නව වසර සැහැල්ලුවෙන් ගෙවන්න, මානසික ආතතියට තිත තබමු..

ජනවාරි 9, 2019

දිනෙන් දින ගෙවී අපටත් නොදැනීම වසරක් නිමාවට පත්වෙලා.. නිමාවට පත් වූ වසර දෙස හැරී බැලුවොත් ඉක්මනින් ගෙවුණත් එය කොතරම් වෙහෙසකර වසරක්දැයි ඔබට සිතේවි.

සෑම අයකුගේ ම සිත් නව වසරේ දී අලුත් සිතිවිලි හා අලුත් බලාපොරොත්තුවලින් පිරී තිබීම සාමාන්‍ය දෙයක්.

ඒත් වසර අවසානයේ දී ආපසු හැරී බැලීමේ දී ඒ බලාපොරොත්තු වලින් කොපමණ ප්‍රමාණයක් අපට ඉටුකර ගත හැකි වූවාද? නොහැකි වූ දේ කොපමණද? ඒ කෙසේ වෙතත් කාර්යබහුල ජීවිතය අප හැමදෙනාම බොහෝ වෙහෙසට පත් කරවනවා. හැමදෙනාම මානසික පීඩාවන්ට ලක්වීම දැන් සාමාන්‍ය දෙයක්.

මහලු වියේ පසු වන්නන් බොහෝ විට දරුවන් ගැන සිතමින්, හුදෙකලා බව නිසා, ආර්ථික අපහසුතා මෙන්ම කාලය ගෙවීමේ අපහසුතාව නිසා මානසික පීඩාවකින් පසු වේ.

වැඩිහිටියෝ රැකියාවේ ඇති අවිවේකී බව නිසා, රැකියා ස්ථානයේ සිටින කේලම් කාරයන් නිසා, දරුවන්ගේ කටයුතු, දෙමාපියන් රැකබලා ගැනීම්, ආර්ථිකමය ගැටලු, විවාහ ගැටලු, ඥාතීන් සමඟ ඇති ගැටලු, සමාජමය ගැටලු ආදී බොහෝ ගැටලුවලින් පීඩා විඳිති.

තරුණ පිරිස උසස් අධ්‍යාපන කටයුතු නිසා වන අවිවේකී බව නිසා, විවාහ වීමේ ගැටලු, විරැකියාව, රුව ගැන ඇතිවන ගැටලු, පෙම්වතුන් නිසා, යහළු යෙහෙළියන් නිසා, ආර්ථික ගැටලු ආදී ගැටලු නිසා මානසික පීඩාවට පත්වෙති.

කුඩා දරුවෝ මවුපිය සෙනෙහස අවම ලෙස ලැබීම, අධ්‍යාපනය නිසා, හුදෙකලා බව, දැඩි දඬුවම්, වැඩිහිටි අඩන්තේට්ටම් ආදිය නිසා දැඩි පීඩනයකින් සිටිති. මොවුන්ගේ පීඩාව කොතෙක්දැයි වැටහෙන්නේ ඔවුන් කොතරම් දුරට කෝප වන්නේද, මුරණ්ඩුකම් පාන්නේද යන සාධක මතයි. එය දරුවාගේ වැරැද්දක් ලෙස ඇතැම් විට ඔබට පෙනෙන්නට පුළුවන. එහෙත් එය අප විසින්ම දරුවාට පටවන ලද්දකි.

සමාජයේ සෑම කොටසක් ම පීඩාවට පත්ව සිටින බව මේ අනුව අපට පැහැදිලි වේ.

මේ මානසික පීඩනය අවම කරගැනීමට අපට කළ හැකි දේ මොනවාදැයි මඳක් සිතන්න. මානසික පීඩනය දිගින් දිගටම පැවතීම එතරම් සුදුසු නොවන්නේ ඉන් අපි මානසික මෙන්ම කායික රෝගවලට ලක්වන නිසයි. ඒ විතරක්ම නෙමෙයි මේ මානසික පීඩනය නිසා අපේ සාමාන්‍ය ජීවිතය පවා අවුලක් බවට පත් වේ. අපගේ සමාජයීය ජීවිතය මෙන්ම අපේ ප්‍රතිරූපයට පවා බලපෑම් කිරීමට මේ තත්ත්වය බලපායි.

ඇතැම්හු රැකියා ස්ථානයේ දී, පාරතොටේ දී පමණක් නොවේ පොදු ස්ථානවල දී පවා කලහකාරී අන්දමින් හැසිරෙන්නේ එබැවිනි. තවත් සමහරු තමාට සැබෑ කරගත නොහැකි වූ අරමුණු නිසා ද මානසික පීඩාවන් ඇතිකර ගනී. එවන් විටෙක කලහකාරී පුද්ගලයෙකැයි ඔබට ලේබලයක් වැදීම වැළැක්විය නොහැක්කකි.

විනෝදාංශ මේ සඳහා යම් තරමකට ඔබට සහනයක් ගෙන දීමට සමත් වේවි. ‘අපට කොහෙද විනෝදාංශවලට වෙන් කරන්න කාලයක්’ ඔබ අවඥාවෙන් යුතුව සිතාවි.

එහෙත් මඳක් සිතන්න, විනෝදාංශ නම් කොතෙක් තියෙනවාද? අවශ්‍ය වන්නේ තමාගේ සිතේ සැනසීම ගෙනදෙන, සිතට සතුටක් කැඳවන ආකාරයේ විනෝදාංශයක් තෝරා ගැනීමයි. ඇතැම් විනෝදාංශ ඔබේ දැනුම වර්ධනය කරන්නක් විය හැකියි. මුදල් ඉපයිය හැකි විනෝදාංශ ද බොහෝ වේ.

එමෙන්ම ඔබ සතු කුසලතා දියුණු කරන ආකාරයේ විනෝදාංශයක් වුවද ඔබට තෝරා ගත හැකියි.

තවත් පුද්ගලයකුටත් සතුට කැන්දන ආකාරයේ සුන්දර විනෝදාංශ ද නැතුවා නෙවෙයි. එවැනි විනෝදාංශවලින් තමාත් සතුටු වී තවත් පුද්ගලයන් සතුටු කිරීමට ලැබීම ද වාසනාවකි. එය ඔබ ජනපි‍්‍රය පුද්ගලයකු බවට පත්කරාවි.

කුඩා දරුවන්ට නම් කතන්දර පොත් කියවීම, මුද්දර එකතු කිරීම, දැනුම මිනුම පොතක් සැකසීමට තොරතුරු එක්රැස් කිරීම, ළමා ගී එකතුවක් සැකසීම මෙන්ම ළමා ගී ගායනය, කුඩා අත්වැඩ සෑදීම, පුංචි ගෙවත්තක් සකසා මල්පැළ හෝ එළවළු පැළ කිහිපයක් සිටුවා සාත්තු කිරීම, සෙල්ලම් කිරීම රට රටවල තොරතුරු එක්රැස් කිරීම වැනි විනෝදාංශයක් තෝරා ගත හැකියි.

තරුණ වියට පිවිසි අයෙක් නම් පොත් පත් කියවීම, නර්තනය, සංගීතය, විවිධ දෑ ඉගෙනීමට යොමු වීම, මිතුරන් සමඟ ක්‍රීඩාවෙහි නිරත වීම, විවිධ ආයතන පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම, සමාජ සේවා කටයුතුවල හැකි පමණින් නිරත වීම, මඳක් හුදෙකලා වී නිර්මාණ කටයුත්තක නිරතවීම ආදිය සිදු කළ හැකියි.

මැදි වයස් අයකුට ද ඉහත කී විනෝදාංශ මෙන්ම ඊට අමතරව දරුවන් සමඟ තොරතුරු හුවමාරු කරගැනීම, විවිධ ආකාරයේ ද්‍රව්‍ය එකතු කිරීම (උදා: විවිධ හැඩයේ බෝතල්, ලස්සන කුඩා ප්‍රතිමා වැනි), සැමියකු නම් බිරියට උදවු කිරීම, බිරියක් නම් සැමියාගේ වැඩකටයුතුවලට උදවු කිරීම, සමාජසේවා වැඩකටයුතු, නිවෙස ලස්සන කිරීම, ගෙවත්ත සැකසීම, ආහාර වර්ග සැකසීම, විවිධ දෑ නිර්මාණය කිරීම, අත්කම් ආදී දේ නිමැවීම සිදු කළ හැකියි. මෙහිදී ඇතැම් විනෝදාංශ මඟින් සිතේ සතුට මෙන්ම අතට මුදල් ද ලබා ගැනීමේ හැකියාව ඇති බව මඳක් සිතා බැලුවොත් ඔබට වැටහේවි.

මහලු වියේ පසුවන අයට සංගීතයට සවන් දීම, පොත් කියවීම, ආගමික කටයුතුවල නිරත වීම, කවි/කතා/චිත්‍ර/අත්කම් ආදිය නිර්මාණය කිරීම, තම ජීවිත අත්දැකීම් පොතක් ලෙස ලිවීම (මෙය ඔබේ දරුවන්ට මෙන්ම මුණුබුරු මිණිබිරියන්ට ද වටිනා තිළිණයක් වේවි), කුඩා දරුවන්ට කවි/කතන්දර/බණ කතා ආදිය කියා දීම, සුරතල් සතකු ඇති දැඩි කිරීම ආදිය මෙන්ම මල් වගාවක් හෝ ගෙවතු වගාවක් කිරීම ද ආහාර වර්ග සැකසීම, අත්කම් වැනි දේක යෙදීමෙන් සිතට සතුට මෙන්ම යම් මුදලක් උපයා ගැනීමට දා හැකියි.

මේ හැම වයසකම කෙනෙකුට කළ හැකි විනෝදාංශ ද පවතී. සංගීතයට සවන්දීම මෙන්ම ගීත ගායනය, වාද්‍ය භාණ්ඩයක් වාදනය කිරීම, නර්තනය, ව්‍යායාමවල නිරතවීම, යෝගා ව්‍යායාම කිරීම, පොත් කියවීම, යම් යම් නිර්මාණ කිරීම පොදුවේ හැම අයකුගේම සිතේ සහනය, සතුට ඇති කිරීමට මෙන්ම නිරෝගී බවටත් උදවු දෙන ප්‍රයෝජනවත් විනෝදාංශ කිහිපයකි.

මෙයට අමතරව ඔබගේ මනාපය පරිදි මනස නිරවුල් කරන හා සිතට සතුට කැඳවන විනෝදාංශයක් තෝරා ගත හැකිය. මතක තබා ගත යුතු කරුණක් වන්නේ තාක්ෂණික දේ මඟින් ඔබට විනෝදාංශයක් තෝරා ගැනීම එතරම් ප්‍රතිඵලදායක නොවන බවයි. ෆේස් බුක් යාම හෝ අන්තර්ජාලයේ සැරිසැරීම, වීඩියෝ ගේම් ආදිය ඔබේ සිතේ අසහනය හා පීඩනය තවත් වැඩි කරනවා මිස අඩු කිරීමක් නම් නොකරාවි. හැකි තරම් කෘත්‍රිම පරිසරයෙන් මිදී සොබාදහමට ළං වී, සොබාදම සමඟ බැඳීම් ඇතිකර ගැනීමෙන් ඔබේ මානසික ආතතිය දුරුකර ගත හැකි වේවි.

මේ සඳහා ඔබට ඉතා විශාල කාල වේලාවක් අවශ්‍ය නොවේ. දිනකට විනාඩි කිහිපයක් පමණක් වැය කිරීම ප්‍රමාණවත්. එහෙත් ඉන් ඔබ ලබන ප්‍රයෝජනය නම් මෙතෙකැයි කිව නොහැකියි. එය මේ වසරේ දී ඔබට ම අත්විඳිය හැකියි.