ජංගම දුරකථනය වතුරට වැටුණොත්...

ජුනි 9, 2021

 

හැකි ඉක්මනින් ඉවතට ගන්න

බැටරිය සහ සිම්පත ඉවත් කරන්න

ජංගම දුරකථන භාවිත කරන ඔබ අවධානය යොමු කළ යුතු කරුණු - 03

 

වර්තමානයේ දුරකථන භාවිතය පිළිබඳ සැලකිලිමත් වීමේදී ඉතාමත් විශාල වශයෙන් ජංගම දුරකථන ලෝකය පුරා අලෙවිවන බව නොරහසකි.

කාන්තාවන් ජංගම දුරකථනය භාවිතයේදී දැනගත යුතු සහ සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයක් පවතින අතර අද මෙම ලිපිය තුලින් කතා කරන්නේ විශේෂයෙන්ම එදිනෙදා ජීවිතයේදී කාන්තාවන් ජංගම දුරකථනය හා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු සරල කරුණක් පිළිබඳවයි.

ජංගම දුරකථනය ජලයට වැටීමෙන් සිදු විය හැකි හානි අවම කර ගැනීමට නිවසේ දී ගත හැකි පහසු පියවර කිහිපයක් ද හඳුනා ගනිමු. බොහෝ විට තමන්ගේ දුරකථන අංක ලැයිස්තු, ඡායාරූප එකතු, වීඩියෝ දර්ශන වැනි වටිනා දත්ත සියල්ල ගබඩා කරගෙන ඇත්තේ තමන්ගේ දුරකතනයටයි.

 

සෑම විටම තමන්ගේ අතේ, සාක්කුවේ හෝ බෑගයේ තිබෙන ජංගම දුරකථනයට සිදු විය හැකි අනතුරු ප්‍රමාණය ඉතා ඉහළයි. ඉන් එක් හානිකර අනතුරක් වන්නේ ජංගම දුරකථනය තුළට ජලය ඇතුළු වීමයි.

 

එවැනි අවස්ථාවක දී,

 

හැකි ඉක්මනින් ජංගම දුරකථනය ජලයෙන් ඉවතට ගන්න.

දෙවනුව වියළි රෙදි කැබැල්ලකින් හෝ අත් පිස්නාවකින් ජංගම දුරකථනය තෙත මාත්තු කළ යුතු අතර මතුපිට ජලය පිස දැමිය යුතුය. පසු බැටරිය සහ සිම් කාඩ්පත ඉවත් කොට ජලය පිස දැමිය යුතුය.

ඒ වගේම මේ සඳහා පහසු පියවරක්ද ඇත. එනම්,

හැකි පමණ පිස දැමීම මගින් ඇතුළු වූ ජලය ඉවත් කිරීමට උත්සාහ දැරීම වැදගත් වේ.

මීළඟට දුරකථනයේ කොටස් එකට සවි කර එය ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීම සඳහා දුරකථනය පණ ගන්වා බැලීමට උත්සාහ දැරීම සාමාන්‍යය භාවිතයයි.

එය දුරකථනයට හානිකර විය හැකි අතර තවමත් ඇතුළත කොටස් වල ඉතිරි වී ඇති ජලය හේතුවෙන් ජංගම දුරකථනයේ පරිපථය ලුහුවත් (short circuit) විය හැකිය.

එබැවින් ක්ෂණිකව දුරකතනය ක්‍රියාත්මක කිරීමෙන් වැළැකී සිටීම ඉතා වටී.

අවසාන පියවර වශයෙන් සහල් පිරුණු බඳුනක් තුළ තැබීම, රෙදි කඩකින් ආවරණය කොට හිරු රශ්මිය ලැබෙන ස්ථානයක තැබීම හෝ තෙතමනය උරා ගන්නා වෙනත් ද්‍රව්‍යක බහා තැබීම කළ හැකියි.

හිරු රශ්මිය ලැබෙන ස්ථානයක තැබීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ අධික කාලයක් හිරු රශ්මියට දුරකථනය අනාවරණය කිරීමෙන් වැළකී සිටීමයි.

ඉතා අධික උෂ්ණත්වය ජංගම දුරකථන වල තිරයට (ස්ක්‍රීන්) හානි සිදුවිය හැකිය.

 

බොහෝ දුරකථන අලුත්වැඩියා කරන ආයතන විසින් නිර්දේශිත උපදෙස් වන්නේ ඉහතින් සඳහන් පියවර කිහිපයයි.

එම පියවර ගැනීමෙන් පසු ජංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ හැකි අතර ප්‍රතිඵලය තීරණය වන්නේ ඔබගේ දුරකතනයේ වර්ගය සහ එය තුළට කොතරම් ජලය ඇතුළු වුවද යන්න මතයි.

මේ ආකාරයට කාන්තාවක් ලෙස ජංගම දුරකතන භාවිත කිරීමේදී අවධානය යොමු කළ යුතුම කරුණු සහ සැලකිලිමත් විය යුතුම කරුණු කිහිපයක් පිළිබඳ මෙලෙස හඳුනාගත හැකි අතර ජංගම දුරකතන භාවිතයේ දී මෙවැනි කරුණු කාරණා පිළිබඳ දැනගෙන කටයුතු කිරීම කාන්තාවන්ට එදිනෙදා ජිවිතයට ඉතාමත් වටී.