මෙවර ශිෂ්‍යත්ව විභාග අංකයට අමතරව තවත් අංකයක්

විභාග අධ්‍යක්ෂ ජනරාල් සනත් පූජිත මහතා
සැප්තැම්බර් 30, 2020

කොරෝනාවලින් පසුව පැවැත්වෙන පළමු විභාගය වන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඇත්තේ තවත් දින කිහිපයකි. මේ විභාගය සඳහා මෙවර තුන් ලක්ෂ තිස්එක් දහසක පමණ සිසුන් පිරිසක් සහභාගි වෙති.

දරුවන්ටත් වඩා මවුපියන්ගේ උනන්දුව ඇති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය මෙවර විශේෂ ක්‍රමවේදයකට අනුව පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. කොරෝනා වසංගතය හමුවේ සියලුම දේ වෙනස්ව ගිය පසුබිමක මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ද කිසියම් වෙනසක් සිදු වී තිබෙන අතර විභාග පැවැත්වීමේ ක්‍රමවේදය ද තවත් විධිමත් කර තිබීම විශේෂ සිද්ධියකි.

මෙලෙස විභාගය වෙනස්වීම් සිදුකිරීම පිළිබඳ අපි පසුගිය සතියේදී ද විභාග අධ්‍යක්ෂ ජනරාල් සනත් පූජිත මහතා සමඟ සාකච්ඡා කළෙමු. මෙවරත් අප ඔහු සමඟ වැඩිදුරටත් සාකච්ඡා කළේ එම විභාගය හා විභාගය පැවැත්වීම පිළිබඳ තොරතුරු බිඳකි.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ඇති සුවිශේෂිත්ව කුමක්ද?

කොරෝනා වසංගතයෙන් පසුව මේ වසරේ ළඟම තිබෙන විභාගය තමයි ශිෂ්‍යත්වය. ඒ පිළිබඳ මවුපියන් විශේෂ අවධානයක් යොමු කරනවා. මෙම විභාගයේ වැදගත්ම දෙය තමයි මෙවර විභාගයේ සිට අප විභාග දෙපාර්තමේන්තුව ශිෂ්‍ය අනන්‍යතා අංකයක් නිකුත් කරනවා. එයNational Student Identity Number ලෙසයි හඳුන්වන්නේ. මේ අංකය නිකුත් කරන්නේ විභාග අංකයට අමතරවයි. එම අංකය නිකුත් කළාට පසුව මේ අංකය අ.පො.ස. (සා. පෙළ), උසස් පෙළ, ඊළඟට විශ්ව විද්‍යාලයට පවා පාවිච්චි කරන්න අවස්ථාව ලැබෙනවා. මෙය සිදුවන්නේ එකම දත්ත පද්ධතියක් ඔස්සේ ශිෂ්‍යයාගේ හෝ ශිෂ්‍යාවගේ විභාග තොරතුරු රැස් කිරීමයි. මෙම අංකය පාවිච්චි කරලා පාසලේ අනෙකුත් විෂය බාහිර ක්‍රියාකාරකම් ආදී සියල්ලම එකතු කරනවා. මෙයට බාලදක්ෂ, ශිෂ්‍යභට, පරිසර නියමු, වාද විවාද කණ්ඩායම්, ක්‍රීඩා ජයග්‍රහණ සියලු තොරතුරු මෙම අංකයට ඇතුළත් වෙනවා. මෙයින් දරුවාගේ පූර්ණ පැතිකඩක් නැතිනම් Profile එකක් සැදීම සිදු වෙනවා. පසු කාලයේදී අප බලාපොරොත්තු වෙන්නේ නව අධ්‍යාපන යෝජනා යටතේ ලකුණු දීමේ ක්‍රමයක් ඇති කිරීමයි. මෙය අප අධ්‍යාපන කාර්යය සාධක බලකාය සමඟ සාකච්ඡා කරලා තිබෙනවා ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් ක්‍රමයක් සැලසුම් කිරීමට.

ඔවුන් යෝජනා කරන එම විකල්ප ක්‍රියාමාර්ගය මොකක්ද?

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඇති කළ මෙම කාර්යය සාධක බලකායේ සභාපතිත්වය දරන්නේ මහචාර්ය උපාලි සේදර මහතා. එම කණ්ඩායම සාකච්ඡා කරලා තිබෙනවා දැනට පවත්වන ශිෂ්‍යත්ව විභාගය වෙනුවට විකල්ප ක්‍රියා මාර්ගයකට යනවා නම් මෙම ශිෂ්‍ය පැතිකඩ පාවිච්චි කරන්න පුළුවන් ද කියන කරුණ පිළිබඳ. ඒ ගැන අපි තවමත් අධ්‍යයනය කරමින් පවතිනවා. එය තවම තීන්දුවක් ඇරගෙන නැහැ. එම වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී අපට ඕනෑම දරුවෙක් ගැන අනාගතයේදී කියන්න හැකියාව තිබෙනවා.

කොරෝනාවලින් පසුව මෙවර පවත්වන විභාග පිළිබඳ සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

මුළු ලෝකයට ඇතිවී තිබෙන මේ අර්බූදය හමුවේ අපට කියන්න බැහැ 100% ක් මෙය සාර්ථකව පවත්වන බවට. නමුත් අප මෙම විභාගය පවත්වන්නේ විෂය නිර්දේශය ආවරණය කිරීම පිළිබද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තා ලබාගෙනයි. දැන් මේ වන විට බොහෝ පාසල්වල විෂය නිර්දේශය ආවරණය කර හමාරයි. දැන් සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසය වෙන විට පාසල්වල විෂය නිර්දේශය ආවරණය කරලා අවසන් කර පුනරීක්ෂණ කටයුතු තමයි සිදු කරන්නේ. ඇතැම් දුෂ්කර පාසල්වල එම පුනරීක්ෂණ කටයුතු අවසන් කර නැති වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් පාසල්වල එම කටයුතු දැන් අවසන්.

ඔබ විභාගය පැවැත්වීම ක්‍රමවත්ව සිදුවන බව පැවසුවත් දරුවන්ට මේ දිනවල විශාල පීඩනයක් එල්ල වෙනවා. ඇයි එහෙම වෙන්නේ...?

ඇත්තටම මේ පීඩනය එල්ල කරන්නේ දරුවා ජීවත්වන පරිසරයයි. මෙයට මවුපියන්, ගුරුවරුන්, වගකිව යුතුයි. ගුරුවරුන් කියනවා “ඔයා මේ සැරේ කොහොම හරි රෑන්ක් එකක් ගන්න ඕනේ “ ගෙදර අයත් කියනවා. A 9 ගත්තු ළමයාට පාරේ යන්නත් බැහැ. මේ ළමයාව වටේ ඉන්න මිනිස්සුත් බලාගෙන ඉන්නවා, අහල පහළ අයත් බලාගෙන ඉන්නවා මේ දරුවා A/L වලදි ඒ 3 ගනී කියලා. ඉතින් මේ දරුවාට විභාගය සමත් වුණ දවසේ පටන්ම ලොකු බරක් ඇති වෙනවා. පීඩනයක් ඇති වෙලා ඔවුන්ගේ ළමා ලෝකය නැතිවෙලා තියෙනවා. මේවා අප ඉතාම අවධානය යොමු කළ යුතු දේවල්. මෙලෙසින් දරුවන්ට බලපෑම් කිරීම පාසලෙත් තියෙනවා. ගෙදරත් තියෙනවා. ඊට අමතරව සමාජයෙත් තියෙනවා.

ඇත්තටම පරීක්ෂණයකින් දරුවකුගේ සම්පූර්ණ දක්ෂතාව මනින්න පුළුවන් යැයි ඔබ සිතනවාද?

අත්තටම ලිඛිත පරීක්ෂණයකින් මනින්න පුළුවන් සීමා සහිත වූ කුසලතා ටිකක් විතරයි. එතැන පරිපූර්ණ දරුවෙක් නැහැ. ප්‍රායෝගික දේවල් හා ක්‍රියාකාරකම් බලන්න පුළුවන් වෙන්නේ එම දරුවාගේ අනෙකුත් බාහිර ක්‍රියකාරකම් පිළිබඳවත් සොයා බලනවා නම් විතරයි. එයා සමිති සමාගම්වලට යනවා ද බාහිර ක්‍රියාකාරකම් කරනවාද අඩුම වශයෙන් ගෙදරදී මංගල උත්සවයකට යනවා ද තමුන්ගේ ආච්චියි, සීයයි බලන්න ගියා ද. අද දරුවන්ට බාහිර පන්ති නිසා අඩුම වශයෙන් එවැනි ගමනක්වත් යන්න ඉඩක් වෙලාවක් නැහැ. මේ සෑම දෙයකටම සහභාගිවෙන දරුවෙක්ගෙන් තමයි අපට පරිපූර්ණ පුද්ගලයෙක් බිහි වෙන්නේ. අන්න ඒ අඩුපාඩුව තිබෙනවා. ඉදිරි කාලවලදී අපට පුළුවන් වෙයි ඒ පැත්තත් සලකා බලන නිසා ළමයින් ඇති වී තිබෙන පීඩනය අවම කර ගන්න.

ඔබ මුලින් සඳහන් කළ ආකාරයට ඔබගේ ආයතනයේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමත් දැන් ඉක්මන් වෙලා තියෙනවා නේද... ඒ ගැනත් කතා කරමු ද?

අපේ වෙබ් අඩවිය හරහා ප්‍රතිඵල තමුන්ගේ ජංගම දුරකතන අංකය මඟින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් ඇති කරලා තිබෙනවා. ඒ වගේම සැම පාසලකටම user name, password දීලා තිබෙනවා. ඔවුන්ගේ පාසලේ ප්‍රතිඵල ලබා ගැනීමට. එසේම තමුන්ගේ පාසලේ ප්‍රතිඵල විශ්ලේෂණය කරන්නත් දැන් පහසුකම් ඇති කරලා තිබෙනවා.

එයින් පළාත, කලාපයේ සියලු ප්‍රතිඵල විශ්ලේෂණය කරන්න අවස්ථාව අප ලබා දී තිබෙනවා. ඊට අමතරව අපි කලාප 99ට දීලා තියෙනවා විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ බලය. දැන් එම ආයතනය හරහා අන්තර් ජාලය ඔස්සේ විභාග ප්‍රතිඵල සනාථ කරන්න පුළුවන්. ඒ වගේම විභාග ප්‍රතිඵල සනාථ කිරීමේ බලය මුළු ලෝකයටම ලබාදී තිබෙනවා. ඕනෑම පුද්ගලයකුගේ ප්‍රතිඵල ලෝකයේ ඕනෑම තැනකින් සනාථ කර ගැනීමට හැකි ආකාරයට අප දැන් ප්‍රතිඵල ලේඛන ඇතුළත්ව තිබෙන්නේ ඉතාම විධිමත්ව.

ඊට අමතරව ළමයින්ටම තම ප්‍රතිඵල ලේඛනය පරිගණකයෙන් ලබා ගැනීමට හැකි Water mark එකක් සහිත සහතිකයක් අප අන්තර් ජාලයට ඇතුළත් කළා. එය අත්සන් කිරීම online ක්‍රමයට පැය 48 ක් ඇතුළත සිදු කරන්නට ක්‍රමයක් ඇති කළා. එය අත්සන් කර දවස් 2 ක් ඇතුළත ලැබෙනවා.

නැවත උත්තර පත්තර පරික්ෂාව සිදු වෙන්නේ කොයි ආකාරයටද?

සඳහා යම් කාලයක් ගත වෙනවා. යමෙක් උත්තර පත්‍ර නැවත පරීක්ෂා කරන්නේ යම් සැකයක් ඇති නිසානේ. එසේ ඉල්ලීම් කළ අයගේ 0.7% පමණ වෙනසක් විතරයි තිබෙන්නේ. උත්තර පත්‍ර බැලීම ගුරුවරුන් විසින් නිවැරැදිව සිදු කරන බවට එය කදිම සාක්ෂියක්. ඊට පසුව බඳවා ගැනීමේ විභාග (පරිපාලන විභාග, බඳවා ගැනීමේ විභාග) සියල්ලකම පසුගිය අවුරුදු 5 කාලයක සීමාව තුළ ප්‍රශ්න පත්‍ර අපි අන්තර්ජාලයට අපේ වෙබ් අඩවියට ඇතුළත් කරලා තිබෙනවා. සිලුම විභාග ඉල්ලුම්පත්‍ර සියල්ල online ඉල්ලුම් කිරීමේ ක්‍රමයක් සකස් කර තිබෙනවා.

උදාහරණයක් ලෙස මෙවර සෑම පාසලක්ම online ක්‍රමයට තමයි ශිෂ්‍යත්ව විභාගයට සහ සා./පෙළ විභාගය සහ උසස් පෙළට අයදුම් කළේ.

ඒ අතරින් පාසල් 45 ක් විතරයි එසේ නොකළේ. ඔවුන්ට එසේ අයදුම් නොකිරීමට හේතුව වූයේ දරුවන් නොසිටීමයි. ඒ නිසා online ක්‍රමය ඉල්ලුම් කිරීම ඉතාම සාර්ථකයි. මේ කොවිඩ් වසංගත කාලය තුළ එය අපටත් ඉතාම පහසු වුණා.

නමුත් මේ ක්‍රම සඳහා ජනතාව දැනුවත්වීම ඉතාම මදි. අපට facebook පිටුවක් පවා තිබෙනවා. අපේ විභාග දෙපාර්තමේන්තුවේ කාලීන සිදුවීම් පවා අප එහි පළ කරනවා. එසේම tell Commissoner ලෙස විභාගවල ඇති ගැටලු ගැන මට සෘජුවම Emai පණිවුඩයක් මඟින් යොමු කරන්න හැකියාව දැන් තිබෙනවා. අපේ 1911 ක්ෂණික දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මකයි. අපේ වෙබ් අඩවියට පිවිසුණු විට සියලුම ඉල්ලුම්පත්‍ර හා තොරතුරු ප්‍රතිඵල එහි ඇතුළත්ව තිබෙනවා.

අපේ වෙබ් අඩවිය ww.doenets.lk
 

 

2020/09/30 තරුණි පුවපත බලන්න