ඉලක්කයක් තිබූ පමණින් ම ජීවිතය සාර්ථක කරගත හැකිද?

සැප්තැම්බර් 23, 2020

ජීවිතය ඉක්මනින් ම ගෙවී යන්නකි. එනිසා ම අප ජීවිතය සාර්ථක කරගැනීම උදෙසා කල් මැරීම සුදුසු නැත. මට සාර්ථක වෙන්න තව කල් තියෙනවා යැයි සිතා අද දවස නිකරුණේ ගත කිරීම සාර්ථක පුද්ගලයකුගේ ලක්ෂණයක් නොවේ.

ජීවිතය ගෙවන්නන් වාලේ ගෙවීම ද සාර්ථක ජීවිතයක් අපේක්ෂා කරන්නකු විසින් නොකළ යුත්තකි. සාර්ථකත්වය ඉබේ පහළ වන්නක් නොවේ, එය උනන්දුවෙන්, උත්සාහයෙන් යුතුව ලබා ගත යුත්තකි. ඒ සඳහා ඉලක්කයක් ලබා ගත යුතුය. ඉලක්කයක් නැති ජීවිතයක් සාර්ථකත්වයක් කරා මෙහෙයවිය නොහැකි ය.

"ඔබට යා යුතු තැන ඔබ තීරණයකර නැතිනම් ඕනෑම මාර්ගයකින් ඒ කරා ඔබට යාමට හැකිය." යනුවෙන් කියමනක් ඇත. එමෙන්ම, තවත් කියමනක් වන්නේ, "යා යුතු තැන කොහේදැයි ඔබ නොදනී නම් කොතරම් මාර්ග තිබුණ ද කිසිදු මාර්ගයකින් ඔබට ඒ සඳහා යා නොහැකිය." යන්නයි.

මෙහි සරල අදහස වන්නේ, අපි යම් ඉලක්කයක් නිශ්චිතව සකස් කරගත් විට අපිට මාර්ගය සොයාගෙන එම ඉලක්කය වෙත යා හැකි බවයි.

ඉලක්කයක් තිබූ පමණින් ම ජීවිතය සාර්ථක කරගත හැකි දැයි අද අපි සොයා බලමු.

ඉලක්කයක් තිබීම යනු සාර්ථකත්වය කරා යන ගමනේ දී ඒ සඳහා අදාළ වන එක් සාධකයක් පමණි. අපේක්ෂිත ජයග්‍රහණ අත්කරගෙන සතුට පිරුණු සාර්ථක ජීවිතයක් අත්කර ගැනීමට තවත් සාධක ගණනාවක් අවශ්‍ය වේ.

අද විද්‍යාඥ තෝමස් අල්වා එඩිසන්ගේ ජීවිත කතාව ඇසුරෙන් සාර්ථකත්වය කරා යන ගමනේ දී අපට තිබිය යුතු යම් ලක්ෂණයක් පිළිබඳ කතා කරමු. තෝමස් අල්වා එඩිසන් යනු සුවිශේෂී චරිතයකි. ඔහුගේ චරිතය කෙරෙහි හොඳ මෙන්ම විවිධ විවේචන ද පවතී. එහෙත් අපි ඕනෑම චරිතයක කළු පැත්ත අතහැර අපිට ඔවුන්ගෙන් ලබා ගත හැකි හොඳ පමණක් ලබාගෙන අපේ ජීවිත ආලෝකවත් කරගත යුතුය.

මේ විද්‍යාඥයා ගැන තිබෙන විවේචන වන්නේ, ඔහු තම ගෝලයෙක් වන ටෙස්ලාගේ යම් යම් සොයා ගැනීම් සඳහා තමාගේ නමින් පේටන්ට් බලපත්‍ර ලබා ගත් බවට ඉතිහාසයේ යම් යම් තැන්වල සඳහන්ව ඇති චෝදනාවන් ය. ඒ කතාව කෙසේ වුවත් තෝමස් අල්වා එඩිසන් යනු ඉතිහාස පොතට අනුව තාක්ෂණික විද්‍යා භාණ්ඩ 1300කට අධික ප්‍රමාණයක් ලෝකයට දායාද කරමින් ගිනස් වාර්තාවක් පිහිට වූ ව්‍යවසායකයෙකි. ඒ වගේම විද්‍යාඥයෙකි.

ඔබ අප කවුරුත් දන්නා එදිනෙදා භාවිත කරන ආලෝක බල්බයේ නිර්මාතෘවරයා වන්නේ ද ඔහු ය. මෙම නිර්මාණය සාර්ථක කරගැනීම සඳහා ඔහු 999 වතාවක් අසාර්ථක වී ඇත. එය සාර්ථක වී ඇත්තේ දහස්වෙනි වාරයේ බැව් කියැවේ. ඔහු එහිදී බල්බය නිෂ්පාදනය කළ යුතු ක්‍රමයකුත් එය නොකළ යුතු ක්‍රම 999 කුත් සොයා ගත් බව සඳහන් වේ. එයින් පැවසෙන්නේ ඔහු අසාර්ථක වූ 999 වාරය ඔහු අසාර්ථක වූවා නොව, බල්බයක් නිෂ්පාදනය කිරීමේ දී නොකළ යුතු ක්‍රම 999 ක් ලෙසින් හඳුනා ගත් බව ඔහු සඳහන්කර ඇත.

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු

 

2020/09/23 තරුණි පුවත්පත බලන්න.