ඉවසීම නැත්නම් පවුල් ජීවිතය නූල් බෝලයක් වගෙයි

ජුනි 24, 2020

බැලූ බැල්මට නිවෙස මහා මන්දිරයක්. බිරිය හැඩකාරියක්. ඉහළ තනතුරක් දරණ සැමියා කිසිදු අඩුපාඩුවක් නොකර කුටුම්භය සන්තර්පණය කරනවා. පිටින් බලන කෙනකුට නම් මේ නිවෙස සුරපුරයක් වගේ. ඒත් හැබෑ ලස්සන බලන්න නම් ආගන්තුකයකු දවසක් හෝ නතර වී සිටිය යුතුයි. බිරිය හැඩකාරියක් වුණත් හැම වෙලාවෙම දුම්මල වරම අතට ගත්ත වගේ හැසිරෙනවා නම් සැමියාට හොස්ස ළගින් මැස්සා යන්න බැරි නම් ඒ නිවෙස ලෝදිය ගලන ගිනි කන්දක් වගෙයි.

ඉවසීම යුග ජීවිතය නම් බාධක පිරි ගල්කුල සිසිල් කරන දිය උල්පතක් හා සමානයි.

කුටුම්බයක් යනු එක් අයකු නොව පවුල් සංස්ථාවක්. දිවග රැඳුණු වදන් පෙළ බෝම්බයක් මෙන් දමා ගසන්න පෙර දෙවරක් සිතීමේ වගකීමක් දෙදෙනාට විවාහ වූ දිනයේ සිට පැවරෙනවා.

සිතිවිලි වදන් බවට පෙරළීමට පෙර සිතට වහල් නොවී තමන් එසේ පැවසුවොත් ඇතිවන ප්‍රතිඵල ගැන සිතන්න. සිතිවිලිවලට වහල් වන්නේ දුර්වල සිතක් ඇති අයයි.

සැමවිටම සිත වහලකු කරගන්න. සැමියාගේ / බිරියගේ වරදක් දුටුවිට පොල්ලෙන් පහර ලද නාගයකු ලෙස නොකිපී ඉවසන්නට පුරුදුවන්න.

ආවේගශීලී සිතිවිලි මට්ටු නොකළොත් සිදුවන්නේ ජීවිත කාලය පුරාම ආතතියෙන් ජීවත් වීමටයි.

ක්ෂණික කෝපය නිසා ප්‍රතික්‍රියා දක්වන්නට යාමෙන් ජීවිතයම අඳුරුකර ගත් අයට උදාහරණ ඕනෑතරම්. කෝපයෙන් දැවෙමින් ප්‍රතික්‍රියා දක්වන්නට යාමෙන් ප්‍රශ්න තවත් බරපතළ වෙනවා.

නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන්වත් කැපිය නොහැකි තත්ත්වයට පත්වෙනවා.

කෝපයට පත් වීමෙන් සිත දුර්වල වෙයි. නිවැරැදි තීරණගත නොහැකි වෙයි.

'යහපත් බිරියක්', 'යහපත් සැමියෙක්' යන තරු නාමය ආවේගශීලී පුද්ගලයකුට කිසිදිනක ලබන්නට බැහැ. උගත්කමේ උපරිම පලය මනස හික්මවීම ලෙස බුදු දහමේ දක්වා තිබෙනවා.

බිරියක සැමියකු ලෙස ඉවසීමේ වැදගත්කම වටහා නොගත්තොත් එයම යුග දිවිය ගිනි ගැනීමට හේතුවෙනවා.

වසන්නට පුරුදු වීම හොඳ ජීවන අභ්‍යාසයක්. එයින් තමන් ද ඉවසීමට පුරුදු වෙනවා.