එකම සිතුවිලි තිබේ නම් ජීවත් වීම මනසට පහසුවක්

මැයි 1, 2019

ජනශ්‍රැතියේ විවිධ ප්‍රස්ථා පිරුළු, ජනකතා හමුවනවා. එක අත්තේ නිතරම වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ කියන්නෙත් ඒ වගේ කියමනක්. ඒකේ අදහස තමයි එකම ආකාරයේ අය කොහේ ගියත් එකට එකතුවෙනවා කියන එක. ඔබ දන්නවාද? මනෝවිද්‍යාත්මකව ගත්විට එකම සිතුවිලි තිබෙන අය සමඟ වාසය කිරීම මනසට පහසුවක්. අප යම් පළාතකට, ස්ථානයකට ගියවිට එහි සිටින පුද්ගලයන් සමඟ කතාබහ කරනවා. නැත්නම් ඔවුන් අපත් සමඟ කතාබහ කරනවා.

මීට ප්‍රථම හඳුනාගෙන නොසිටියත් එහි කිසිදු වෙනසක් නෑ. බොහොම අතළොස්සක් හැරුණුවිට කවුරුත්, අලුත් මිතුරන් ඇතිකර ගන්නට කැමැතියි.

ඉතින් නොදන්නාම කෙනකුන් සමඟ කතාබහ කරනවිට ඔහු හෝ ඇය ඔබේ පළාතේ, පාසලේ එකම සරසවියේ නැත්නම් එකම වයසේ කෙනකුනම් සබඳතාවය තවත් වැඩිවනවා. මිනිසා උපතින්ම සමාජ සත්ත්වයෙක් නිසයි මේ විදියට කවුරුන් හෝ සමඟ මිතුරු වෙන්නට උත්සාහ කරන්නේ. ඔබටත් නව මිතුරු සමාගමක් අවශ්‍ය නම්, ඔබේ සිතුවිලි, අදහස් බොහෝම පරිස්සමෙන් අන් අය සමඟ බෙදාහදාගන්න.

ඔබේ සිතුවිලිවලට කැමැති නව මිතුරන් ඔබේ වටා රැස්වේවි. අපහසුවෙන් නොගැළපෙන මිතුරන් සමඟ සිටිනවාට වඩා නව මිතුරන් ඔබට සතුටක් වේවි. නමුත් අප කැමැති හැමදේම අපට ලැබෙන්නේ නෑ. ඒ නිසා අපට හමුවන හැම කෙනකුම සමඟ සතුටින් සිටින්නට උපරිම උත්සාහ කරන්න.

ජීවිතයට හතරගාතෙන් වැටෙන්න දෙන්න එපා

ජීවිතය ගැන බොහෝ කවි, සිංදු, ලිපි, නවකතා ලියැවිලා තිබෙනවා. ඒත් කවදාවත් ජීවිතේ කියන්නේ මේ දේ කියලා හරියටම පෙන්නලා කියන්න කාටවත් බෑ. ජීවිතය ඉගෙනගන්නට වෙන්නේ අත්දැකීමෙන් පමණයි. ආදරය, කරුණාව, වෛරය, මිතුරන්, බැඳීම්, වගකීම්, මුදල්, රැකියාව වැනි නොයෙකුත් දේවල් ජීවිතයේදී එකට හමුවෙනවා. එකට ගැටෙනවා. උදාහරණයක් විදියට ඔබ මුදල් හොයන්න රැකියාව මතම රැඳෙනවිට ඔබේ ආදරණීයයන් ටිකෙන් ටික ඈතට යනවා.

ඔබ ආදරණීයයන් රැකගන්න උත්සාහ කරනවිට ඔබට මුදල් අවශ්‍ය වෙනවා. මුදල් හොයන්න නම් යම් රැකියාවක නිරත වෙන්නට සිදුවෙනවා. රැකියාව ඇතුළෙ වගකීම් වැඩිවෙනවා. ඒ අතරේ පවුලේ වගකීම් අතපසු වෙනවා. ඉන් ගැටලු ඇතිවෙනවා.

ඉතින් ජීවිතය කියන්නේම මේ විදියට ප්‍රශ්න පත්තරයකට ගැළපෙනම උත්තරය හොයන එක. මෙතැනදී අප බොහෝම සූක්ෂ්ම වෙන්න වෙනවා. නොදන්නා දෙයක් වැඩිහිටියකුගෙන් අහගන්න. ඔබේ මනසට විවේකයක් ලබාදෙන්නට, නව ක්‍රම අත්හදා බලමින් ගැටලු විසඳන්නට සිදුවෙනවා.

බොහෝම සීමිත කාලයක් ඇතුළේ මේ වැඩ ඔක්කොම කරන්නට වෙනවා. ඒ නිසා මේ හැමදේම සමබරව කරන්නට පුරුදු වෙන්න. එක්වරම අපහසු නම් ටිකෙන් ටික පුරුදු වෙන්න. මින් එකක් හෝ නැතිවුණොත් ඔබ බොහොම අසරණ වේවි. පුංචි පුංචි ඇදවැටීම්, සිත්රිදීම් වුණත් නැඟිටින්න උත්සාහ කරන්න. ඒත් කිසිම මොහොතක ජීවිතයට හතරගාතෙන් නම් වැටෙන්නට දෙන්න එපා. සියලු දේ සමබරව කරගෙන ඔබේ ගමන යන්න. හොඳ පොත්පත්, අත්දැකීම් පිරි වැඩිහිටියන්, හොඳ මිතුරන් ඇසුරු කරන්න. ඔවුන් ඔබට ශක්තියක් වේවි.

ඔබ ඉන්නේ දුකින් නම්, වටපිටාව සතුටින් තියන්න

“මම දුකින් ඉඳිද්දී අනිත් අයව සතුටු කරන්නේ කොහොමද?” කෙනකුට එහෙම හිතෙන්න පුළුවන්. ඒත් කරන්න තියෙන්නේ බොහොම පුංචි දෙයක් විතරයි. ඔබේ උදෑසන දුක්බර නම්, ඔබ ඉදිරියට පැමිණෙන පුද්ගලයාට සිනා සී සුබ උදෑසනක් කියන්න. අද ඔයා බොහොම ලස්සනයි. ඔයාගේ ඇඳුම ලස්සනයි” කියන්න. නැත්නම් 'ලස්සන කොණ්ඩ මෝස්තරයක්. අනේ මටත් කියලා දෙන්න.....' මේ විදියට කියන්න.

මුලින් මෙය බොහොම අපහසු දෙයක් වේවි. ඒත් ඒ අපහසුවෙන්ම එක දවසක් මෙය කරලා බලන්නකෝ. ඔබ අන් අයට දුන්න සතුට නැවත ඔබ වෙතටම ඒවි.

ව්‍යායාම කළාම මොනවද ලැබෙන්නේ අපට ?

හොඳ සෞඛ්‍යසම්පන්න ජීවිතයකට ව්‍යායාම කරන්න කියලා හැමෝම කියනවා. ඒත් ඇත්තටම මොනවාද ව්‍යායාම කළාම අපට ලැබෙන්නේ කියලා නිසි දැනුමක් ඔබට නැතිවෙන්නටත් පුළුවන්. නිසි පරිදි ව්‍යායාම කිරීමෙන් අපේ ශරීරයට මෙවැනි ප්‍රතිලාභ ලැබෙනවා.

මතකය වර්ධනය වීම

මොළයේ මතකය වඩාත් තීව්‍ර වන්නේ ශරීරය සක්‍රීය වනවිටයි.

ආවේග පාලනය

ව්‍යායාම කිරීමෙන් සිතට එන ආවේග පාලනය කරමින් වඩාත් නිවැරැදි දේ තෝරාබේරා ගැනීමේ හැකියාව ඇතිවනවා.

යහපත් මනසක් ඇතිවනවා

ව්‍යායාම කරනවිට ඇතිවන සක්‍රීය ශරීරය යහපත් මනසකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ලබනවා.

අවධානය තීව්‍ර වීම

මොළයට හොඳ රුධිර සැපයුමක් ලබාදීමට ව්‍යායාම කිරීමෙන් හැකිවනවා. ඉන් මොළයට ජවසම්පන්න බවක් ලැබෙනවා. මතකය, අවධානය තීව්‍රවීමට මෙය සුවිශේෂී බලපෑමක් වනවා.