සොඳුරු ලොවක් තනන්නට සොඳුරු කතක් අවශ්‍යමය...

මාර්තු 6, 2019

'සොඳුරු කතක් - සොඳුරු ලොවක්..' මේ මෙවර කාන්තා දින තේමාවයි. මෙය කාන්තාව සම්බන්ධයෙන් වූ නිවැරැදි ම තේමාව යැයි සමාජය දෙස බැලීමේ දී පෙනී යයි. මවක් ලෙස කාන්තාවකගේ කාර්ය භාරය විසල් ය. එමෙන්ම බිරියක, මවක, දියණියක ලෙස ඇගේ භූමිකාව නිසි ලෙස ඉටු නොවූයේ නම් ලොවම අඳුරු තැනක් වනු ඇත. එහෙත් ඇගේ කාර්යයන් නිසි ලෙස ඉටු කිරීමට සමාජය මඟින් ඇයට ඉඩකඩ සපයනවාද සහ ඇයට සාධාරණයක් ඉටු වනවාදැයි සොයා බැලිය යුතුය.. ඒ වෙනුවෙන් අපි

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරිය වූ දර්ශනා සේනානායක

හමු වුණෙමු. මේ ඇය අප හා කළ කතා බහයි.

කාන්තා හා ළමා කටයුතු කාර්යාංශය මඟින් කෙරෙන අභිවෘද්ධිමය කටයුතු මොනවද?

මූලිකවම අපි මේ අමාත්‍යංශයේ ව්‍යූහය දිහා බැලුවම කාන්තා කාර්යාංශය හා කාන්තා කමිටුව මඟින් කාන්තාවන් සම්බන්ධ දේවල් සිදු කරනවා. දරුවන් හා කාන්තාවන් වෙන් වෙන්ව සැලකිය නොහැකියි. කාන්තාවට සුබසිද්ධිය සලසනකොට බොහෝ විට ඉන් දරුවන්ටත් යහපතක් සිදු වෙනවා.

අපි බිම් මට්ටමේ සිටින කාන්තාවන් දක්වා යනවා. පෝෂණයෙන් අඩු, ආර්ථික අපහසුතා ඇති ගැබිනි මව්වරුන්ට මාස 7සිට කිරි දෙන කාලය දක්වා මාස 10 ක කාලයක් පෝෂණ මල්ලක් ලබා දෙනවා. දුගී කාන්තාවන් වගේම අපි ආබාධිත කාන්තාවන් වෙනුවෙනුත් කටයුතු කරනවා.

මේ වසරේ අයවැයෙන් පවා අපිට මුදලක් වෙන් වෙනවා ඒ වෙනුවෙන්. ඒ නිසා අපි එවැනි කාන්තාවන් වෙනුවෙන් වැඩසටහනක් දියත් කරනවා. විශේෂයෙන් ම ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් ඔවුන් බලගැන්වීම තමයි මෙහිදී සිදු කෙරෙන්නේ. වෙනත් කිසිම ක්ෂේත්‍රයකින් ආවරණය නොවන ආබාධිත කාන්තාවන් වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර, උපකරණ ආදිය ලබා දීමටත් ඔවුන් ආබාධිත ලේකම් කාර්යාලය, සෞඛ්‍ය සේවා අමාත්‍යංශයට යොමු කිරීමටත් කටයුතු කරනවා.

 

තරුණි 2019/03/06 බලන්න.