අලුත් අවුරුදු සිරිත් විරිත් බැඳීම් ශක්තිමත් කරයි

අප්‍රේල් 10, 2019

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ වාර්ෂිකව පවත්වනු ලබන උත්සවය එහෙමත් නැතිනම් මහා මංගල්‍යය බවට පත්වන්නේ අලුත් අවුරුදු උත්සවයයි.

සිංහල මාස ක්‍රමයට අනුව බක් මාසයට යෙදෙන මේ අලුත් අවුරුද්දේ තේමාව බවට පත්වන්නේ චාරිත්‍ර සහ වාරිත්‍රය. එනම් කළයුතු සහ නොකළයුතු දේවල්ය.

නක්ෂත්‍රීය දිනයකදී සුබ හෝරාවන්ට මුල්තැන දෙමින් සිරිත් විරිත් ඉටුකරන්නා වූ මේ උත්සවයේ ඉතිහාසය ගැන සොයා බැලීමේ දී අපට තොරතුරු හමුවන්නේ මහනුවර අවධියෙනි. එහි රජවාසල රාජකීය උත්සව ගැන සඳහන්වන අතර අලුත් සහල් මංගල්‍යය, පෙරහැර මංගල්‍යය සහ අවුරුදු මංගල්‍යය ආදී උත්සව කිහිපයකි. අස්වැන්න කපා අටුකොටු පුරවා රජුට දැකුම් රැගෙන එන දවස, එහෙමත් නැතිනම් අලුත් සහල් ළිප තබා කැවිලි පෙවිලි සකසා කෙළි සෙල්ලම් පවත්වන දිනය මේ අලුත් අවුරුදු මංගල්‍යය ලෙස හඳුන්වා ඇත. එකළ මෙය සිංහලයේ අවුරුදු මංගල්‍යය හෙවත් සිංහල අවුරුද්ද ලෙස හැඳින් වූ අතර පසුකාලීනව මෙය සිංහල, දමිළ අලුත් අවුරුද්ද බවට පත්විය.

මේ උත්සවයේ කතා නායකයා බවට පත්වන්නේ සූර්යයා. අපි චිරාත් කාලයක් තිස්සේ සූර්යයාට වන්දනාමාන කළ ජාතියක්. ඒ හිරු වන්දනය හරහා චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් ඒවායේ වටිනාකම් අනාගත පරපුරට කියාදෙමින් උත්සවශ්‍රීයෙන් මෙය සැමරීම තමයි සිදු කෙරෙන්නේ.

ආදි කල්පිත සමාජයෙන් අපට උරුම වූ මේ අලුත් අවුරුද්ද අපට පල දෙන්නේ මේවා නියමාකාරයෙන් විශ්වාසයෙන් සහ සුබ සිතින් ඉටු කළ විටදීය. මන්ද රටක භාෂාව, ආගම, ඇදහිලි සේම සිරිත් විරිත් කියන්නේ මානව සම්මුතියෙන් ඇති කරගත් දෑ. එහිදී යහපත් සමාජයක් ගොඩ නඟන්නට සේම ඒවා ඉදිරි පරපුර වෙත රැගෙන යන්නත් මේ සිරිත් විරිත් නිසිලෙස ඉටුකිරීම ඉතා වැදගත්.

සිංහල අලුත් අවුරුද්දට අප ලක ලැහැස්ති වන්නේ කල්තියාමයි. දින කිහිපයක් පුරා නිවෙස් පිරිසුදු කරමින්, අලුත් ඇඳුම් පැලඳුම්, විවිධාකාරයේ කැවිලි පෙවිලි සකසමින් නවමු පරිසරයක් සකසා ගනියි. පරණ අවුරුද්දේ දිය නා පිරිසුදු වී වැඩ අත්හැර නව වසර සඳහා පේවී සූදානම් වේ.

අනතුරුව උදාවන නොනගතය (නැකැත් නැති රික්තය) හෙවත් පුණ්‍ය කාලය තුළදී සිදුකෙරෙන්නේ පුද්ගලයා ආගමට දහමට නැඹුරු කිරීමයි. සංක්‍රාන්ති කාලවකවානුවක් වූ මෙහිදී යහපත් සිතුවිලි පෙරදැරිව නව වසරට පිවිසීමට ලක ලැහහැස්ති වේ. ඉන්පසුව මුළු රටකම පිරිස එකම සුබ හෝරාවකට ළිප් බැඳ ගිනි මොළවා කිරිබත් පිසිති. මෙහිදී අපේ ගෘහණිය අලුත් වූ ළිප මොළවන්නේ “මේ ළිපේ පිසෙන අහරින් මගේ පවුලේ සියල්ලන්ම නීරෝගි වේවා” යන උතුම් අරමුණ පෙරදැරිවයි.

අනතුරුව එකම වේලාවක සියලුදෙනාම එක්ව ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ පසුව නිරෝගී සුවය පතා එකම නැකැතකින් හිසතෙල් ගෑම වැනි මේ සියලු චාරිත්‍ර ඉටු කළ යුත්තේ විශ්වාසය පෙරදැරි කරගත් සුබ සිතිනි.

සදාචාර සම්පන්න, විනයගරුක සිවිල් ජන සමාජය උදෙසා මේ සමාජ ධර්ම අත්‍යවශ්‍ය වේ.

ඇතැම් කෙනකු මේවා මිත්‍යා විශ්වාස ලෙස බැහැර කරනවා නම් ඔහු සමාජශීලී සිවිල් පුරවැසියකු නොවනු ඇත.

මෙම සිරිත් විරිත් ඉටු කළ යුතු යැයි අපට තවත් කෙනෙකුට නීති පැනවිය නොහැකි නමුදු ඒවා නිසිලෙස ඉටුකරන්නට අපි බැඳී සිටින්නෙමු. එමඟින් ජන සමාජයක් ලෙස අප එකට බැඳී ශක්තිමත් වන අතර ඒවා අනාගත පරපුර වෙත දායාද වන්නේ ද නිසි ලෙස ප්‍රායෝගිකව ඉටු කිරීම හරහායි.

මිනිසා තමාගේ යහ පැවැත්ම උදෙසා තමා සහ තමා අවට ඇති දේ සංස්කරණය කළ දෙය අප සංස්කෘතිය ලෙස හඳුන්වනු ලැබේ. එබැවින් ඉරහඳ පවතින තාක් කල් අප පැරැණි සමාජයන්ගේ ආභාෂය ලබමින් ඒවා යාවත්කාලීන වෙමින් මේ මානව සම්ප්‍රදායන් අප්ඩේට් කරගැනීම ඉතා වැදගත්.

 

සේයාරුව - ටෙනිසන් එදිරිසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.