කාසි පනම් හිඟ කාලේආදරයට පෑල දොරෙන් පලා යන්න දෙන්න එපා

ජුනි 17, 2020

කෝවිඩ් - 19 රෝගී කළේ අපේ ගත සිත පමණක් නොවෙයි.

නිවෙසේ ආර්ථිකයටත් ඉන් වැදුණේ මරු පහරකි. සෙනෙහසින් බැඳුණු කාලයේ පොල් සම්බෝලයි බතුයි සප්පායම් වී පොල් අතු නිවහනක වාසය කිරීමට සිහින මැව්ව ද යථාර්ථය එය නොවෙයි.

දරුමල්ලන් ලැබ පරිණතවූ සෑම බිරියක්ම සැමියෙක්ම ඒ බව හොඳීන් දනියි. මාසයට නියමිත ආදායමක් ලබා සැලසුම් සහගතව වියහියදම් කළ දෙන්නා දෙමහල්ලන් කොරෝනා නිසා රට වසා දැමීමත් සමඟ කබලෙන් ළිපට වැටිණි. සමහරුන්ට රැකියා අහිමි විය. තවත් අයට ලැබුණේ කප්පාදු කළ වැටුපකි. අතමිට හිඟවන විට වෙනදා පවුල් සංස්ථාවේ දක්නට ලැබුණු සතුට - සාමදානය පමණක් නොව සෙනෙහස ද බින්දුවටම ඇද වැටීම සුපුරුදු ඉරණමයි. ධනය - රැකියාව අනුන් අත රැඳුණ ද ආදරය - සතුට ඇත්තේ ඔබ අතේය.

ආර්ථිකයේ බර බත් පතට දැනුණ ද ඔබේ සෙනෙහසට එය මහමෙරක්කර ගත යුතු නැත.

*හැඟීම් තේරුම් ගන්න.

හිටිහැටියේම හෙණයක් මෙන් පාත්වුණු කෝවිඩ් - 19 නිසා ආර්ථිකය ගිනි ඇවිළීමෙන් නව කොෙරෝනා වෛරසය ආසාදනය වූවාටත් වඩා බොහෝ සැමියන් බිරින්දෑවරුන් ආතතියට කාංසාවට පත්වී ඇත. මේ ඔහුගේ / ඇය ගේ හැඟීම් තේරුම්ගත යුතු කාලයයි. මෙවැනි කාලයක ආර්ථිකය. ආර්ථික දුෂ්කරතා ප්‍රධාන මාතෘකා බවට පත්කර නොගන්න. ඔහුගේ / ඇය ගේ හැඟීම් ශක්තිමත් කරන්න. දිරිමත් කරන්න. එය ඔබේ ළෙන්ගතු වදන් පෙළෙන් කළ යුත්තකි. “ඒකට කමක් නැහැ. අපි දෙන්නම එකතුවෙලා මේකට විසඳුමක් හොයමු. “ “මේ ප්‍රශ්න ඉක්මනටම විසඳේවි” එවන් වදන් පෑරුණු සිතට වේදනා නාශකයක් වැනිය. සැමියා පමණක් පවුල නඩත්තු කරන කුටුම්බයක බිරිය සැමියාට රැකියාව අහිමිවූ අවස්ථාවේ කෝපාවිෂ්ඨවී හැසිරුණොත් සිදුවන්නේ කුමක්ද? එයින් වන්නේ ප්‍රශ්නය තවත් බරපතළ වීමයි. “මගේ මහත්තයගෙ පඩියෙන් තමයි මුළු පවුලම ජීවත් වුණේ.

එකපාරටම එයාට රස්සාව නැති වුණාම මට මතක් වුණේ ගෙවන්න තියෙන බිල් ටික. ගෙවල් කුලිය. මුලින් මං කපුවා වගේ ආවේශ වුණත් පස්සෙ තේරුම් ගත්තා එහෙම කරලා වැඩක් නැති බව. සන්සුන් වෙලා ඊළඟට කරන දේ ගැනයි හිතන්න ඕන.

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.