සාර්ථකත්වය සොයා ගන්න මේ මාවතෙන් එන්න...

ඔක්තෝබර් 6, 2021

ජීවිතය ජය ගැනීම සඳහා නොයෙකුත් දේ අත්හදා බලන පිරිස් බොහෝ ය. එහෙත් කොතරම් උත්සාහ කළ ද ඇතැම් අයට තමා බලාපොරොත්තු වන ඉලක්ක ජයගෙන සාර්ථකත්වය කරා යාමට නොහැකි වේ. මෙසේ වන්නේ ඒ සඳහා යා යුතු නියම මාර්ගය නොදැන මං මුලා වීම නිසයි. තමාගේ කාලය, මුදල්, ශ්‍රමය ආදිය මේ නිසා අපතේ යයි. එමනිසා සාර්ථකත්වයට යා යුතු මාවත වෙත අපි ඔබ කැඳවා යන්නෙමු.

පසුගිය සතියේ දී අපි සාර්ථකත්වය ලබා ගැනීමට කැමැත්තක් දක්වන ඔබ ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර දහයෙන් දෙවැනි පියවර පිළිබඳ දැනුම්වත් කළෙමු. අද ලිපියෙන් අප ගෙන එන්නේ එම දෙවැනි පියවර වන සුවපහසුව අතහැරීම යන්නට අදාළ ඔබ දැනගත යුතු තවත් කරුණු කිහිපයක් පිළිබඳ යි.

සුවපහසු කලාපය ලෙස අප සලකන්නේ ඔබ එදිනෙදා හුරු පුරුදු වී සිටින ජීවන රටාවයි. කූඩැල්ලා මේට්ටේ තියන්න බැහැ යනුවෙන් වන කියමනෙන් ද පෙනෙන්නේ එයයි. තමාට හුරු පුරුදු දේ බැහැරකර වෙනත් දෙයකට හුරු වීමට අප බොහෝ දෙනෙක් දක්වන්නේ අකැමැත්තකි. එබැවින් බොහෝ දෙනෙක් මේ සුවපහසු කලාපයෙන් ඔබ්බට යාමට අකැමැති බව පැහැදිලි ය.

එයට හේතුව වන්නේ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් ඒ සඳහා ඔබ දැනට සිටින සුවපහසු කලාපයෙන් බැහැර විය යුතු වීමයි. එනම් දැනට කරන රැකියාව අතහැරීමට හෝ දැනට සිදු කරන යම් කාර්යයක් ඒ වෙනුවෙන් කැප කිරීමට සිදු වීමයි. එම කැප කිරීම සිදු කිරීමට බියක් දැක්වීම, යම් අවදානමක් ගැනීමට ඇති නොහැකියාව මේ අකැමැත්තට හේතුවයි.

මෙම සුවපහසු කලාපයෙන් ඔබ්බෙහි තවත් කලාප කිහිපයක් ඇත. එම කලාපයන් වන්නේ,

ෆියර් සෝන්, එනම් බිය කලාපය

ඔබ වේදිකාවක කිසි දිනෙක කතාවක් පවත්වා නැතිනම් කතා නොකර සිටීම ඔබට සුවපහසු ය. නමුත් ඔබ වේදිකාවක කතා කරන තෙක් ඔබට අලුත් අවස්ථාවක් නොලැබේ. මේ අනුව යම් අවස්ථාවක් ලබා ගැනීමට නම් සුව පහසු කලාපයෙන් බැහැර විය යුතු බව පැහැදිලි ය. ඔබ තුළ ඇති බිය පරාජය කළ යුතුය. අපට බොහෝ විට කම්ෆර්ට් සෝන් හෙවත් සුවපහසු කලාපයෙන් ඔබ්බට යාමට නොහැකි වන්නේ බිය නිසයි. එම බිය ජය ගැනීමට හැකියාව ඇති අයට ඉන් එපිටට ඇති අනෙක් කලාපවලට ළඟා වීමට හැකි වේ.

ලර්නින් සෝන් හෙවත් ඉගෙනුම් කලාපය

සුවපහසු කලාපයේ බිය කලාපය පසුකරන අයකුට ඉන් පසුව හමුවන්නේ ඉගෙනුම් කලාපයයි. මේ ඉගෙනුම් කලාපයේ දී අපට අලුත් දේ ඉගෙන ගනිමින්, අලුත් අත්දැකීම් ලබා ගනිමින්, අලුත් සමාජ සබඳතා ගොඩනගා ගනිමින්, අලුත් වගකීම් ඉටු කරමින් ජීවිතයට නව අත්දැකීම් සමූහයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. එම අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් ඉන් ඔබ්බෙහි ඇති සිව්වැනි කලාපයට යාමට ඔබට හැකි වේ.

ග්‍රොව්ත් සෝන් හෙවත් වර්ධනීය කලාපය

තමාගේ සුවපහසුව කැප කරමින් තමා තුළ යම් යම් දේ ගැන ඇති බිය පාලනයකර, අභියෝග බාරගෙන, නොදැන සිටි දේ ඉගෙන ගනිමින් සිටින පුද්ගලයා කිසිදු අපහසුවකින් තොරව වර්ධනීය කලාපයට ඇතුළු වේ. මේ වර්ධනීය කලාපයට ඇතුළු වූ පුද්ගලයා අඛණ්ඩව තම දැනුම වැඩිකර ගනී. තමා කලින් සිටියාට වඩා ඉදිරියෙන් මේ මොහොතේ සිටින අතර ඔහු හෝ ඇය ඉදිරියට යාමේ ගමන මේ වන විට ආරම්භකර ඇත.

මෙහි අපහසු ම කොටස වන්නේ සුවපහසු කලාපයෙන් බැහැර වීමයි. ඒ සඳහා ඔබට විශාල ආත්මශක්තියක් අවශ්‍ය වේ. ඒ සඳහා යම්කිසි පෙලඹවීමක් අවශ්‍ය වේ. එම පෙලඹවීම නොමැතිව ඔබට තමා සිටින තැනින් ඉදිරියට යාමට අපහසු ය.

‘දැනට දේශකයෙක් ලෙස ක්‍රියා කරන මම එයට පෙර රැකියාවක් කළ අයෙක්. මට එහිදී නිශ්චිත වැටුපක්, ආයතනයෙන් ලැබුණු වෙනත් ප්‍රතිලාබ, මා යටතේ වැඩ කරන විශාල කණ්ඩායමක්, ආයතනය තුළ තිබූ විශාල පිළිගැනීම යන සියලු සුවපහසු දේ අතහැර නව ඇරඹුමක් ලබා ගත්තා. මම ඒ සියල්ල සුවපහසුවෙන් බුක්ති විඳිමින් සිටියා. නමුත් මට දේශකයෙක් වීමේ, තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ වුවමනාවක් දැනුණා. මුල් කාලයේ දී එම අදහස කල් දමමින් සිටියේ ඒ වන විට බුක්ති විඳි දේ මට සුවපහසු කලාපයක් වූ නිසයි. නමුත් යම්කිසි අවස්ථාවක මම සුවපහසු කලාපයෙන් මිදීමට තිබූ බිය අමතකකර සේවයෙන් ඉවත් වීමට තීරණය කළා. එම තීරණය ගත් අවස්ථාව මම බිය කලාපයට ඇතුළු වූ අවස්ථාවයි. ඉන් පසුව ඉගෙනුම් අවස්ථාව පසු කරමින් තවමත් එහි ගත කරමින් ක්‍රම ක්‍රමයෙන් වර්ධනීය කලාපයට පැමිණ තිබෙනවා. එහිදී මම පුහුණුකරුවකු හා දේශකයකු ලෙස ක්‍රියා කරමින් මගේම ආයතනයක් පවත්වාගෙන යාම වර්ධනීය අවස්ථාවයි. මෙයට පෙර තනි පුද්ගලයකු ලෙස ක්‍රියා කළ මම තවත් අයට රැකියා ලබා දෙන තත්ත්වයට පැමිණ තිබෙනවා.

ඉතිං ඔබත් දැනට සිටින සුවපහසු කලාපයේ සිටිමින් දැනට ලැබෙන දෙයට වැඩි දෙයක් බලාපොරොත්තු නොවිය යුතුය. එයට වඩා යමක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන් ම ඔබ සුවපහසු කලාපයෙන් බැහැර විය යුතුය. බිය නැතිකරගෙන අලුත් දේවල් ඉගෙන ගනිමින් අලුත් වගකීම් දරමින් ඉගෙනුම් කලාපයේ සිටිමින් ඉන් ලබා ගන්නා දැනුම හා අත්දැකීම් භාවිත කරමින් වර්ධනීය කලාපයට පිවිසිය හැකිය. වර්ධනීය කලාපයේ දී ඔබට අවශ්‍ය ඉලක්ක හා සාර්ථකත්වය ළඟාකර ගත හැකියි.

ඔබට සුවපහසු කලාපයෙන් බැහැර වීමට නම් දැනට තිබෙන පුරුදු වෙනස් කරගන්න. ඔබේ ප්‍රධානීන් බාරදෙන අමතර වගකීම් බාරගන්න. ඔබ දැනට රැකියාවක් සුවසේ කරන කෙනෙක් නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැමැත්තකින් සිටිනවා නම් එම ව්‍යාපාරය ආරම්භ කිරීමට කටයුතු කරන්න. ඉදිරියට යාමට නොහැකි ඔබ තුළ ඇති බිය, නොහැකියාව කුමක්දැයි හඳුනාගෙන ඒ බිය අතික්‍රමණය කොට ඊළඟ පියවරට පැමිණීමට අදිටන් කරගන්න. ඇතැම් විට ඔබ දැනට සිටින තනතුරෙන් ඉහළ තනතුරකට යාමට ඇකැමැති වන්නේ ඉහළ තනතුරකට ගිය විට එහි වගකීම්, හා වැඩ අධික වන නිසා විය හැකිය. නමුත් මේ බිය නැතිකර ගන්නා තෙක් ඔබට දැනට සිටින තත්ත්වයෙන් ඉහළ යාමට නොහැකි වේ.

මේ අනුව ඔබ මතක තබා ගත යුත්තේ සාර්ථකත්වය ඇත්තේ සුවපහසු කලාපයෙන් ඔබ්බෙහි බවයි.

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු