දින නිර්ණය කරන Dating Scan

අප්‍රේල් 14, 2021

 

ගැබිනි මවකගේ සිත හැමවිටම පිවිතුරුව, සන්සුන්ව තිබෙන තරමට දැනුමින් ඔද්දල්ව තිබෙන තරමට කුසේ සිටින දරුවාට යහමඟක් ම වේවි.

 

හිරණ්‍යා මේ ලබන්නේ ඇගේ කුලුඳුල් අත්දැකීම. ඒ නිසා ඇය හැමවිටම ගැබිනි බව පිළිබඳ දැනුම සොයන්නට පටන්ගත්තා. ඈ පොතක් කියවමින් ඉද්දී සේමිත ආවා.

“මොකක් ද ඔය පොත.”

“මේ ගැබිනි අම්මලට දැනුම ගෙනෙන පොතක්.” හිරණ්‍යා කිව්වා.

“මට නම් දෙසැම්බර් මාසේ වෙනකම් ඉවසීමක් නැහැ. අපේ පුංචි පැංචියා අපි අතරට ඇවිල්ලා අපි දෙන්නට තුරුලුවෙලා ඉන්නවාමයි මට හැමවෙලේම පේ්න්නේ.”

ආදරණීය තාත්තෙක් වෙන්න දැන් තියාම සූදානම් වෙන සේමිත කිව්වේ හිරණ්‍යාව තුරුළු කරන්. හිරණ්‍යාගෙයි, සේමිතගෙයි හැම දවසක්ම හරිම නැවුම්. බොහොම ආදරණීය විදිහටයි ඔවුන් දවස පටන් ගන්නේ. රාත්‍රියට නින්දට යන්නෙත් ඒ විදිහට.

තමා ගැබිනියක් බව තහවුරු වුණු පසු ඉස්ඉස්සෙල්ලම කරන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය හරිම වැදගත්. ඒ පිළිබඳ හිරණ්‍යා ලැබූ අත්දැකීමත් හරිම සුන්දරයි. ද සොයිසා කාන්තා රෝහලේ පැවැති හිරණ්‍යා සහභාගි වූ මුල්ම මාතෘ සායනයේ දී ඇය මේ අත්දැකීමට මුහුණ දුන්නා. සේමිතත් අසල සිටියා නම් කියලා ඇයට හිතුණා. මේ හින්දම නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා පුද්ගලික රෝහලකදී මුණ ගැසුණු විට ඒ සඳහා යොමුවෙන්නත් ඇතැම් මවුවරු හිතනවා.

Dating Scan නම් වූ මේ අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය නමේ අර්ථයෙන් ම සිදු කරන්නේ දරුවා මෙලොවට බිහි වීමට නියමිත නිශ්චිත හෝ ඉතාම ආසන්න දිනයක් තහවුරු කර ගැනීම. බොහෝ විට මවුවරුන් පවසන අවසන්වරට ඔසප් වූ දිනය එහා මෙහා වෙන්න පුළුවන්. මේ දින නිර්ණය කිරීම සඳහා ගර්භණී සමයේ් දී කරන වැදගත් ම පරීක්ෂණය. ඔසප් වීම අක්‍රමවත් ව සිදුවන අයට මවුවරු පවසන දිනය වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම වුනත් Dating Scan එකකින් මෙය නිවැරැදිව තහවුරු කරගන්න පුළුවන්.

නිවුන් දරුවන් සිටී ද යන්න තහවුරු කරගත්තොත් මෙම අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණය හරහා ගබ්සාවීම් වේලාසනින් හඳුනා ගැනීමට, එනම් බබා වැඩීම නැවතිලා වදෑමහ (Water Bag) පමණක් තිබෙනු දක්නට ලැබීම ආදිිය මුලින්ම හඳුනා ගැනීමට පුළුවන. ගබ්සාව සිදුවී රුධිර වහනය වූ පසුව හඳුනා ගැනීම පෙරදී සිදුවුවත් ‘දැන් මේ බබා හැදෙන්නේ නැහැ.’ ‘මේ ගබ්සා වීමට නියමිත කලලයක්’ යනාදිය පෙරදීම වෛද්‍යවරුන්ට පැවැසීමට පුළුවන් වන්නේ Dating Scan එක හරහායි. මෙය කලලයට සති 7, 8 කාලයේ්දී කළ හැකි පරීක්ෂණයක්. මේ වන විට මවුවරුන් සති 5 පමණ වන විට නාරි හා ප්‍රසව වෛද්‍යවරයකු හමුවට පැමිණෙයි. සති 5 ක පමණ කාලයේ දී බබා (කලලය) පෙනනන්නේ නැති තරම්. වෝටර් බෑග් එක පේන්නේ වෝටර් බෑග් එක ඇතුළේ කුඩා රිංග් එකක් ‘යෝක් සැක්’ (Yolk Sac) නමින් තිබෙනවා. යෝක් සැක් එක පෙනෙනවා යනුවෙන් අදහස් වන්නේ කලලයට සති 5 ට වැඩියි යන්නයි. සති 6 ට අඩුයි යන්නයි. බබා සිටින්නේ ගර්භාෂයේ බව මින් පැහැදිලි වේ. නමුත් බබාගේ තත්ත්වය පිළිබඳ යමක් පැවැසිය නොහැකියි. දරුවාගේ හෘද ස්පන්දනය පවා නොඇසේ. සති 6 ක් වෙද්දී කලලය පෙනෙන්න පටන් ගනියි. 6+ වන විට හෘද ස්පන්දනය ඇසේ. එබැවින් සති 5 ක් වනවිට කෙරෙන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයේ දී බොහෝ විට තහවුරු කෙරෙන්නේ බබා සිටින්නේ ගර්භාෂයේ් ද යන්න සහ දිනය නිශ්චිත පැවසීමයි.

ඇතැම් කලල පිළිසිඳ ගැනෙන්නේ පැලෝපීය නාලයේ්. මෙහිදී ගර්භණී බව පිළිබඳ පරීක්ෂණය පොසිටිව්. නමුත් දරුවා ගර්භාෂයේ පෙනෙන්න නැහැ. එහිදී යම් සැකයක් මතුවිය හැකියි.

ගර්භණී බව පිළිබඳ පරීක්ෂණය පොසිටිව් වී කලලය පෙනෙන්න නැත්නම් Serum Beta hcg රුධිර පරීක්ෂණය සිදු කරනවා. එය නැවතත් පැය 48 කින් ද සිදු කරනවා. බබා හොඳ නම් පළමු පරීක්ෂණයේ අගය මෙන් දෙගුණයක් විය යුතුයි. දෙවැන්න ගර්භාෂය ඇතුළත ඉන්න බබාලගේ මෙම අගය දෙගුණයක් වෙයි. ගර්භාෂයෙන් පිට සිටින බබාලගේ දෙගුණ නොවී hcg අගය යන්තම් ඉහළ යයි. මෙය සියයට 80 ක් පමණ නිරවද්‍ය වුවත්, බබා ගර්භාෂයේ නොවේ නම් ස්කෑන් කරමින් දිගටම නිරීක්ෂණය කරන්නට සිදුවේ. ගර්භාෂයේ නොපෙනීම තිබේ නම් මව රෝහල්ගත කරනවා. ඒ පැලෝපීය නාලය ආදිය පුපුරා යා හැකි නිසා ලැපරස්කොපි කරමින් දිගටම බලයි. දරුවා පැලෝපීය නාලයේ සැදේ් නම් එය ඉවත් කළ යුතුයි. එය පුපුරා ගියහොත් ගර්භාෂයට නොව උදරයට වැටේ. බොහෝවිට මෙවැනි පිළිසිඳ ගැනීම් ගබ්සාවන් බවට පත් වෙයි.

ඉඳහිට මෙවැනි පිළිසිඳ ගැනීම් පිළිබඳ හිරණ්‍යා අසා තිබුණත් ඒවා සුලබ නොවන බව ඇය දැන සිටියා. Dating Scan පිළිබඳ ඇය මනා අවබෝධයක් ලැබුවා.

 

 

 

උපදෙස්

ද සොයිසා කාන්තා රෝහලේ

නාරි හා ප්‍රසව

විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ