පොල් තෙල් භාවිත කරන ඔබ දැනගත යුතුම කරුණු

අප්‍රේල් 24, 2019

පොල්තෙල් කියන්නේ ලාංකික අපට බෙහෙවින්ම සමීප දෙයක්. ඉවුම් පිහුම්වලට වගේම පහන් දල්වන්නත් පොල්තෙල් අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා ඔබට නැතිවමබැරි දෙයක් වූ පොල්තෙල් පිළිබඳයි මේ දැනුවත් කිරීම.

පොල්තෙල්වල ප්‍රධාන වශයෙන් 90% කට ආසන්න ප්‍රමාණයක් සංතෘප්ත මේදය අඩංගු වන බවත්, මෙම මේදයෙහි 2/3 ක් පමණ බහුල වශයෙන් අන්තර්ගත වනුයේ මධ්‍යදාම අම්ල (medium chain fatty) වන නිසාත් පොල්තෙල්වලට ආවේණික වූ සුවිශේෂී ගුණාංග රැසකින් සමන්විත බව කිව යුතුයි.

 

වෙළෙඳපොළේ දැකිය හැකි ප්‍රධාන පොල්තෙල් නිෂ්පාදන කිහිපයකි

1. බැරල් පොල්තෙල් (loose coconut oil)

2. විවිධ වෙළෙඳ සන්නාමයන් යටතේ ඇති පොල්තෙල් (branded coconut oil)

මෙය නැවතත් කොටස් දෙකකට බෙදෙයි. එනම්, 1. පිරිපහදු කළ පොල්තෙල් 2. නැවුම් පොල්තෙල් වශයෙනි.

ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල්වල PAHS (Poly Arometic Hydrocabons) ශරීරයට අහිතකර රසායනික සංයෝග අඩංගු ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගනු ලබන අතර භෞතීයව පිරිපහදු කරනු ලබන පොල්තෙල්වල PAHS  ඉතාමත් අවම අගයක් පවතින බව පර්යේෂණ දත්තවලින් ද හෙළිවී ඇත. (Annual Publication of the Institute of Chemistry Ceylon - 2013)
 

පොල්තෙල්වල හිතකරභාවය නිර්ණය කරන්නේ කෙසේද?

අප ආහාරයට ගන්නා පොල්තෙල්වල පිරිසුදුභාවය හා ගුණාත්මකභාවය රැකදෙන පරිදි නියමිත ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කිරීම පොල්තෙල්වල ඇති ප්‍රධානතම ගැටලුවයි.

අපේ රටේ පොල්තෙල් බහුල වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ කොප්පරාවලිනි. එසේනම් ප්‍රමිතියෙන් තොරව අපිරිසුදු කොප්පරා යොදා ගනිමින් සිදු කෙරෙන පොල්තෙල් නිෂ්පාදනයේ දී අපේ ශරීරයට සිදුවන හානිකර දේ බොහෝය.

පුස් වර්ග තිබීම

කොප්පරා නියමිත උෂ්ණත්වය යටතේ නියමිත ප්‍රමිතියෙන් යුතුව වියළා නොගන්නේ නම් ඇෆ්ලොටොක්සින් (ඒටතධබධයඪද) වැනි පුස් වර්ග පොල්තෙල්වලට සංයෝග විය හැකියි. එම පොල්තෙල් භාවිතයෙන් අපි ඉහත සඳහන් කළ ගුණාත්මක භාවය අපේක්ෂා කළ නොහැකිය.

සත්ත්ව අපද්‍රව්‍ය එකතුවීම

කොප්පරා වියළීමේදී මීයන් වැනි සතුන් බහුලව ගැවසෙන ස්ථානවලදී ඒවාට එවැනි සතුන්ගේ අපද්‍රව්‍ය එකතුවීමෙන් එහි ගුණාත්මක බවට හානි පමුණුවයි.

දුම්ගසා වේළිමේදී රසායනික ද්‍රව්‍ය එකතුවීම

මෙලෙස දුම්ගසා වේළීම නිසා දුම්වල අඩංගු අපිරිසුදු රසායනික ද්‍රව්‍යයක් වන හයිඩ්‍රොකාබන් වැනි ශරීරයට අහිතකර දෑ නිසා පොල්තෙල්වල තිබිය යුතු සුවිශේෂී ගුණාංග විනාශවීයාම සිදුවේ.

අපිරිසුදු කොප්පරා ඇඹරීමෙන් නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් දිගුකලක් ගබඩාකර තබන්නේ නම්, එහි ඇති මේද අම්ල ඔක්සිකරණය වේ. එවැනි පොල්තෙල් තුළ පිළිකා සහ රුධිරනාල සිහින්වීමට බලපාන මුක්ත කණ්ඩක නිර්මාණය වීමේ ඉඩකඩ බහුල කරයි. ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කරනු ලබන මෙවැනි පොල්තෙල්වල ඉහත සඳහන් ශරීරයට අහිතකර සංයෝග අඩංගු වීම නිසා පොල්තෙල්වල අඩංගු හිතකර මේද අම්ල විනාශ වී යා හැකියි. එමෙන්ම මෙවැනි අපිරිසුදු පොල්තෙල් නිෂ්පාදන භාවිතය පිළිකා හා හෘදයාබාධ ඇතිවීමට මූලිකව බලපායි.

මෙසේ පිරිසුදු කරනු ලබන පොල්තෙල් පිළිබඳව කතා කිරීමේදී එය ප්‍රධානක්‍රම දෙකකට සිදුවේ. එනම් රසායනිකව පිරිපහදු කරනු ලබන පොල්තෙල් හා භෞතීයව පිරිපහදු කරනු ලබන පොල්තෙල් ලෙසිනි. පොල්තෙල් රසායනිකව පිරිපහදු කිරීමේදී කෝස්ටික් සෝඩා වැනි රසායනික ද්‍රව්‍ය යොදාගැනේ. මෙවැනි පොල්තෙල් දිගු කාලයක් භාවිත කිරීම අපේ ශරීරයේ නිදහස් මුක්ත කාණ්ඩ තුළ ඒකරාශි වී පිළිකා වැනි භයානක රෝග තත්ත්වයක් ඇතිවීමට හේතු වේ. නමුත් භෞතීයව පිරිපහදු කරන ලද පොල්තෙල් භාවිතයෙන් බෝ නොවන අවධානම් සහිත බොහොමයක් රෝගයන්ගෙන් වැළකී සිටිය හැකි බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

භෞතීයව පිරිපහදු කරනු ලබන පොල්තෙල්වල ඇති සුවිශේෂී ගුණාංගයන්

කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොකර පිරිසුදු කොප්පරාවලින් අවම උෂ්ණත්වය යටතේ රත්කර, නිසි ප්‍රමිතියකට අනුකූලව මෙම තෙල් නිෂ්පාදනය කරනු ලබයි. එමෙන්ම අපේ ශරීරයට හානිකර සියලුම නිදහස් මේද අම්ල, පෙරොක්සයිඩ් සහ අපද්‍රව්‍ය ආදිය ඉවත් කරයි. පිළිකා කාරක සහ නිදහස් මුක්ත කාණ්ඩක නිපදවීමත් මෙහිදී සිදුනොවේ. මෙම පොල්තෙල් නිෂ්පාදනයට අදාළ කොප්පරා වියළීමේ දී නියමිත තත්ත්වය යටතේ ප්‍රමිතියකට අනුකූලව සිදු කෙරෙන නිසාවෙන් පුස් සහ සත්ත්ව අපද්‍රව්‍යවලින් තොරය.

තවද මෙම පොල්තෙල් තුළ රසායනික ද්‍රව්‍ය නොමැතිවීම නිසාවෙන් ද අපි බලාපොරොත්තු වන පෝෂණ සහ සෞඛ්‍ය ආරක්ෂිත බව ඉතා උසස් මට්ටමක පවතී.

2019/04/24 තරුණි බලන්න