නව වසරේ දී ඉදිරියට යෑමට නම් අනවශ්‍ය බර ඉවත හෙළා සැහැල්ලු වන්න..

ජනවාරි 6, 2021

දි යුණු රථවාහන නොතිබූ යුගයක පා ගමනින් හා ගොන්බැඳී කරත්තවලින් ගමන් බිමන් යාමට පුරුදුව සිටි අපේ ගැමියන් එහිදී රැගෙන ගියේ අත්‍යවශ්‍ය දේ පමණි. ඔවුන් එය සැලකුවේ ගමන පහසු කරන්නක් ලෙසයි. මේ කාරණාව ගමන සැහැල්ලු කිරීමට ඉතා වැදගත් සාධකයක් විය. මේ නිසාම එම මල්ලට සැහැල්ලුව ලෙසද හැඳින්විය.

එමෙන්ම ජපන් ජාතිකයන් වාහන නිෂ්පාදනය කිරීමේ දී අමෙරිකානු ජාතිකයන්ට වඩා පිම්මක් ඉදිරියට පැනීමට සමත් විය. අමෙරිකානු ජාතිකයන් නිපදවන බර වාහනවලට වඩා සැහැල්ලු වාහන නිපදවීම වාහන වෙළෙඳපොළ ආක්‍රමණය කිරීමට හැකි කාරණයක් බවට මේ අනුව පත් විය. මනා ඉන්ධන පිරිමැස්මත්, කුඩා කාලයකින් වේගවත් ධාවන වේගයක් අත්කර ගැනීමත් එයට තවත් වටිනාකමක් එකතු කළා. වාහනයක් සැහැල්ලු වීමේදී එය ඉදිරියට තල්ලු කිරීමට පහසු වේ. එමෙන්ම කුඩා කාලයකින් වැඩි දුරක් යාමට හැකි වේ. මේ නිසා ජපන් වාහනවලට වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් ඇති විය.

ජීවිතයේ ඉලක්ක කරා ගමන් කරන්නකු ද ජීවිතයේ බොහෝ බර දරා සිටිනවා නම් එය ඔවුන්ගේ වේගය අඩු වීමට හා විඩාබර බව වැඩි වීමට හේතු වේ. එබැවින් ජීවිතයේ සාර්ථකත්වය නමැති ඉම කරා ගමන් කරන්නකු විසින් සැහැල්ලු බව අත්කර ගැනීම සඳහා ඔසවාගෙන යාම අතහැරිය යුතු, පැත්තකින් තැබිය යුතු අතීතයේ බර කිහිපයක් පිළිබඳ අද අපි කතා කරමු. මේවා පැත්තකින් තැබීම හරහා ඔබට සැහැල්ලුවෙන් ගමන යාමට හැකියාව ලැබේ.

දිනක් විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් තම සිසුන් ඉදිරියට පැමිණියේ වතුර බෝතලයක් ද රැගෙනයි. එය තම දකුණු අතින් අල්ලා සිසුන් දෙසට දිගුකර ඔවුනට ඒ ගැන සිතෙන දේ විමසුවේ ය. එවිට සිසුන් වතුර බෝතලයේ ජලප්‍රමාණය, බෝතලයේ පරිමාණය ආදී දේ ගැන විවිධ වූ විග්‍රහයන් කිරීමට වුණා. මහාචාර්යවරයා අතනොසොල්වාම විනාඩි ගණනක් බෝතලය එසේ අල්ලාගෙන සිට සිසුන්ගේ අදහස් දැක්වීම නිම වූ විට දැන් ඔබට කුමක් සිතෙනවාදැයි විමසුවේය. එවිට සිසුවියක් කියා සිටියේ දැන් නම් ඔබේ අතට යම්කිසි වේදනාවක් දැනෙනවා ඇති යනුවෙනි. මහාචාර්යවරයා ඒ ආකාරයෙන් ම තවත් වේලාවක් වතුර බෝතලය අල්ලාගෙන සිට නැවතත් පෙර පරිදිම ඔවුනට දැන් සිතෙන දේ ගැන විමසීය. එවිට සිසුවෙක් පැවසුවේ මහාචාර්යතුමනි, ඔබේ අතට දැන් දැඩි වේදනාවක් දැනෙනවා ඇති යනුවෙනි. මෙසේ තවත් වේලාවක් නොසෙල් වී බෝතලය ඉදිරියටකර අල්ලාගෙන සිටින මහාචාර්ය වරයා සිසුන්ගෙන් පෙර පැනය ම විමසුවේය. එවිට දේශන ශාලාවේ සිටි කටකාර සිසුවියක් ''අනේ මහාචාර්යතුමනි නිකන් දුක් විඳීන්නේ නැතිව ඔය වතුර බෝතලය පැත්තකින් තියන්න'' යැයි පැවසුවාය. එවිට මහාචාර්යවරයා එය මේසය මත තබමින් පැවසුවේ, ''ඇත්තයි.. සමහර දේවල් අප අල්ලාගෙන සිටිනතාක් වේදනාවයි, පීඩාකාරීයි. ඒවා පැත්තකින් තැබීමට හැකි නම් අපිට සැනසීම ලැබෙන්නට පටන්ගන්නේ මම වතුර බෝතලය පැත්තකින් තැබූ විට දැනුණු සැහැල්ලුව වගේයි.''

ඔබ ද ජීවිතයේ සාර්ථකත්වයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා සැහැල්ලුව පිණිස පසෙකින් තැබිය යුතු අනවශ්‍ය බර ඇත. ඒ දේවල් එකතුකර සිත්හි දරාගෙන අපහසුවෙන් ගමන යාම මඟින් ඔබේ වේගය අඩාල කරයි. ඔබේ ගමනට බාධා ඇති වී, වෙහෙස දැනී ඉලක්කය වෙත යාම අපහසු කරයි. එවැනි දේ අප ජීවිතයෙන් ඉවත් කළ යුතුය. මේ එයට හොඳම කාලයයි.

ඔබේ අතීතයේ දී ඔබට අසාර්ථක වීම්වලට මුහුණ දීමට සිදු වුණා නම් ඒවා මතකයෙන් දුරස් කළ යුතුයි. යමක් අසාර්ථක වීම සාමාන්‍ය දෙයකි. එහෙත් නිතර නිතර ඒවා මෙනෙහි කිරීම සුදුසු නැත. එසේ කිරීමෙන් සිදු වන්නේ නව අදහසක් ක්‍රියාත්මක කිරීමට ඔබේ සිත බිය වීමයි. එමෙන්ම නව අදහස් සිතට පැමිණීම ද වළකයි. ඒවා අසාර්ථකවීම් ලෙස ඇතැම්හු නොසලකන අතර ඒවා අත්දැකීම් හා ජීවිතයෙන් උගත් පාඩම් ලෙස සලකයි. තෝමස් අල්වා එඩිසන් පැවසුවේ අසාර්ථක වීම් යනු තවත් අලුත් සෙයා ගැනීම් විශේෂයක් වන බවයි. අප කළ යුත්තේ අසාර්ථක වීම්වලින් ඉගෙනීම පමණි. ඔබ ඉලක්කයක් වෙත යන ගමනේ දී ඇතිවන අසාර්ථකවීම් අමතක කළ යුත්තේ ඉන් ලබා ගත් පාඩම් පමණක් සිහි තබා ගැනීමෙන් අනතුරුවයි. දෙවැනි කාරණය වන්නේ සිත් රිදීම් ය. තමාගේ සිත රිදවීමට සමත් බොහෝ දේ අප අවට පරිසරයේ දී කොතෙකුත් සිදු වේ. සමහර විට ඔබේ රැකියා ස්ථානයේ ප්‍රධානියා ඔබේ තනතුර ලබා නොදීම, කාර්යාලීය සගයකු සමඟ බහින්බස් වීම, වැටුප් වර්ධක නොලැබීම ආදිය ඔබේ සිත් රිදීමට හේතු විය හැකියි. එසේ නැතිනම් ඔබේ පෙම්වතා ඔබ හැර යාම ඔබේ සිත රිදවා තිබෙන්නටත් පුළුවන්. සිත් රිදීම්, වේදනා නිතර අප එක තැන රඳවා තබා ගැනීමට සමත් දෙයකි. ඔබ ජීවිතයේ ඉදිරියට ගමන් කරන්නේ නම් මේ සිත් රිදීම් හා වේදනා ද අමතක කිරීමට, පසෙකින් තැබීමට ඔබට සිදු වේ.

මේ මොහොතේ දී ඔබේ ජීවිතයේ සිදු වූ සිත් රිදීම්, වේදනා සියල්ල මෙනෙහි කරන්න. ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට මේ මොහොතේම සමාව දෙන්න. එසේ සිදුකර ඇඳුමක් ගළවා සිරුරෙන් ඉවත් කරන්නාක් මෙන්, පාවහන් යුවළක් දෙපයින් ඉවත් කරන මෙන් වේදනා හා සිත් රිදීම්, එසේ වීමට සිදු වූ සිද්ධීන් සිතෙන් ඉවත් කරන්න. සමාව දී අමතක කරන්න ලෙසින් ප්‍රසිද්ධ ඉංග්‍රීසි කියමනක් ද පවතී. අතීතයේ බර ඔසවාගෙන ඔබට සාර්ථකත්වය සොයා යන ගමන යාමට නොහැකිය.

අපේ අතීතයේ යම් යම් දේ ගැන තිබූ බිය ද ජීවිතයේ සාර්ථකත්වය අඩාල කිරීමට සමත් වන්නකි. ස්වභාවධර්මය විසින් ම ඇතැම් දේ පිළිබඳ අපේ සිතේ ස්වභාවයෙන් ම බිය ඇති කරයි. උදාහරණයක් ලෙස අප යම් කටයුත්තක් සිදු කිරීමට යාමේ දී බොහෝ අය ඒ පිළිබඳ විවිධ අදහස්, මත පළ කරයි. ඒවා නිසා අපේ සිත එම කාර්යය සිදු කිරීමට බිය වේ. ඔබ ව්‍යාපාරයක් අරඹන්නට යන්නේ නම්, ඕවා මේ කාලයට ගැළපෙන්නෙ නෑ. ඔය සල්ලි ටික නැතිකර ගන්න වැඩක් ආදී ලෙස පැවසූ විට අපේ සිතේ බියක් හටගනී. එම බිය පසුකාලයක දී වුවද යමක් ආරම්භ කිරීමේ දී එයට ඇති ධෛර්යය හීන කිරීමට සමත් වේ. එමනිසා සාර්ථකත්වයට යන ගමනේ දී ඔබ පසෙකින් තැබිය යුතු අනෙක් දේ වන්නේ මේ අතීතයේ සිදුවීම් නිසා සිතට ඇති වී ඇති බියයි. බිය සිතින් දරාගෙන සාර්ථක වූ අය ලෝකයේ නැති වුවත් බියට විසඳුම් සොයන්නට ගොස් සාර්ථක වූවන් සිටියි. උදාහරණයක් ලෙස දිළිඳු බවට ඇති බිය නිසා ධනවත් වූවන්, රෝගවලට ඇති බිය නිසා සෞඛ්‍ය සම්පන්න වූවන්, අසාර්ථක වීමට ඇති බිය නිසා සාර්ථක වූවන් ජීවිතය ජයග්‍රණය කරඇත.

 

සිව්වැනි කාරණය වන්නේ තරහා සහ වෛරයයි. අතීතයේ සිදු වූ සිදුවීම් සිතේ තබාගෙන වෛරයෙන් යුතුව ඔවුන්ගෙන් පළිගැනීමේ ක්‍රම සොයමින් කල් ගෙවීම ඔබේ සාර්ථකත්වය අඩාල කරයි. තරහා, කේන්තිය, වෛරය සිත්හි දරාගෙන සිටින කාලය තුළ ඔබට අහිමි වන්නේ සාර්ථකත්වය සොයා යන ගමනට අවශ්‍ය කාලය, ශ්‍රමය ආදියයි. බුදුරජාණන් වහන්සේ වරක් දේශනාකර ඇත්තේ වෛරයෙන් සිටීම යනු ඔබ වස බඳුනක් පානයකොට අනෙකා මිය යාවියැයි බලා සිටිනා අයෙක් වැනි වූ තමාටම හානිකර දෙයක් බවයි. ඔබේ ජීවිතයේ සිදු වූ සිද්ධීන්ට අදාලව ඇති වූ කෝපය, වෛරය, ද්වේෂය ආදී හැඟීම් මේ මොහොතේ සිට ඉවතට දැමීමෙන් ඔබට මහාචාර්යවරයා වතුර බෝතලය මේසය උඩින් තැබූ විට මෙන් සැහැල්ලුවක් දනවන කාරණයකි. මෙලෙස සැහැල්ලු වීමෙන් ඔබට ඉදිරියට යන ගමන වේගවත් කිරීමට හැකියාව ලැබේ.

පස්වැනි කාරණය වන්නේ ඍණාත්මක සිතුවිලි ය. එය යම් ගමනක් යාමේදී බාධකයන් වන බව ඔබ හොඳීන් ම දන්නවා. අප මෙතෙක් කතා කළ සියලුම දේ ඍණාත්මක සිතුවිලි ලෙස දැක්විය හැකියි. නැහැ, බැහැ, හරියන්නේ නෑ ආදී ලෙස ඔබ සිත තුළ වූ ඍණාත්මක සිතුවිලි අපේ ජීවිතය ඉදිරියට ගෙනයද්දී බාධකයන් ලෙසින් ක්‍රියා කරයි. ඒ නිසා ඍණාත්මක සිතුවිලි ද ජීවිතයෙන් බැහැර කළ යුතු දෙයක් ලෙසින් දැක්විය හැකියි.

මේ සියලු බර ඉවත හෙළා නව වසරේ දී ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා පහසුවෙන් ගෙනයාමට ඔබට හැකි වනු ඇති.

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු