සුන්දරත්වය රැක ගන්න නම්..

මැයි 8, 2019

සුන්දර රුවක් සෑම යුවතියකට ම උපතින් ම උරුම වී ඇත. එහෙත් තම රුවේ අඩුපාඩු පමණක් දැකීමට ඇතැම් යුවතියන් පුරුදු වී ඇත. ඒ නිසාම වැඩියෙන් ලස්සන වන්නට ගොස් තිබෙන ලස්සනත් නැතිකර ගනී.

තවත් අය අනෙක් අය කරන දේවල් කරන්නට ගොස් තමාගේ රුව විකෘති කරගනී. හිතුමනාපෙට රුව ලස්සන කරගැනීමට ගොස් සමාජයට විහිළුවක් වන අය කොතෙකුත් සිටියි.

එහෙත් කාන්තාවක් යනු උපතින්ම සොඳුරු රුවකට හිමිකම් කියන්නියකි. ඇගේ නෙත්, කෙහෙරැල්, දෙතොල, සිනාව, මුහුණේ හැඩය, සමේ වර්ණය වැනි අංගයන්ගෙන් එක් අංගයක් හෝ ආකර්ෂණීය වේ. අප සිදු කළ යුත්තේ එම ආකර්ෂණීය අංගය ඉස්මතු වන ආකාරයෙන් රුව අලංකාර කරගැනීමයි.

අඳින ඇඳුම

රැකියාවට යන යුවතියක් තමාගේ සිරුරට ගැළපෙන ඇඳුමකින් සැරසීම, මේක්අප් කිරීම මඟින් සුන්දර විය යුතුය. එහෙත් ඇතැම් තරුණියන්, කාන්තාවන් අනෙක් අයගේ විහිළුවක් වන තරමට නොගැළපෙන ලෙස ඇඳපැලඳ සිටීම නුසුදුසු ය.

කාන්තාවක් ඇඳුම් ඇඳීමේ දී මෙන්ම මේකප් කිරීමේ දී ද තමාගේ වයස, කරන රැකියාව, තනතුර, සමේ පැහැය ආදී සියලුම කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

ගුරුවරියක් අනිවාර්යයෙන් ම සාරියකින් හෝ ඔසරියකින් සැරසිය යුතු වන අතර ඇය චාම් ආභරණ හා මේක්අප්වලින් සැරසිය යුතුය. කාර්යාලයක සේවය කරන කාන්තාවක් වුවද ඇයගේ සේවයේ ස්වභාව ද ඇඳුම් පැලඳුම් කෙරෙහි බලපෑමක් එල්ල කරයි. ඔබ පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කරන, ඔවුන් හමුවන ආකාරයේ රැකියාවක, නිලතලයක සිටින්නේ නම් වඩාත් කොටට, සිරුර නිරාවරණය වන ආකාරයේ ඇඳුම්වලින් සැරසීමත් තොරොම්බල් ආකාරයේ ආභරණවලින් සැරසීමත් සුදුසු නොවේ. එවිට ඔබ වැදගත් , වඩා විශ්වසනීයත්වයෙන් යුතු ආකාරයේ ඇඳුමෙන් පැලඳුමෙන් හැඩවැඩ වීම සුදුසු ය.

රූපවාහිනී නිවේදිකාවක් වුවත් තමා හසුරුවන වැඩසටහනේ ස්වභාව අනුව ඇඳුම් පැලඳුම්වලින් සැරසීම සුදුසු ය.

නැතිනම් එය සමාජයට පවා වැරැදි ආදර්ශ ලබා දෙන්නක් විය හැකිය. ඔබ කෑම සකසන වැඩසටහනක් මෙහෙයවන්නේ නම් එහිදී කොණ්ඩය කඩාගෙන සිටින විලාසිතාවක් අනුගමනය කිරීම සුදුසු නැත. එය දකින්නන් තුළ ඇති කරන්නේ ජුගුප්සාවකි. ඔබේ වැඩසටහන ජන අපි‍්‍රයවීමට මෙය හේතුවක් විය හැකිය. ප්‍රේක්ෂකයකු ලෙස මෙවැනි වැඩසටහන් ඔබ ද නරඹා ඇතුවාට සැක නැහැ.

ස්නානයේ දී..

අපේ බොහෝ දෙනා ඇතැම් දේවල් නිසියාකාරව භාවිත කරන්නේ කෙසේදැයි හරියාකාරව නොදන්නා බවක් පෙනෙයි.

සාමාන්‍යයෙන් ෂැම්පු හා කන්ඩිෂනර් යනු හිසකෙස් සඳහා යොදන සත්කාරකයකි. මේනිසා මේවා තැවරිය යුත්තේද හිසකෙස්වල පමණි. හිසකෙස් සේදීමේ දී හිස මඳක් පස්සට නවා සිරුරේ අනෙක් ප්‍රදේශවල ස්පර්ශ නොවන ආකාරයට මේවා ඉවත් කළ යුතුය. ඉන්පසුව තුවායකින් හිසකෙස් පිස දැමීම නොකළ යුතු අතර තෙත උරා ගැනීමට හිසෙහි තුවාය ඔතා තැබිය යුතුය. ඉන්පසුව ඇඟසෝදා පිරිසුදු කරගත යුතු අතර ඇඟ සෝදා ඉවර වන විට හිසකෙස් ද තෙත හිඳී ඇත.

මුහුණ සේදීමේ දී..

මුහුණ සේදීමේ දී ද තුවායකින් මුහුණ පිස දමනවාට වඩා තෙත මාත්තු කිරීම වඩාත් සුදුසු ක්‍රමය වන අතර මෙසේ තෙත මාත්තු කිරීම සඳහා තුවායකට වඩා ටිෂූ එකක් භාවිත කිරීම සුදුසු ය. මුහුණේ කුරුලෑ පවතී නම් එවැන්නන් එක්වරක් භාවිත කළ තුවායක් සේදීමකින් තොරව නැවත භාවිත නොකළ යුතුය. නැතිනම් කුරුළෑවලට විසබීජ ඇතුළු වීමෙන් එය ආසාදනය විය හැකියි.

 

නිය ආලේපන ගැල්වීම

ඇතැම් අය පවසන දෙයක් වන්නේ නියපොතුවල නිය ආලේපන ගැල්වූ විට දිනකින් දෙකකින් ඒවා කහ පැහැයක් ගන්නා බවයි. හොඳ වර්ගයේ නිය ආලේපන ගත්තත් මේ තත්ත්වය පවතින බව ඔවුන් පවසයි. එසේ වන්නේ අපේම වැරැදි ක්‍රියාවන් නිසා බව ඔබ දන්නේ නැතිව ඇති. ක්‍යූටෙක්ස් ගල්වා පසුවදා විනාකිරි, දෙහි යොදා සකසන සම්බෝලයක් වැනි ආහාරයක් සැකසීමේ දී මෙන්ම එවැනි ආහාර අතින් කෑමට ගන්නා විට නියපොතුවල ගල්වා ඇති නිය ආලේපනවල වර්ණයේ වෙනසක් සිදුවීම සත්‍යයකි. එසේ වන්නේ විනාකිරි, දෙහි ආදී ද්‍රව්‍ය ක්‍යූටෙක්ස් සමඟ ප්‍රතික්‍රියාකර වර්ණය වෙනස් කිරීම නිසයි.

එමෙන්ම අපේ කාන්තාවන් නොදන්නා ලෝකයේ සම්මතයක් ලෙස ක්‍රියාත්මක වන යම් යම් විලාසිතා රීතීන් පවතිනවා. එවැනි එක් දෙයක් වන්නේ තද රතු, කළු හා තද නිල් පැහැති නියආලේපන භාවිත නොකිරීමයි.

මෙවැනි වර්ණ විදෙස් රටවල භාවිතයට ගැනෙන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් ය. එහෙත් උත්සව අවස්ථාවකට යාමේදී අඳින ඇඳුමේ වර්ණයට ඔබ මෙවැනි වර්ණයක් ගල්වන්නේ නම් උත්සවයට ගොස් පැමිණි පසු එම නිය ආලේපන ඉවත් කළ යුතුය.

විලාසිතා දැක්මකට නම් කුමනාකාරයේ වර්ණ භාවිත කළ ද එය වරදක් නැත. එහෙත් අපි සාමාන්‍ය ජීවිතයේ දී විලාසිතා දැක්මක නිරූපිකාවක් හෝ නිළියක් ලෙස හැඩ වැඩ වීම සුදුසුදැයි ඔබම මඳක් සිතා බලන්න. කාන්තාවක සතු ගෞරවනීය බව රැක ගත යුත්තේ අප විසින් මය.

බොහෝ විට අපි මේක්අප් සඳහා භාවිත කළ යුතු වන්නේ සමේ පැහැයට ළඟින් යන ස්වභාවික පැහැයන් ය. ඔබේ රුව වඩා සුන්දර වන්නේ එසේ හැඩ වැඩ වීමෙනි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

අතුල මෙන්ඩිස්