කොළඹ ජාතික රෝහලේ මංකොල්ලකරු අල්ලාගත් වීරවරිය

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත
ජුනි 24, 2020

කාන්තා පරපුරටම ආදර්ශයක් දුන් සිදුවීම

බියෙන් සැකෙන් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමේ අයිතිය... අප මිනිස් සමාජයේම ප්‍රාර්ථනය එයයි. එහෙත් එවන් වූ සමාජයක් නොවන සෑම විටම අපගේ පිහිටට එන්නේ වීරෝධාර හමුදාව සහ පොලීසියයි. තුන්තිස් පැය පුරාම ඔවුන් සිදු කරන එම උදාර වූ මෙහෙවර කෙතරම් දැයි පත්තිරුවක සටහන් කිරීමට නොහැකි තරම්ය.

එය ඇතැම්විට සේවයකට වඩා උතුම් වූ සමාජ මෙහෙවරක් යැයි අපට ‍සිතේ. එය අපගේ හදවතට දැනුණු වාර අනන්තය. වසර තිහක් පුරා පැවති රුදුරු යුද්ධය ජයග්‍රහණය කිරීමට ඔවුන් කළ කැපවීම සාදා නොමැකී රැඳෙන්නේ ඒ නිසාමය. එසේම වර්තමානයේ අප මුහුණ දෙන කොරෝනා වසංගතය හමුවේද ඔවුන් ඉටු කළේ සහ තවමත් ඉටු කරන්නේ විශිෂ්ට වූ මෙහෙවරකි.

ඔවුන් කරන එම උදාර වූ කැපවීම හමුවේ ලෝකයක් ඉදිරියේ මහත් අභිමානයෙන් යුතුව නැඟී සි‍ටිමු. තම පෞද්ගලික ජීවිතය පවා අමතක කර දමමින් තම රාජකාරි සීමාව අභිබවමින් සිදු කරන විශිෂ්ට වූ කැපවීම හමුවේ අපට සැනසිල්ලේ ජීවත් වීමේ පරිසරයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම අපේ රටේ නීතිය සහ සාමය රැකීමට කැපවී සිටින පොලීසියේ නිලධාරීන් සිදු කරන සේවය නිසාම අප නිදහසේ ජීවත් වන්නෙමු. එහෙත් ඒ නිදහසට තර්ජනයක් වන ක්‍රියාවකදී අපේ පිහිටට එන්නේ පොලීසියයි. පොලීසියේ මේ කැපකිරීම් හමුවේ රටේ සිටින අපරාධකරුවන්, මංකොල්ලකරුවන්, සොරුන් අල්ලා ගැනීමට හා ඔවුන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකිවූ අවස්ථා බොහෝය. තම රාජකාරිය දේවකාරියක් සේ සලකා කටයුතු කරන පොලිස් නිල දරුවන් නිසා අපේ රටේ බොහෝ අපරාධකරුවන් අල්ලා ගැනීමට හැකි වී තිබෙන්නේ ඔවුන්ගේ විශිෂ්ට වූ හැකියාව හා බුද්ධිය මෙහෙය වීමෙනි. මෙවන් වූ විශිෂ්ට වූ සේවාවක් කළ පොලිස් නිලධාරිනියක් ගැන මුළු ‍රටම පමණක් නොව මුළු ලෝකයම පසු ගියදා කතා කළේ මහත් ප්‍රශංසා මුඛයෙනි. එය බොහෝ සමාජ මාධ්‍ය ජාලාවලද විශාල ආන්දෝලනයක් ඇති කළ සිද්ධියකි. තම රාජකාරි සීමාව අභිබවමින් ඇය කළ විශිෂ්ට සේවාව නිසා විශාල සොරකමක් හා එම සොරකම කළ සැකකරුවා අල්ලා ගැනීමට හැකි විය. එම සොරා අල්ලා ගැනීමට කළ මෙහෙයුමේ දී කාන්තාවක් ලෙස ඇය ක්‍රියා කළ ආකාරය සමස්ථ කාන්තා සමාජයටම එක් කළේ විශාල වූ අභිප්‍රේරණ‍යකි. එය පොලිස් පොතේ අලුත්පිටුවක් සටහන් කළ දිනයකි. ඇය මාතර ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණී බෝගහවත්ත මහත්මියයි.

පසුගිය 11 වැනිදා ජාතික රෝහල සුපුරුදු ලෙසින්ම රෝගීන්ගෙන් පිරී අඩුවක් නොවීය. තම කටයුතු කරගැනීම සඳහා එහෙ මෙහෙ ගමන් කරමින් සිටි සිය ගණනක් වූ ජනතාවගෙන් රෝහල් සංකීර්ණය පිරී ඉතිරී තිබුණි. මේ අතර කොළඹ බණ්ඩාරනායක වාට්ටු සංකීර්ණ‍යේ සරප් කාර්යාලයට පිස්තෝලයක් අතැති පුද්ගලයකු එකවරම ඇතුළු වූයේ කිසිවකුත් නොසිතූ ලෙසිනි. එහි සිටි සේවිකාවන් කිහිපදෙනා සහ සේවකයාට පිස‍්තෝලය පෙන්වා සේප්පු තුනක තිබූ ‍මුදල් ලක්ෂ 79 ක් බෑගයකට දමා ගත් මංකොල්ලකරු පලා යන්නට විය. මෙසේ මුදල් මංකොල්ල කා පලා යන පුද්ගලයා පසුපස සේවකයන් ද දුවන්නට වූයේ "ඔන්න හොරෙක්... ඔන්න හොරෙක්..."ලෙස කෑ ගසමිනි. සෙනඟ අතරින් දිව යන මෙම පුද්ගලයා ද ඔවුන්ව අනුකරණය කරමින් 'හොරෙක් හොරෙක්' කියමින් කෑ ගසමින් වේගයෙන් දිව යන්නට විය. මෙසේ දිව ගිය මේ පුද්ගලයා අසල නවතා තිබූ ත්‍රීවිල් අතරින් සැඟව ගොස් ත්‍රීවිල් රථයක් නැඟී මරදාන දෙසට පලා යන්නට විය.

 

2020/06/24 තරුණි පුවත්පත බලන්න.