සාර්ථකත්වය වෙනුවෙන් සුවපහසුව අතහරින්න..

අගෝස්තු 18, 2021

 

ජීවිත ජයග්‍රහනය උදෙසා විවිධ වූ ඉලක්කයන් හඹා යන ඔබ අප සියලු දෙනාම ඇතැම් විටෙක ඉන් හෙම්බත් වෙයි. එසේ වන්නේ යන මං නොදැන ගමනක් යාම හේතුවෙනි. එහෙත් මං සලකුණු දැනගෙන නිසි මඟ යන්නේ නම් ඒ ගමන පහසුවෙන් යාමට හැකියාව ලැබෙයි. ඒ නිසා අප ඉලක්කය හඹා යාමට නිසි මං දැන ගත යුතුය.

 

අපි ඔබට ඒ සඳහා මං සලකුණු පවසන්නෙමු. ඒවා සිහි තබාගෙන කටයුතු කිරීමෙන් ඔබට අපේක්ෂිත ජයග්‍රණය ලබා ගැනීම පහසු වනු ඇත. ලෝකයේ සාර්ථකත්වය ලබා ගත් අය එම සාර්ථකත්වය ලබා ගත් කරුණු පිළිබඳ අවධානය යොමු කළෙමු. ඉන් පළමුවැන්න ලෙස අලුයමින් අවදිවීම කළ යුතු බව පසුගිය ලිපියෙන් අපි පෙන්වා දුනිමු.

මෙහිදී ඔබ උදෑසනින් නැගීටීම පමණක් ප්‍රමාණවත් නැත. උදෑසනින් අවදි වී එම කාලය ප්‍රයෝජනවත් දෙයකට යෙදවිය යුතුය. ඔබ තවමත් උදෑසනින් අවදි වීමට නොහැකි, නින්ද සමඟ සටන ජයගැනීමට නොහැකි අයෙක් නම් ඔබ මේ ලිපි කියවූ පමණින් සාර්ථක නොවේ. ඒ සඳහා ක්‍රියා කිරීම ඇරඹිය යුතුය. වෙනත් අයකුට ඔබ වෙනුවෙන් එය කළ නොහැකිය.

සාර්ථකත්වය ලබා ගැනීම සඳහා ඉවහල් වන කරුණු 10 න් දෙවැනි කරුණ කුමක්දැයි අද අපි විමසා බලමු.

 

සුවපහසු කලාපයෙන් මිදීම

 

මෙහි කම්ෆර්ට් සෝන් ඉංග්‍රීසි වදන ඔබ අසා ඇති. සුවපහසු කලාපය යනු කුමක්දැයි දැන් අපි බලමු. කුමනාකාරයේ ජීවිතයක් ගෙවූවද අප ඒ ජීවිතයට හුරු වී සිටින බව ඔබට පෙනේවි. දැනට අප ගෙවමින් සිටින්නේ මෙතෙක් අප ගෙවූ ජීවිතයේ සිදු කළ දේවල්වල ප්‍රතිඵලයයි. එය අපේ පහසු කලාපයයි. ඔබට දැනට ගෙවන ජීවිතය වෙනස් කරගැනීමට අවශ්‍ය නම් මෙතෙක් ඔබ සිදු කළ දේවල්වලට වඩා වෙනස් දෙයක් සිදු කළ යුතුය. නැතහොත් ඔබ සුවපහසු කලාපයෙන් මිදිය යුතුය.

නමුත් මේ සඳහා ඔබ විසින් යම් කැප කිරීමක් කළ යුතුය. එහෙත් බොහෝදෙනා මැළි වන්නේද මේ කැප කිරීම සිදු කිරීමටයි. මන්ද තම පරණ පුරුදු අතහැරීමට අකැමැත්තක් බොහෝ දෙනා තුළ පවතින බැවිනි. පරණ පුරුදු සමඟ ජීවත් වීම ඔවුනට ලබා දෙන්නේ සුවයකි. ඔබ දැනට ක්ෂණික ආහාරවලට පුරුදු වී ඇති අයෙක් නම් ඉන් මිදීමට කැමැත්තක් නොදක්වයි. එය ඔබට සුවපහසුවක් දනවන බැව් සිතන බැවිනි. නමුත් ඔබ මුදල් ඉතිරිකර ගැනීමට සිතන්නේ නම් මේ පුරුද්දෙන් මිදිය යුතුය. මෙම පුරුද්ද නතර කිරීමේ දී මුලින් ම ඔබට යම් වේදනාවක් ඇති වේ. නමුත් එම වේදනාව දරාගෙන අභියෝගාත්මක කලාපයට පිවිසෙන්නේ නැතිව අප මේ කතා කරන දියුණුව, සාර්ථකත්වය ඔබට ළඟාකර ගත නොහැකි ය.

කලින් ලිපියේ කතා කළ පරිදි ඔබ උදේ 7-8 වනතෙක් නිදාගැනීමට පුරුදු වී ඇති අයෙක් යැයි අපි සිතමු. එම නින්ද ඔබට සුවපහසුව දනවයි. නමුත් ඔබ මේ සුවපහසු කලාපයෙන් මිදී උදෑසනින් අවදි වී එම අපහසුව සතුටින් දරාගෙන දවස ආරම්භ නොකොට දියුණු විය නොහැකි ය.

 

වැඩ කරන ප්‍රමාණයේ වෙනසක් ඇතිකරගන්න

 

අප මෙය කාර්යාලයට ගෙන යමු. දැනට ඔබේ ප්‍රධානියා ඔබට පවරා ඇති කාර්යයන් පමණක් කරගෙන සිටීම ඔබට පහසුයි. නමුත් ඔබගේ වැටුපෙහි වෙනසක් හෝ තනතුරෙහි වෙනසක් එසේ කිරීමෙන් බලාපොරොත්තු විය නොහැකි ය. එහෙත් ඔබට දැනට සිටිනා තනතුරෙන් ඉහළ තනතුරකට යාමට අවශ්‍ය නම්, දැනට ගන්නා වැටුපට වඩා වැඩි වැටුපක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබ දැනට කරන වැඩ ප්‍රමාණය හෝ එම වැඩ කරන ස්වරූපයේ වෙනසක් සිදු කළ යුතුය.

උදාහරණයක් ලෙස ගතහොත් ඔබ ආයතනයට 8.30 වන විට ගොස් 4.30 වනවිට ඉන් නික්මෙන අයෙක් නම්, දැනට යන වේලාවට වඩා මඳක් කලින් ගොස් මඳක් වැඩි වේලාවක් හෝ කාර්යාලයේ වැඩ කිරීමෙන්, තමා කළයුතු වැඩ තවත් තිබේදැයි ප්‍රධානියාගෙන් විමසා ඒවා ඉටු කිරීමෙන් එසේත් නැතිනම් ඔබ වෙනදා කරන වැඩ ප්‍රමාණයම ගුණාත්මක භාවයකින් හා කාර්යක්ෂමව ඉටු කිරීමෙන් වැනි දේවලින් ඔබ ඔබගේ සුවපහසු කලාපයෙන් මිදී අභියෝගාත්මක කලාපයට පිවිසේ.

මෙම සුවපහසු කලාපයේ ම ප්‍රබේද කිහිපයක් ඇති අතර ඒවා ද සාර්ථකත්වය කරා යාමේ දී ඔබට වැදගත් වේ. එම ප්‍රබේද පිළිබඳ අපි ලබන සතියේ දී කතා කරමු.

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු