අවුරුද්ද පුරාම ආයුබෝවන් කියමු

අප්‍රේල් 7, 2021

 

පරණ දේට යන්න කියලා අලුත් දේ ආදරයෙන් වැලඳ ගන්නා බක්මහ සමය උදා වෙලා. නැවුම් මුට්ටියක කිරි උතුරලා අලුත් ඇඳුම් ඇඳ අලුත් වුණු සූර්ය රාජයා පිළිඅරගෙන දහසක් අලුත් බලාපොරොත්තු සමඟින් කාගේත් ජීවිතය අලුත් වෙනවා.

රිසිසේ සිංහල අවුරුදු සමරන්න තිබුණු නිදහස කෝවිඩ් - 19 වසංගතය විසින් උදුරා ගනු ලැබුව ද සුපුරුදු සිරිත් විරිත් මාලාව නම් අකුරටම සිදු වෙනවා. ඒත් කෝවිඩ් සිංහල අපට අමතකවූ දෙයක් මතක් කර දුන්නා. පරණ දේට යන්න කීව ද අපට පරණ සැම දෙයටම යන්න කියන්න බැහැ. හරිය‍ට සිංහල අවුරුද්දට යන්න කියන්න බැහැ වගේ. අප කාලයක් තිස්සේ ආයුබෝවන් කියන වටිනා අකුරු පහ පැවසුවේ සිංහල අවුරුද්දට විතරයි. බක් මහ උළෙලෙන් පසු ආයුබෝවන් වචනයට ආයුබෝවන් කියන්නේ කෝකිලයා හඬ නිහඬ කර ගන්නවා වගේ. සුදු ජාතිකයන් අපේ රට ආක්‍රමණය කිරීමට කලින් මුවේ රැඳුණු මේ ආශීර්වාදාත්මක වචනයේ තැන හායි කියමින් සිප වැලඳ ගැනීමටකට, අතට අත දීමට හිමි වෙද්දී පරපුරෙන් පරපුරට එයම උරුමයක් කරගත්තා. ඒත් කෝවිඩ් සියල්ල උඩු යටිකුරු කළා. යළිත් අපට ආයුබෝවන් කියන්න සිදු වුණා. එපමණක් නො වෙයි අතට අත දීම යටත් විජිත වාසීන්ට දායාද කළ හිරු නො බසින අධිරාජ්‍යයේ රාජකීයයන්ට පවා නමස්තේ, ආයුබෝවන් කියන්න සිදුවුණා ලෝකෙටම පේන්න. ඒත් තවමත් යටත් විජිත මානසිකත්වය ඇති වැඩි දෙනකුට මේ අකුරු පහේ වටිනාකම දැනිලා නැහැ. පහුගිය සිංහල හින්දු අවුරුද්දට ආයුබෝවන් කියා පැවසූ කී දෙනෙක් දිගින් දිගටම ඒ යහ පුරුද්ද පවත්වා ගෙන ගියාද?

ආයු බෝ වේවා යන අරුත රැගත් ආයුබෝවන් වචනය තරම් තමන්ගේ ආදරණීයයන්ට පැවසීමට සුදුසු තවත් වදනක් තිබෙනවාද? සෙනෙහෙවන්තයන්ගේ ආයුෂ වැඩි වීමෙන් සිංහල අවුරුදු සැණකෙළිය වැඩි වසර ගණනක් සැමරීමට වාසනාව ලැබෙනවා. එපමණක් ද මෙය ඉතා වටිනා මුද්‍රාවක්. මෙය භාරතයේ හඳුන්වන්නේ අංජලී මුද්‍රාව නමින්. අංජලී කියන්නේ පිදීමයි. දෑත් එකට එක්කර හදවතේ උණුසුම දැනෙන ලෙස ළමැදට තබා හෘදයාංගම සෙනෙහසකින් පිළිගැනීම අමුත්තකුට කළ හැකි හොඳම අධ්‍යාත්මික සංග්‍රයක්.

දෑත් එක්කර ආයුබෝවන් කීමෙන් කෙනකුගේ නිහතමානීකම සංකේතවත් වෙනවා. අන්‍යයන්ට යහපතක් උදා කිරීමේ අරමුණින් සිදුකරන මේ ක්‍රියාවෙන් තමන්ටත් යහපතක් සැලසෙනවා. දෑත් සන්ධිවල, මැණික්කටුවල නම්‍යශීලී බව වැඩිවෙනවා. සිත සන්සුන් වෙනවා. ආතතිය දුරු වෙනවා. ආයුබෝවන් කියන්නේ කොන්ද ඍජුව තබා ගෙනයි. එය යහපත් පෞරුෂත්වයක ලකුණක්. දෑත් එක්ව තබා ගැනීමේදී මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ නිසි ක්‍රියාකාරිත්වයටත් මේ ඉරියව්ව උපකාරී වෙනවා. හදවතට සමීපව දෑත් බැඳ තබා ගැනීමේදී හදවතට හොඳින් ඔක්සිජන් හා පෝෂක ලැබෙනවා. හුස්ම ගැනීමේ රටාවත් ක්‍රමවත් වෙනවා. ඒ සියල්ලටම වඩා සුබවාදී සිතිවිලි අප තුළ ජනිත වෙනවා. අලුත් අවුරුද්ද කියන්නේ සියලු සිත් සුබවාදී සිතිවිලිවලින් උතුරා යන කාල පරිච්ඡේදයක්. වා පිත් සෙම් සමතුලිතව තබා ගැනීමටත් ආයුබෝවන් කීමේදී දෑඟිලි තුඩු එකිනෙක ගැටීම උපකාරී වෙනවා.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ දමිළ සහෝදර ජනතාව වනක්කම් කියා සාදරයෙන් නෑහිත මිතුරන් පිළිගන්නවා. වනක්කම් කියන්නේත් ආයුබෝවන් කියන්නේත් එකම විදියට. එපමණක් නො වෙයි මේ වචන දෙකේම තේරුම් " ඔබට දීර්ඝායු ලැබේවා " යන්නයි. මෙවැනි සමානාත්මතාවක් අප අතර ඉතිහාසයේ පටන්ම තිබීම ජාතික සමගියට කෙතරම් වැදගත්ද? ආයුබෝවන් යන අකුරු පහ උදාවන අලුත් අවුරුද්දේ පමණක් නොව උදාවන සෑම දිනයකදීම අපේ සමීපතමයන්ට පැවසීමට 2021 නව වසරේ සිට අපි අදිටන්කර ගනිමු. එය 2022 නව වසර සැමරීමේදී සැබෑම ආශීර්වාදයක් වනු නිසැකය.