ඇඳුමක් ගන්න ද යන්නේ?

මාර්තු 13, 2019

එහෙනම් හිතන්න දේවල් මෙන්න

විලාසිතා සහ කාන්තාව කියන්නේ ගහකට පොත්ත වගේ. ඒ තරමටම කාන්තාවන් විලාසිතා කරන්න කැමැතියි. විලාසිතා කරන්න කොයිතරම් කැමැති වුණත් විලාසිතා තෝරා ගැනීම කියන්නේ වැදගත් දෙයක්.

විලාසිතා තෝරා ගැනීම සඳහා වෙළෙඳපොළට යනවිට ඔබ මේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න.

සැලකිල්ල

ඇඳුමක් ගන්න කලින් සැලකිල්ල කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. සමහර ඇඳුම් තිබෙනවා අලුත් වුණත් ඇද පබ්දු තියෙන. ඔබට නොපෙනෙන සිදුරු තිබෙන. මේ වගේ ඇඳුමක් හරියට බලන්නේ නැතුව සල්ලි දීලා ගන්න වුණොත් ඒක අපරාධයක්. ඒ නිසාම ඇඳුමක් ගන්න කලින් ඒ ඇඳුම එක පාරක් නෙවෙයි දෙතුන් පාරක් සැලකිලිමත්ව බැලීම වැදගත්.

මිල ගණන්

විලාසිතා කරන අයට මිල කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. සමහරවිට වෙළෙඳපොළේ ඔබට පෙනෙන ඉතාම ලස්සන ඇඳුමක මිල වෙනත් තැනකින් ඇඳුම් දෙකක් ගන්න මිලට සමාන වෙන්න පුළුවන්. හැබැයි ඔබ ආසාව නිසාම මේ ඇඳුම මිල දි ගත්තත් එය ඔබ භාවිත කරන වාර ගණන එක වරක නම් එවැනි ඇඳුමක් මිල දී ගන්න එකේ කිසි තේරුමක් නැහැ. අනෙක් පසින් සමහරවිට ඔබ ඒ මිලට එක වෙළෙඳසලකින් දකින ඇඳුමට තවත් තැනෙක ඊට වඩා අඩු මුදලකට ලබා ගන්න පුළුවන්. ඒ නිසා එක් තැනකට නෙවෙයි ඇඳුමක් මිලට ගන්න යනකොට තැන් කිහිපයකට යන එක වැදගත්. ඔබ ඇඳුමකට ආයෝජනය කරන මුදල එහි නිමාවට, මැටීරියල් එකට ගැළපෙනවාද යන්න සලකා බැලීමත් ගොඩක් වැදගත්.

වර්ණය

ඇඳුමක් මිලදී ගන්නා විට එහි පැහැය පිළිබඳ සැලකිලිමත් වෙන එක ගොඩක් වැදගත්. විශේෂයෙන් ඔබ මිලදී ගන්නා ඇඳුමේ පැහැය ඔබේ සමේ පැහැයට ගැළපෙන එකක් ද කියන එක වගේම ඔබේ පාවහන් සහ අත්බෑගයට ගැළපෙනවා ද කියලා බලන එක වැදගත්.

ගුණාත්මකභාවය

ගුණාත්මකභාවය කියන්නේ ඇඳුමක් මිලදී ගන්නා විට ඉතා වැදගත් දෙයක්. විශේෂයෙන් ඔබ මිලදී ගන්නා ඇඳුම සේදූ විගස සායම් යන එකක්ද, නොඑසේ නම් එය හැකිළී යන එකක් ද, නැති නම් එය නිමවා ඇති ඇඳුම දුහුල් ඇඳුමක් ද යන්න පිළිබඳ අවබෝධයක් ලබා තිබිය යුතුයි.

මේ වගේ ඔබට සැලකිලිමත් වෙන්න හේතු බොහොමයක් තිබෙනවා. ඒ නිසාම ඇඳුමක් ගන්න. කලින් මේ හැම දේම ගැන සැලකිලිමත් වීම වැදගත්.

 

2019/03/13 තරුණි බලන්න.