අනුන්ගේ සතුට වෙනුවෙන් තම දියුණුව බිලි දෙන්න එපා.

ජූලි 21, 2021

 

උපදෙස් අපට ජීවිතයේ දී බොහෝ දෙනාගෙන් ලැබෙන දෙයකි. එහෙත් ලැබෙන සෑම උපදෙසක් ම ජීවිතයට අදාළ කරගත යුතුදැයි අප සිතා බැලිය යුතුයි. මන්ද ලැබෙන උපදෙස් එය ලබාදෙන පුද්ගලයා අනුව වෙනස් වන බැවිනි.

රාහුල හිමියන්ට ලැබුණු උපදෙස්, අවවාද බුදු හිමියන් ඇතුළු මහ රහතන් වහන්සේලාගෙන් ලැබුණු බැවින් එය ඒ හිමියන්ගේ චරිතය සකසා ගැනීමටත් රහත් භාවය ලබා ගැනීමටත් ඉවහල් වුණි.

එලෙසින් ම බුදු හිමියන් වැඩ සිටි අවදියේ ම සිටි අහිංසක, දරුණු සිත් ඇති අංගුලිමාල වූයේ ද තම ගුරුවරයාගෙන් ලැබුණු වැරැදි උපදෙස් නිසයි. මේ කතා අපට අපේ ජීවිත හැඩගස්වා ගැනීමේ දී ද, ඉලක්කයකට යාමේ දී ද මතක තබා ගැනීම වැදගත් ය. මන්ද අපට ද විවිධ පුද්ගලයන්ගෙන් අවවාද හා උපදෙස් ලැබෙන බැවිනි.

අද අපි මේ ලිපිය තුළින් සාකච්ඡා කරන්නේ ඉලක්කයක් වෙත යාමේ දී අප සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳයි. මෙහිදී ඔබ මතක තබා ගත යුතු කරුණක් වන්නේ අප සාර්ථකත්වය සොයා යාමේ දී අපට සෑම දෙනකුගේම සිත් සතුටු කිරීමට අපහසු බවයි.

එක් තරුණයෙක් පැවසුවේ ඔහුගේ වැඩි කැමැත්ත ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වුවත් ඔහුගේ පෙම්වතිය හා ඇගේ මව්පියන්ගේ කැමැත්ත වූයේ ඔහු රැකියාවක් කරනු දැකීමටයි. මේ තරුණයාගේ මව ඔහු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට දක්වන උනන්දුවට කැමැත්තක් දැක්වුවත් එය ඔහු කළ හැකි වේදැයි, අසාර්ථක වේදැයි සිත තුළ බියක් පවතී. ඔහු මේ ගැන තම මිතුරන්ගෙන් අදහස් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ, ඔයා කොහොමද බිස්නස් කරන්නේ.. අමාරුවේ වැටෙන්නේ නැතිව තියෙන දෙයක් කරගෙන ඉන්නා ලෙසයි.

බොහෝ වෙලාවට අප යමක් කරන්නට යන විට ඒ වෙනුවෙන් විවිධ උපදෙස් දෙන, අදහස් දක්වන පිරිස් සිටිති. ඉන් බොහෝ පිරිසක් පවසන්නේ ‘‘ ඔයාට මේ දේ කරන්න අමාරුයි, තියෙන දේත් ඔයාට නැති වෙයි, ඔයා කොහොමද මේ තරම් දෙයක් කරන්නේ, ඔයාට මේ දේ කරන්න බැරි වෙයි, ඔයාට මේ වගේ දේවල් හරියන්නේ නෑ, ඔයා අසාර්ථක වෙයි‘‘ වැනි ඍණාත්මක අදහස්ය.

එහෙත් මෙවැනි අවස්ථාවක අදහස් දක්වන, උපදෙස් දෙන තවත් පිරිසක් අපට මුණගැසේ. ඔවුන් ඍණාත්මක අදහස් දක්වන්නන් නොවේ.

නමුත් ඔවුන් කැමැත්තක් දක්වන්නේ අපි කැමැති දේ කරනවාට නොව, ඔවුන් කැමැති දේ සිදු කරනවාටයි. අපට කැමැති දේ අපි කරනවාට ඔවුන් කැමැත්තක් නොදක්වයි.

අපි උදාහරණයක් ගනිමු.

එක්තරා තරුණයකු කිසියම් ව්‍යාපාරයක් කිරීමට අදහස් කරයි. මේ තරුණයාගේ පෙම්වතිය ඔහු කරනදේට අකැමැති අතර ඇය කැමැති දේ කරනවාට සතුටු වේ. ඔහුගේ මිතුරන් තුළ ඔහු එය කරනවාට ඇත්තේ අකැමැත්තක් නොව, ඔවුන් තුළ ඇත්තේ ඍණාත්මක අදහස් ය.

තරුණයාගේ මව ඔහු ව්‍යාපාරයක් කරනවාට අකැමැති නොවූවද එය සාර්ථක නොවූවොත් ඔහුගේ අතේ ඇති මුදලත් අහිමි වේයැයි බියකින් පසු වේ. මෙය ලිපියකින් කතා කිරීමට තරම් ලොකු දෙයක්දැයි ඔබට සිතෙනු ඇත. ඔව්, අප නොසිතුවද එහි අපේ ජීවිතවලට බලපෑම් කරන දේ ගැබ්ව පවතී.

අප යමක් කිරීමේ දී තවත් අයකුගෙන් ඒ පිළිබඳ විමසීමක් කිරීමට පුරුදුව සිටී.

ඇතැම් විට ඒ තමාගේ විශ්වාසවන්ත මිතුරෙක්, මව්පියන්, හිතවතෙක්, අසල්වැසියෙක් විය හැකියි. නමුත් මේ උපදෙස් ලබා දෙන පුද්ගලයා අනුව අප එය ඉදිරියට කරනවාද නැද්ද, අපට එය කරන්න පුළුවන්ද බැරිද යන්න තීරණය කරයි.

මේ නිසා අප කරන්නට සිටින යම් දෙයක් නොකර සිටීමට තීරණය කළ හැකියි.

උදාහරණයක් ලෙස ඔබ යම් රැකියාවකට යාම සඳහා සම්මුඛ පරීක්ෂණයකට යන බව පැවසූ විට ‘‘අයියෝ ඒක හොඳ රස්සාවක් නෙවෙයිනේ.., ඔයා වගේ කෙනකුට මේකට වඩා හොඳ රස්සාවක් හොයා ගන්න පුළුවන්නේ.‘‘. ලෙස පැවසුවහොත් ඔබ ඒ සම්මුඛ පරීක්ෂණයට නොයාමට හෝ එම රැකායාවට නොයාමට ඉඩ තිබේ.

ඉන් සිදුවන්නේ අපට එම රැකියා අවස්ථාව අහිමි වීමයි.

අප ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතා සිටින විට යම් අයෙක් ‘‘මේ ව්‍යාපාරයක් පටන්ගන්න හොඳ කාලයක් නෙවෙයි.., මේ කාලේ ව්‍යාපාර කරලා කොහේ සාර්ථක වෙන්නද?.., ව්‍යාපාරයකට මේ කාලේ වෙළෙඳපොළක් නෑ‘‘.. ආදී ඍණාත්මක දෙයක් පැවසුවහොත් අපට ව්‍යාපාරය ආරම්භ කිරීමට ඇති උනන්දුව හීන වී එය කල් දැමිය හැකියි.

එවිට සිදු වන්නේ අපේ ව්‍යාපාරික සිහිනය සැබෑකර ගැනීමේ කාලය කල් යාමයි.

මේ නිසා ඔබ යමක් කිරීමට අදහස් කරන විට ඒ වෙනුවෙන් අන් අයගේ උපදෙස් ලබා ගැනීමේ දී එය සිදු කළ යුත්තේ ඉතාමත් කල්පනාකාරීව ය. මන්ද අනෙක් පුද්ගලයා දෙන උපදෙස්, අවවාද මත ඔබ එය සිදුකරනවාද නැතිද යන්න තීරණය වන නිසයි.

අප පවසන්නේ යමෙකුගෙන් උපදෙස් නොපැතිය යුතු බව හෝ යමෙක් දෙන උපදෙස් නොසලකා හරින ලෙස නොවේ. අප නිසි පුද්ගලයකුගෙන් නිසි උපදෙස් ලබා ගත යුතු බවයි. හොඳින් තාර්කිකව, කරුණු විශ්ලේෂණය කොට, තොරතුරු සොයා බලා තම අත්දැකීම් අනුව අපට හොඳ උපදෙසක් ලබා දෙනවා නම් එවැනි උපදෙස් පිළිගැනීමට හැකියාව ඇත.

එසේ නොමැතිව කටට එන දේ පවසන, තමාගේ අසාර්ථකත්වයන් නිසා හීනමානයෙන් පෙලෙන පුද්ගලයන්ගෙන් ලැබෙන උපදෙස් සිතට ගත යුතු නැත.

අපේ රටේ බොහෝ තරුණ පිරිස් යමක් ආරම්භ කිරීමට සිතා සිටියද ඒ සඳහා අනෙක් අය දක්වන අදහස් උදහස් නිසා තමාගේ කාර්යය ලප් තැනම ලොප් කරගනී. එනම් ආරම්භයටත් පෙරම එය නැතිකර ගනී.

මේ නිසා බොහෝ තරුණයන්ට තමා දැනට සිටින තත්ත්වයට වඩා තැනකට යාමට හැකියාව තිබුණත් අන් අයගේ ඍණාත්මක හඬට කන්දීම නිසා ඒ සාර්ථකත්වයන් ලබා ගැනීමට නොහැකිව ළතැවේ.

බුලත් විටක්වත් නොවිකිණූ අයෙක් ඔබට ව්‍යාපාර පිළිබඳ උපදෙස් ලබා දෙනවා නම් ඒ උපදෙස් පිළිගැනීමට පෙර සිතා බලන්න.

ඇතැම් විට ඔබට රැකියා පිළිබඳ උපදෙස් ලබා දෙන්නේ කිසි දිනෙක රැකියාවක් කළ හෝ සාර්ථක ලෙස රැකියාවක නියැළුණු පුද්ගලයකු නොවිය හැකිය.

මේ නිසා තමාට උපදෙස් ලබා දෙන පුද්ගලයාගේ සුදුසුකම් පිළිබඳ සිතා බලා එම උපදෙස් පිළිපැදිය යුතුදැයි තීරණය කරන්න. නැතිනම් කවුරුන් කෙසේ කීවත් හරි දේ කිරීමට සිතට ගන්න.

 

මේ පිළිබඳව තවත් තොරතුරු ලබන සතියේ..

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු