සැමියාගේ ආදරය ඔබ වෙතම රඳවා ගන්නට රටක් වටින උපදෙස්

අප්‍රේල් 3, 2019

හොඳ පිළිවෙළට ලස්සනට තියෙන ගෙයක් දැක්කම අපි කතා කරන්නේ ගෘහණියගේ දක්ෂකම ගැනයි. ඒ වගේම ලස්සනට, පිළිවෙළට පිරිසුදුව ඉන්න කාන්තාවක් දැක්කම අපි හිතනවා ඇය බොහොම හොඳ කෙනෙක් කියලා.

මේ දේවල්වලින් ඔබට වැටහෙන්නේ කුමක්ද? බාහිර ස්වරූපය යම් යම් තීරණ කෙරෙහි බලපාන බව නොවේද?

විවාහයෙන් පසු බොහොමයක් කාන්තාවන් කරන චෝදනාවක් තමයි මහත්තයාගේ ආදරේ දැන් අඩුවෙලා කියලා. අඩුයි කියලා හිතන ආදරේ වැඩිකර ගන්නේ කොහොමද? පසුගියදා කාන්තා දිනය නිමිත්තෙන් තරුණි පුවත්පත මඟින් පැවැත්වූ තරුණි වනිතා වැඩමුළුවේදී ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි සමන්ත ගුණසේකරයන්, පැමිණ සිටි කාන්තාවන් අමතා සැමියාගේ අඩු වූ ආදරය යළි ලබා ගන්න අපූරු උපදෙස් ටිකක් ලබා දුන්නේ මේ විදිහටයි.

ඇඳුම ගැනත් හිතන්න

නිවෙසක ලස්සන ගැන කතා කරන විට, ලස්සන කියන්නේ වටිනා බඩුමුට්ටු, වාහන, බඩු ගොඩක් තියෙන එක නෙමෙයි. තිබෙන දේ නිසි ලෙස පිළිවෙළට අවශ්‍ය තැන තිබීම තුළිනුයි ලස්සනක් ලැබෙන්නේ ඒ වගේමයි; පුද්ගලයකුගේ සුන්දරත්වයත්. ඇඳුම්, සපත්තු, ආභරණ මේ හැම දේම තිබෙන්නේ මිනිසුන් සඳහා වන බව ඇත. නමුත් තිබෙන හැම දේම හැම දෙනාටම ගැළපෙන්නේ නැහැ. තමන් කැමැති ඇඳුමක් වෙන්නත් ඕනේ. එය තමනට ගැළපෙන විලාසිතාවක් වෙන්නත් ඕනේ. තමන්ගේ වයසට ගැළපෙන්නත් ඕනේ. ඒ නිසා යම් දෙයක් තෝරා ගැනීමේදී මේ හැම දේ ගැනම අවධානය යොමු කරන්න ඕනේ. අවුරුදු 16 - 18 වයසේ කෙනෙකුට ගැළපෙන ඇඳුමක් අවුරුදු 50 ක් පමණ කෙනෙකුට ගැළපෙන්නේ නෑ. ඒ වගේම නොගැළපෙන ඇඳුමක් ඇඳගෙන නොගැළපෙන ස්ථානයක සිටීමත් තමන්ගේ තත්ත්වයට හානි වෙන දෙයක් බව මතක තබාගන්න ඕනේ.

ඒ වගේම විශේෂ උත්සව අවස්ථාවන්ට සහභාගි වන විට ඇතැම් කාන්තාවන් තමන්ට දරා ගන්න බැරි තරම් බරැති සාරි ඇඳලා, පුළුවන් තරම් තියෙන හැම ආභරණයක්ම පලඳිනවා. ඒකෙන් වෙන්නේ සැමියාටත් වඩා බිරිය වයසක පෙනුමක් ගෙන දීමයි. ඇතැම් විට සැමියාත් ඔබේ එදින ඇඳුම ගැන පැහැදුනා සේ සිටියත් යටි සිතින් අපහසුතාවයට පත් වෙනවා. මේ වගේ අවස්ථාවලදී සෙනඟ මැද ලැජ්ජාවට පත් වෙන සැමියන් ඕනෑ තරම් සිටිනවා.

දවසම නයිටිය පිටින්ද?

අපි දන්නවා ලංකාවේ බොහෝ කාන්තාවන් උදේ පාන්දරින්ම අවදි වෙනවා. ඇතැම්විට ලෝකෙන් උදෙන්ම අවදිවන කාන්තාවන් සිටින්නේ ලංකාවේ පමණක් විය හැකියි. ඉතිං උදේ නැගිටලා උයලා පිහලා ඉවර වෙලා තමන්ගේ දරුවා පාසල් වෑන් එකට දාන්න පාරට යනවා. එහෙම නැත්නම් මාළු ගන්න, පාන් ගන්න පාරට යනවා. මේ යන්නේ නයිටිය එහෙමත් නැත්නම් රාත්‍රී නිදන ඇඳුම පිටින්මයි. ආපහු ඇවිත් ගෙදර ඉතිරි වැඩ ටික කරනවා. මහත්තයා වැඩට යනකොටත් නයිටිය පිටින්, ආපහු එනකොටත් නයිටිය පිටින්. මුළු දවසම ඉන්නේ රාත්‍රී ඇදපු ඇඳුමත් සමඟයි. ඇතැම් කාන්තාවෝ අඩු තරමින් බ්‍රෙසියරයක්වත් අඳින්නේ නැහැ. මෙයින් සිදුවන්නේ ඇඟ එල්ලා වැටීමයි. ශරීරයේ හැඩය නැතිව ගිහින් අවලස්සන වීමටත් මෙය හේතු වෙනවා.

මදක් හිතලා බලන්න මුළුතැන්ගෙයි දී තැවරෙන වතුර, එළවළු කහට වැනි දේ නිවස, මිදුල අතුගෑමෙන් දූවිලි දහදිය මේ හැම දේම සමග කිළිටි වූ නයිටියක ඇඳගත් කාන්තාවක් කිසිවෙකුට ප්‍රසන්නව පෙනෙනවාද? ඇතැම් අය වෙතින් දුර්ගන්ධයක් පවා හමනවා.

යුරෝපීය කාන්තාවන් නම් උදෑසන අවදි වු විගස හොඳින් මුහුණ කට සෝදා පිරිසුදු ඇඳුමක් ඇදගත් පසුවයි වැඩ අරඹන්නේ. උදේ තේ මේසයේදී පිළිවෙළට ඇඳලා ඉන්න බිරියව මවව, සැමියා සහ දූ දරුවන් දුටුවම ඔවුන්ට ඇය ගැන ඇති වන්නේ සතුටක්, ප්‍රියමනාප බවක්, ආදරයක්.

කිලිටි වී ගිය නයිටියක් ඇද සිටිනවා දුටුවම දවසටම එක් කරන්නේ අප්‍රසන්න බවක්. පිළිකුලක් නොවේද? ඇතැම් විට ඔබ පිළිවෙළට ඇදලා උදේ තේ මේසය ලෑස්ති කරනවා. එවැනිදෙයක් ඔවුන් දුටුවොත් අසාවි ඔයාගේ අද නෑදෑයෙක්වත් එනවද? නැත්නම් අම්මා අද ගමනයක් යනවද? එයින්ම ඔබට යමක් තේරුම්ගත හැකියි නේද?

මෙතෙක් නොකළා නම් අද සිට හෝ පුරුදු වන්න. උදෑසන අවදි වූ විගස රාත්‍රී ඇඳුම මාරු කරලා වෙනත් ඇඳුමක් අඳින්න. මුහුණ සෝදන්න; හිස පීරන්න; නයිටිය තියෙන්නේ රාත්‍රියට අඳින්නයි. ශරීරය නිදහසේ තබාගෙන විවේක ගැනීමටයි. එය දිවා කාලයට ගැළපෙන ඇඳුමක් නොවෙයි. දරුවෝ, සැමියා උදෑසනට දැකිය යුත්තේ ප්‍රසන්න, පිරිසුදු මවක්, බිරියක්.\

2019/04/03 තරුණි පුවත්පත බලන්න