සාර්ථක වීමට අවශ්‍ය නම් මාර්ග බොහෝ ඇත

අගෝස්තු 26, 2020

 

කිසිවක් නොකර සිටිනවාට වඩා යමක් කිරීම හොඳය. එහෙත් කරන්නන්වාලේ එය සිදු කිරීම ඔබව සාර්ථකත්වය කරා අනිවාර්යයෙන් ම ගෙන යාමට සමත් වේදැයි කීම උගහට ය.

සාර්ථකත්වය අවැසි පුද්ගලයකු තමා යායුතු කුමන මාර්ගයේ දැයි කලින්ම සිතා ඒ පිළිබඳ යම් ඉලක්කයක් ලබා ගැනීම අනිවාර්යයෙන් ම දැනට සිටින තත්ත්වයට වඩා ඉහළ තැනකට යාමේ ක්‍රමෝපායයි. ඉලක්කයක් ලබාගෙන ජීවිතය ඒ වෙනුවෙන් මෙහෙයවීම සඳහා මේ අපි ඔබ වෙත තිළිණ කරන මඟපෙන්වීම යි.

සාර්ථකත්වය කරා යාම ඇරැඹිය යුත්තේ තරුණ වියේදීමය..

මැදි වයසට යාමේ දී ඔබට තරුණවියේ දී තිබූ කායික හා මානසික නිදහස මෙන්ම ජවය ද යම් දුරකට නැතිව යාම ඊට හේතුවයි.

ලෝකයේ සාර්ථකත්වය කරා ගිය බොහෝ චරිත දෙස බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ ඔවුන් තම සාර්ථකත්වය කරා ගිය ගමන ඉතාමත් තරුණ වියේ දී ම ආරම්භ කරඇති බවයි.

ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් තම කාර්යයන් ආරම්භ කරන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා අතරතුරදී ම ය. බිල් ගේට්ස් ව්‍යාපාරික ලෝකයට පිවිසෙන්නේ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යයකුව සිටිය දී ම ය.

මේ තමා අපේක්ෂා කළ ගමන නොවේ යැයි තේරුම් ගන්නා ඔහු විශ්වවිද්‍යාලයෙන් ඉවත් වී ව්‍යාපාරික ලෝකයට ඇතුළු වේ.

ස්ටීව් ජොබ්ස් ද එවැනිම වූ චරිතයක් බව ගිය සතියේ දී අප ඔබට ඉදිරිපත් කළ කරුණු අනුව ඔබට සිතාගත හැකිය.

චීනයේ ලෝකප්‍රසිද්ධ ව්‍යාපාර ජාලයක හිමිකරු වූ ජැක් මා ද එවැන්නෙකි. ඔහු ද ලෝකයේ අනෙකුත් බොහෝ ව්‍යාපාරිකයන් මෙන්ම තම ජීවිතය ඉතාමත් කුඩා තැනකින් ආරම්භ කළ පුද්ගලයෙකි.

එමෙන්ම ඔහු පාසල් කාලයේ දී පාසලේ බැබළෙන, දීප්තිමත් ශිෂ්‍යයකු ද නොවී ය. එමෙන්ම ඔබ දන්නවා ඇති චීනය තම රට තුළ භාවිත කරන්නේ චීන භාෂාවයි. ඔවුන් ජාත්‍යන්තර භාෂා පිළිබඳ වැඩි වැදගත්කමක් ලබා දෙන්නේ නැත. ජැක් මාට යම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඇමරිකා එක්සත් ජනපදයට යාමට සිදු වේ.

එහිදී ඔහු පරිගණක තාක්ෂණය පිළිබඳ අත්දැකීම් ලබා ගනී. එහිදී ඔහුට අන්තර්ජාලය හරහා ව්‍යාපාර කිරීමේ අදහසක් ඇති වේ.

එහෙත් ඒ සඳහා ඉංග්‍රීසි භාෂාව වැදගත් වේ. ජැක් මා තම සාර්ථකත්වය ලබා ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත් ආකාරය භාෂා ගැටලුව නිසා පීඩාවට පත් වී, පසුගාමී වී සිටින තරුණ පිරිසට වැදගත් විය හැකියි.

ඔහු මේ සඳහා යොදා ගත් ක්‍රමවේදය වන්නේ උදෙන්ම අවදිව චීනයේ විදේශිකයන් පැමිණෙන කලාපයට යාමයි. එහිදී ඔහු කරන්නේ සංචාරකයන් සමඟ ගැවසෙමින් ඔවුන් සමඟ මිත්‍ර සබඳතා ඇතිකර ගෙන ඔවුන්ට එම ප්‍රදේශය පිළිබඳ තොරතුරු කියා දෙමින් සංචාරකයන් අතර ගැවසෙන සංචාරක මඟපෙන්වන්නෙක් ලෙස ක්‍රියා කිරීමයි.

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

 

2020/08/26 තරුණි බලන්න