාත්‍යන්තරය පවා ජයගත් ප්‍රවීණයන් කිහිප දෙනෙක් ගැනයි අද කතා බහ කරන්නේ..

එලෙස මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන ප්‍රණීත් රණවීර, ඡායාරූපකරණය සහ ඇඳුම් විලාසිතාකරණයෙන් ජාත්‍යන්තරය ජයගත් රැෆෙලා ප්‍රනාන්දු, මනාලියන් හැඩගැන්වීමේ ප්‍රවීණයකු වන ලක්කිත උක්වත්ත සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ හිනිපෙත්තෙහි සිටින නිරෝෂා රණසිංහ තරුණී සමඟින් කතා බහකට එකතු වුණා.

කෝවිඩ් අවදානම වැඩි වෙලා නිසා හැමෝම තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ

 ප්‍රණීත් රණවීර

 

ප්‍රණීත්, මේ දිනවල ඔබේ වැඩ කටයුතු කොහොම ද?

විවාහ උත්සව කරන්න අවසර දුන් නිසා නැවතත් කාර්යබහුල වෙලා. ඇඳුම් නිර්මාණය පැත්තෙන් විශාල වැඩ කොටසක් වෙනවා. ඒ වගේම මං ගුවන් විදුලිය සහ රූපවාහිනී වැඩසටහන්වලට හඬකැවීම් අංශයෙන් දායක වෙනවා.

ප්‍රණීත් කියන්නේ කවු ද?

මෝස්තර නිරූපණ ශිල්පය පිළිබඳ උපාධිධාරියෙක්. මෝස්තර නිරූපණ ශිල්පය කියන්නේ තමන් සතු නිර්මාණශීලී හැකියාව උපයෝගී කරගෙන තව කෙනෙක්ව ලස්සන කරන එක. ඒ වගේම මම මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කළ කෙනෙක්. දැනට ප්‍රධාන වශයෙන්ම Fashion Designer කෙනෙක් වශයෙන් ක්ෂේත්‍රය තුළ වැඩ කටයුතු කරගෙන යනවා. මගේ ගම මාතර. මගේ පාසල තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය. උසස් පෙළින් පසුව මාධ්‍ය පිළිබඳ හදාරන්න ගත්තා. ඉන්පසු ජාතික රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රවෘත්ති නිවේදනයෙන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට කටයුතු කළා. දැනටත් ඒ කටයුතු කරගෙන යනවා.

ෆැෂන් ඩිසයිනර් වැනි ක්ෂේත්‍රයක් තෝර ගන්න හිතුවේ ඇයි?

මං දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 10ක් වෙනවා. මෙය වැඩි දෙනෙක් තෝර ගන්නේ නැති ක්ෂේත්‍රයක්. මං හිතන්නේ ලංකාවේ පිළිගත් වෘත්තීමය ඇඳුම් නිර්මාණකරුවන් ඉන්නේ මාත් එක්ක 4ක් 5ක් පමණ. මට මේ ක්ෂේත්‍රය ගැන ආසාවක් ඇති වුණා. මං කුඩා කාලයේදී දැකලා තියෙනවා මගේ ආච්චි අම්මා ලස්සනට ඇඳුම් මහනවා. ඇය මැහුම් ගුරුවරියක්. ඒ දේවල් එක්ක ආසාවක් ආවා.

*පවතින කෝවිඩ් තත්ත්වය එක්ක බොහෝ ක්ෂේත්‍රවලට බලපෑමක් කළා. ඔබේ ක්ෂේත්‍රයට එය බලපැවේ කොහොම ද?

කෝවිඩ් තත්ත්වය කලා ක්ෂේත්‍රයට සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට විශාල බලපෑමක් කළා. ඇඳුම් නිර්මාණයත් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයත් සමගාමිව යන ක්ෂේත්‍ර දෙකක්. ඉතිං මගේ ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් වුණා. විවාහ උත්සව ඇතුළු සියලුම උත්සව නැවැත් වූ නිසා. නමුත් දැන් අපේ ක්ෂේත්‍රයේ තත්ත්වය යහපත් අතට හැරී තිබුණත් කෝවිඩ් අවදානම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා හැමෝම තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ.

ඉදිරි සැලසුම් ගැන කතා කළොත්..

ප්‍රණීත් රණවිර Designing ware කියන මගේ ෂොප් එක තියෙන්නේ කළුබෝවිල. ලන්ඩන්වලත් ශාඛාවක් තියෙනවා. ඒ වගේ තව ශාඛා කිහිපයක්ම ආරම්භ කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

 දැන් ගොඩක් තරුණියන් ඡායාරූපකරණයට පිවිසිලා

 රැෆෙලා ප්‍රනාන්දු

රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ Fashion Designer කෙනෙක් ද? Photographer කෙනෙක් ද?

මම fashion Designer වලින් තමයි පටන් ගත්තේ. මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ගෙවෙන්නේ 15 වැනි අවුරුද්ද. ඊට පස්සේ තමයි මම photography වලට ආවේ. Photography වලට ඇවිත් අවුරුදු 12ක් විතර වෙනවා. මං ගොඩක්ම කැමැතියි photography වලට. පාසල් යන කාලේ ඉඳන්ම හරි ආසයි ෆොටෝස් ගන්න.

ඡායාරූපකරණය ඇතුළේ රැෆෙලා කරන්න හදන වෙනස මොකක් ද?

මම උත්සහ ගන්නේ සංකල්පීය වෙනසක් කරන්න. Conceptualize photography ලංකාවේ ගොඩක් අඩුයි. නමුත් විදේශ රටවල Conceptualize photography තමයි fashion photography වලට වඩා ගොඩක් කතා කරන්නේ. මමත් හරි කැමැති එවැනි දේවල්වලට. මගේ ෆොටෝස්වල තියෙන විශේෂත්වය තමයි කවුරුත් නොදකින කළු පාට, අඳුරු ගතිය වැඩියි. ඒක තමයි මගේ ඡායාරූපකරණය ඇතුළේ තියෙන විශේෂත්වය.

කාන්තා පාර්ශ්වය ඡායාරූපකරණය වැනි ක්ෂේත්‍රයක් තෝරගන්නේ හරිම අඩුවෙන්...

පටන් ගත්ත මුල් කාලයේ ඇත්තටම කාන්තා පාර්ශ්වය ඉතාමත් සීමිත වීම ප්‍රශ්නයක් වුණා. මගේ වැඩවලදී තාත්තා ළඟින්ම හිටියා. මං හිත හයිය කරගෙන මගේ ගමන ගියා. නමුත් දැන් ගොඩක් තරුණියන් ඡායාරූපකරණයට පිවිසිලා තියෙනවා. උගත්කම සහ දක්ෂතාවය එක්ක දැන් කාන්තාවන්ට සම තැන දෙන්න පටන් අරන් තියෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්.

Fashion Designing ඇතුළේ රැෆෙලා කරන්නේ මොනවගේ දේවල් ද?

මං එක රාමුවකට කොටු වෙලා ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි. Designing, photography, styling වලට අමතරව Art Direction කරනවා. ඒ වගේම මෝස්තර නිර්මාණකරණය සම්බන්ධයෙන් ඉගැන්වීම් කටයුතු කරනවා. මං fashion school දෙකක කථිකාචාර්යවරියක් විදිහටත් කටයුතු කරනවා.

මේ තැනට ආවේ කොහොම ද?

මං ගොඩක් පොඩි වයසෙන් තමයි වැඩ පටන් ගත්තේ. ක්ෂේත්‍රයට එද්දි වයස අවුරුදු 14යි. අවුරුදු 18දී උපාධිය ගත්තා. මගේ අම්මා තාත්තා මට ගොඩක් උදව් කළා. පටන් ගද්දී හිතුවේ නැහැ ඇත්තටම මේ වගේ තැනකට මට එන්න ලැබෙයි කියලා. අද මං ඒ තැනට ඇවිත් ඉන්නවා. මගේ සැමියා මගේ වැඩකටයුතුවලට ලොකු සහයෝගයක් දෙනවා. ඉතිං මං ගැන මට ඇත්තටම සතුටුයි.

 කෝවිඩ් නිසා වැඩිම බලපෑම වුණේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට

ලක්කිත උක්වත්ත

කාලෙකට පස්සේ විවාහ උත්සව ඇතුළු අනෙකුත් උත්සව පවත්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ඔබත් ඒ කටයුතු නිසා කාර්යබහුලව ඇති....

කෝවිඩ් තත්ත්වයත් එක්ක හැමෝටම නිවෙසෙට වෙලා ඉන්න වුණා. වැඩිම බලපෑම වුණේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට. මොකද මේ ක්ෂේත්‍රය තුළ මීටරයක් දුරින් ඉඳන් හරි සේවාදායකයාට දුරින් ඉඳලා සේවාව සපයන්න බැහැ. මුහුණට කරන සත්කාරයක් නම් අනිවාර්යයෙන්ම මාස්ක් ඉවත් කරන්න වෙනවා. මේක්- අප් එකක් වුණත් දාන්න මාස්ක් ඉවත් කරන්න ඕනේ. ඒ වගේම සෙනඟ ඒකරාශී වන නිසා විවාහ උත්සව නැවැත්තුවා. විවාහ උත්සව නැති වෙනවා කියන්නේ රූපලාවණ්‍ය ශිල්පීන්ගේ ආර්ථිකය කඩා වැටෙනවා. නමුත් දැන් විවාහ උත්සව පවත්වන්න අවස්ථාව ලැබිලා තියෙන නිසා කල් ගිය විවාහ උත්සව එක දිගට කරගෙන යනවා. ලබන සතියේ විවාහයට දින දාගන්නේ මේ සතියේ. ඒ නිසා කාර්යබහුලයි.

ඔබ රූපලාවණ්‍ය වැනි ක්ෂේත්‍රයක් තෝරා ගන්න හිතුවේ ඇයි?

මා මුලින්ම සහකාර ගණකාධිකාරීවරයෙක් විදිහට කටයුතු කළේ. ඒ අතරතුර රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වැඩකටයුතුත් කළා. කාලයක් යද්දි මට තේරුණා මං තෝර ගන්න ඕනේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රය කියලා.

රූපලාවණ්‍ය වැනි ක්ෂේත්‍රයක් කොල්ලෙක් තෝර ගන්න කොට මිනිස්සු විවිධ විදිහට තමයි ඒක දකින්නේ.

ඒක තමයි ඉතිං මිනිස්සුන්ගේ ස්වභාවය. නමුත් මගේ අම්මයි තාත්තයි කිව්වේ මට හොඳයි කියලා හිතෙන දේ තෝරගන්න කියලා. ඊට පස්සේ මං රැකියාවෙන් ඉවත් වෙලා මගේ මුළු වෙලාවම වෙන් කළේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට. දැන් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 12ක් වෙනවා.

ඒ වගේම ඔබ රූපලාවණ්‍ය ආචාර්යවරයෙක්..

මං ක්ෂේත්‍රයට ආවේ උපතින්ම ලද හැකියාවෙන්. නමුත් ක්ෂේත්‍රයට පිවිස කාලයක් යන විට මට තේරුණා කොච්චර හැකියාව තිබුණත් අපේ නිපුණත්වය පෙන්වන්න සහතිකයක් අවශ්‍යයි කියලා. ඉන්පසු මං ඩ්‍රීම්රෝන් කොලේජ් එකේ රූපලාවණ්‍ය පාඨමාලාව අවසන් කළා. දැන් මං ඩ්‍රීම්රෝන් කොලේජ් එකේම රූපලාවණ්‍ය ආචාර්යවරයෙක් විදිහටත් කටයුතු කරනවා. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන අයට ගුරුහරුකම් දෙන්න ලැබෙන එක මට සතුටක්. දිනෙක ඔවුනුත් මේ ක්ෂේත්‍රයේ ඉහළම තැන්වල ඉදියි.

*අද ඔබ සිටින තැන ගැන ඔබට මොකද හිතෙන්නේ..

ඇත්තටම මට සතුටුයි. ජීවිතයේ අරමුණු තියාගන්න ඕනේ. මම මේ කාලේ මේ වෙද්දී මේ තැනක ඉන්න ඕනේ කියලා ඒ වෙනුවෙන් මහන්සි වුණොත් හැමෝම සාර්ථකයි. අනිත් එක මේ ක්ෂේත්‍රයට දිනෙන් දින අලුත් දේවල් එකතු වෙනවා. ඒ නිසා මම තමයි හොඳම කෙනා කියලා කාටවත් කියන්න බැහැ. ඉතින් අපි ඒ හැමදේම හරියට කළොත් තමන්ට තමන් ගැන සතුටු වෙන්න පුළුවන් තැනකට එන්න පුළුවන්.

 මට ගොඩක්ම වටින්නේ කෙනෙක්ව ලස්සන කරලා ලැබෙන සතුටයි

 නිරෝෂා රණසිංහ

*ඔබ රූපලාවණ්‍ය ශිල්පිනියක්.

මං වෘත්තීමය රූපලාවණ්‍ය ශිල්පිනියක්. මං මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 15ක් වෙනවා. මගේම උත්සහයෙන් ආපු ගමනකින් තමයි මං මේ තැනට ආවේ. කිරිබත්ගොඩ සැලෝන් Deesha'A මගේ ආයතනය. මගෙන් ලස්සන වෙන්න ගොඩක් යුවතියන් මාව හොයාගෙන එනවා. ඒක තමයි මගේ සතුට.

*රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ඔබ පිවිසෙන්නේ කොහොම ද?

මං පෙර පාසල් යන අවදියේ සිටම ආසයි මේක්-අප් කරන්න.. සාරි අඳින්න. මං පොඩි කාලේ ඉඳන්ම ඒ දේවල් කළා. මට ගුරුවරයෙක් හිටියේ නැහැ. මගේම හැකියාවන් දියුණු කරගෙන තමයි ඉදිරියට ගියේ. මං කියන්නේ නැහැ රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට හැකියාව පමණක් ප්‍රමාණවත් කියලා. හැදෑරීමක් කර තිබුණොත් තවත් හොඳයි. එහෙත් මට එවන් හැදැරීමක් අවශ්‍ය වුණේ නැත්තේ මට අවශ්‍ය හැකියාව තිබුණ නිසා.

*රූපලාවණ්‍ය ශිල්පිනියකට සමාජයේ තිබෙන පිළිගැනීම තිබෙන්නේ කොතැනක ද?

ඇත්තටම ඉස්සරනම් රූපලාවණ්‍ය ශිල්පිනියක් කිව්වාම හොඳ පිළිගැනීමක් තිබුණේ නැහැ. දැනටත් ඒ පිළිගැනීම නැති වෙන අවස්ථා නැතුව නොවෙයි. ඒකට ඇතැම් රූපලාවණ්‍ය ශිල්පීන්ගේ හැසිරීම බලපානවා. ඒ වගේම සේවාදායකයට ලබා දෙන සේවාවේ ගුණාත්මකබව බලපානවා. සල්ලි හොයන්න එන පරමාර්ථයෙන් මේ ක්ෂේත්‍රයට එකතු වෙන ඇතැම් අය නිසා කළු පැල්ලමක් ඇති වෙලා තියෙනවා. කෙනෙක්ව ලස්සන කරලා ලැබෙන සතුට තමයි මට නම් ගොඩක්ම වටින්නේ. කෙසේ වුවත් වර්තමානයේදී රූපලාවණ්‍ය ශිල්පීන්ට දෙවිවරුන්ට වගේ සලකන පිරිසකුත් ඉන්නවා.

ඔබට ස්තූති කරන්න පිරිසකුත් ඇති...

මගේ පවුලේ අය මට ගොඩක් උදව් කළා මේ තැනට එන්න. ඇත්තටම මගේ සෙවනැල්ල වගේ මගේ ළඟින් ඉන්නේ මගේ සැමියා ජෙහාන් ප්‍රනාන්දු. ඒ වගේම මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න රොසෑන් ඩයස් මට ගොඩක් උදව් කළා. අමිත තෙන්නකෝන්, සෙනාශ්, සජීව, නලීන් කමාදිත් ඇතුළු බොහෝ දෙනෙක් මට අත හිත දුන්නා.

 

 

ඡායා - ශාන් රූපස්සර