ලොවට ඇය මවක් පවුලට ඇය ලොවක්

මැයි 20, 2020

ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනය යෙදී ඇත්තේ මැයි මාසයේ දෙවැනි ඉරු දිනය. එහෙත් සමහර රටවල් වසරේ වෙනත් මාසවලදී මවුවරුන්ගේ දිනය සමරයි. මවුවරුන්ට සහ මාතෘත්වයට ගරු කිරීමට සමරන නූතන මවුවරුන්ගේ දිනයට මුල පිරී ඇත්තේ විසි වැනි සියවසේ අමෙරිකාවෙනි. මවුවරුන්ගේ දිනයේ නිර්මාතෘවරිය ඇනා මාරියා ජාවිස් ඇයගේ මව වෙනුවෙන් නිවාඩු දිනයක් මවුවරුන්ගේ දිනය ලෙස නම් කරන ලෙස ඉල්ලා තිබේ. ඇයගේ මව ජීවත්ව සිටියදී සතියේ නිවාඩු දිනයක් මවුවරුන්ගේ දිනය ලෙස නම් කිරීමේ වටිනාකම ගැන නිතර පවසා ඇත. මවුවරුන්ගේ දිනයේදී බොහෝ වෙළෙඳ සමාගම් ලාබ ලැබුව ද ඇනාට කිසිදු වාසියක් අත්පත් වූයේ නැත. ඇය රෝගීන් සඳහා වූ සත්කාරාගාරයක දී වයස 84 දී මිය ගිය අතර ඇයගේ වෛද්‍ය බිල්පත් ගෙවා ඇත්තේ මල් සහ සුබ පැතුම්පත් අලෙවි කරන ආයතනවල සේවය කරන මිනිසුන් විසිනි. ඇනා මවට මහත්සේ ඇලුම් කළ දියණියකි. ඇයගේ සටනේ පුතිඵලයක් ලෙස බිහිවූ මවුවරුනගේ දිනයේදී කාඩ්පත් මිලදී ගෙන සුබ පතනවාට, මිලදී ගත් කැවිලි දෙනවාට ඇය විරෝධතාවය දක්වා ඇත. “ ඔබ වෙනුවෙන් ඔයතරම් දේ කළ අම්මාට තමන්ගේ මහන්සියෙන් නිර්මාණයක් කර පිළිගන්වන්න තරම් කම්මැලිවීම කනගාටුවක්.” ඇය පවසා තිබිණි. මව වෙනුවෙන්ම ජීවිතය කැප කළ ඇය කිසිදා විවාහ වූයේ නැත.

ලෝකයට ඇය මවකි. එහෙත් පවුලකට ඇය ලොවකි. “ අම්මා “ යන අකුරු තුනේ ගැඹුර සයුරු පත්ලට ද වඩා වැඩිය. එහෙත් ඇයගේ උත්තරීතරබව දූපුතුන් විසින් වටහා ගෙන තිබෙනවාද? එසේ නම් ඔබ සෑම දිනයක්ම මවුවරුන්ගේ දිනයක් ලෙස සලකා ඇය පුදනු නියතය.

සැබෑවටම ඇයට ගරු කරන්නේ නම් හැකි සැම විටම ඇය වෙත පැවරී ඇති වගකීම්වලින් යම් තරමකට හෝ නිදහස් කරන්න.

වෙනදා අම්මා තේ කෝප්පය රැගෙන ඔබේ ඇඳ අසලට පැමිණෙයි. ඔබත් ඇයට රස තේ කෝප්පයක් සාදා ගෙන ගොස් දෝතින්ම පිළිගන්වන්න. නිසැකයි, ඇයගේ දෙනෙත් සතුටු කඳුළින් පිරී යනු ඇත. දවසේ ආහාර වේල් තුනම පිළියෙල කළ නොහැකි නම් අඩු වශයෙන් උදෑසන ආහාර වේල හෝ සකසා දෙන්න.

රැකියාවට යන දියණියකට පුතකුට සති අන්තයේ තමන්ගේම ලොවක තනි වෙනු වෙනුවට ( ස්මාට් ෆෝනයේ, මුහුණු පොතේ, අන්තර්ජාලයේ )ආදරණීය අම්මාට තුරුළු වී කෙටි වේලාවක් හෝ ගතකළ හැකි නම් ඇයට මුළු ලොවම දිනුවාක් වැනි සතුටක් ලැබෙනු ඇත. ඇය දරුවන්ගේ අතින් අල්ලාගෙන දරුවන් කැමැති තැන්වලට කෙතරම් රැගෙන ගොස් ඇත්ද? එහෙත් දරුවකුට ඇය කැමැති තැනකට දෙකකට හෝ වරක් දෙවරක් හෝ කැඳවා ගෙන යා හැකි නොහැකි නම් මොනතරම් අවාසනාවක්ද?

මවුවරුන්ගේ දිනය ලෙස එක් දිනක් දින දසුනේ වෙන් කර තිබුණ ද ආදරණීය දරුවකුට සෑම දිනයක්ම මවුවරුන්ගේ දිනයක් වනු ඇත. දරුවන්ගේ දිනය ලෙස දිනයක් නැත්තේ අම්මාටත් තාත්තාටත් සෑම දිනක්ම දරුවන්ගේ දිනයක් වන නිසාය. එවන් වූ ඔවුන් වෙනුවෙන් එක් දිනක් පමණක් දරුවන් වෙන් කිරීම එක්තරා ආත්මාර්ථකාමීකමකි.

දරුවකුගේ ඇසිපිය ගැසීමේ වෙනසක් පවා මවකට දැනෙයි. එහෙත් මව රෝගීව සිටිය ද දරුවන් මවට කියා තමන්ගේ වැඩ කරගන්නා අවස්ථා තිබේ. මවක් යනු බරපතළ රෝගී තත්ත්වයක් වුව ද දරුවන් ගැන සිතා නොසලකා සිටින්නියකි. එක් තැන්වන තුරුම ඇය කුටුම්බයේ රාජකාරි අත්හරින්නේ නැත. දරුවන් ඇයගේ අසනීප තත්ත්වය ගැන විමසිලිමත් නොවුණොත් ප්‍රතිකාර පතා යාමට ඇය පෙලඹුවේ නැත්නම් කඩා වැටෙන්නේ පවුල් සංස්ථාවය. ඒ මව යනු පවුල් සංස්ථාවේ මුදුන් මුල බඳු නිසයි.