ඒබ්‍රහ්ම් ලින්කන් ගේ සාර්ථකත්වයේ රහස්

ජනවාරි 30, 2019

ජීවිතයේ අපමණ දුක්විඳ අවසන ජයගත් දිරිය මිනිසකුගේ කතාව පසුගිය සතියේ දී ඔබ වෙත ගෙන ආවෙමි. ඒ මිනිසාගේ අප්‍රතිහත ධෛර්යයේ කතාව ඔබේ ජීවිතයට ද සැබෑ දිරියක් වන්නට ඇත.

තමන් විඳි දුක් ගැහට මැදින් ජීවිතය දිනූ හැටි ද ඔහු ලොවට කියා සිටියේ තමන් වැනි මිනිසුන් ඉදිරියේ දී වුව ලොව සිටිය හැකි බැවිනි. ඒ ආදරණීය මිනිසා ඒබ්‍රහ්ම් ලින්කන් ඔබේ දිවියට දිරියක්ම වේ. අපි අදත් ඔහු ඔබ වෙනුවෙන් කී අදහස් කිහිපයක් මෙලෙස ගෙන එන්නෙමු.

ඥානවන්තයයෙක් වෙන්න පුළුවන්ද?

අප බොහෝ විට හිතන්නේ මිනිසාගේ බුද්ධිය ඔහු හෝ ඇය උපතින් රැගෙන එන්නක් කියලා. ඒත් ලින්කන් මහතා කියන්නේ ඕනෑම මෝඩයකුට වුවත් හොඳින් අධ්‍යාපනය ලබා හිත ඒ වෙනුවෙන් යොමුකර කැපවීමෙන් කටයුතු කරන්නේ නම් බුද්ධිය ලබාගත හැකි දෙයක් බවයි. අද දවසේ දී ට වඩා හෙට දවසේ දී හේ ඥානවන්තයකු විය හැකි බවයි. ඒ නිසා උපන්ගෙයි මෝඩයන් ලෙසින් හඳුන්වන පුද්ගලයන් සතුව ඔබ නොසිතන තරමේ බුද්ධියක් තිබෙන්නට පුළුවන. ඒ නිසා දරුවන් සමඟ කටයුතු කිරීමේ දී මේ අදහස හොඳින් ධාරණය කරගෙන කටයුතු කරන්න.

මිනිසුන්ට ඊයේ සිටියාට වඩා අද දවසේ දී තම බුද්ධිය හා ඥානය වැඩි කරගත හැකියි. එහෙත් බොහෝ අය හිතන්නේ අද ඉන්න පුද්ගලයාමයි හෙට ඉන්නෙත් කියලා. බුද්ධිය එදා වගේමයි කියලා. ඒත් ඒක වැරැදි අර්ථකථනයක්. අද දවසේ දී ඔබේ බුද්ධිමත්භාවය ඔබේ ඉගෙනීමෙන් වැඩිකරගන්න පුළුවන්. ඉගෙනීම කවදාවත් අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා විවිධ අරමුණු ඇතිකර ගනිමින් අලුත් උපක්‍රම අනුගමනය කරමින් දැනුම ලබාගන්න. ඉංග්‍රීසි ඉගෙන ගන්න අවශ්‍ය කෙනකුට දිනපතා අලුත් වචන පහක් ඉගෙන ගන්න පුළුවන්. දින 30 ක් ගියාම අලුත් වචන 150 ක් ඔබේ ශබ්දකෝෂයට එක්වෙලා.

එහෙම නම් ඇයි ඔබ බලාගෙන ඉන්නේ. මෙය පුරුද්දක් බවට පත්කර ගන්න. ඔබ විභාගවලට පාඩම් කරනවා. මේ විදිහට හැමදාම පාඩම් කරනවා නම් ඒක ඔබේ පුරුද්දක් බවට පත්වෙනවා. එතකොට පාඩම් කරන එක, පොත් කියවන එක ඔබේ ජීවිතයේ වටිනා පුරුද්දක් බවට පත්වෙනවා. විභාග එනවා යනවා. ඒත් පුරුද්ද එහෙමමයි. මේ විදිහට අලුත් වචන ඉගෙන ගන්න එක වචන ඉගෙනීමක්ම පමණක් නොවෙයි. ඉගෙනීමේ එක් පුරුද්දකි. බුද්ධිය ලබන්න මඟකි

කාගෙ සපත්තු ද ඔබ පොලිෂ් කරන්නේ?

මෙය ලින්කන් මහතා පිළිබඳ කතාවක්. එනම් විශිෂ්ට මිනිසකුගේ විශිෂ්ටත්වය පිළිබඳ කියැවෙන කතාවක්. දිනක් උදෑසනක ජනාධිපති ලින්කන් මහතා කාර්යාලයට යාමට සූදානම් වෙමින් සිටියා. මේ අවස්ථාවේ දී ඔහුගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ධවල මන්දිරයේ ඔහු වෙසෙන කොටසට පැමිණියා. ඔහු දුටුවේ සපත්තු පොලිෂ් කරමින් ඉන්න ලින්කන් මහතාවයි. අමෙරිකාවේ ජනාධිපති තමන්ගේ සපත්තු පොලිෂ් කරමින් ඉන්නවා දුටුවාම ඔහු පුදුමයට පත්වූණා. ඒ නිසාම ඔහු මෙලෙස විමසුවා. “මොකද ජනාධිපතිතුමනි, ඔබ ඔබේම සපත්තු පොලිෂ් කරන්නේ?” එවිට ලින්කන් මහතා මෙලෙස පවසනවා. “ඔව්, ඇයි? කාගෙ සපත්තු ද ඔබට පොලිෂ් කරන්න ඕනේ?” මෙය මතක් කරන්න හොඳ පාඩමක්. ඔහුගේ මනුෂ්‍යත්වය ගැන. ඔබේ තනතුර හෝ සාර්ථකත්වය ඉහට ගෙන අභිමානයෙන් හැසිරෙන්න හොඳ නැහැ. මොනතරම් තනතුරින් ඉහළ ගියත් නිහතමානීකම හොඳම ආභරණයක්. ඔබේ කටයුතු ඔබම කරගැනීම මොනතරම් හොඳ දෙයක් ද? ලොක්කෙක් වුවත් එය ඔබම කරගන්නවා නම් එතැන ඇත්තේ මනුෂ්‍යත්වයයි. ඔබේ නිරහංකාරකමයි. ඔබ තනතුරින් හෝ ඔබේ සාර්ථකත්වයෙන් ආඩම්බර වෙලා නැහැ. මේ මනුෂ්‍යත්වයේ පාඩම කාටත් වැදගත්. ඒ කියන්නේ ඔබ මොනතරම් ඉහළට ගියත් ඔබේම පෞද්ගලික දෙයක් කිරීමට සේවකයන් අනවශ්‍ය බවයි. එය ඔබටම කළ හැකි බවයි.

 

2019/01/30 තරුණි බලන්න