රටම දන්නා නාමයක් ඇති ඕදිරිස් පවුලේ කතාව

ඔක්තෝබර් 28, 2020

ගැහැනු දරුවකු ඉපදීම පවුලට වාසනාවක් යැයි අපේ සමාජයේ විශ්වාසයකි. පිරිමියෙක් දෙවැනි වරට උපදින්නේ සිය බිරිය නිසා යැයි කියමනක් තිබේ. ඒ වගේම පවුලක දරුවන් වෙනුවෙන් සුබසෙත සලසන්නිය වන්නේ ද ඒ බිරිය නැතිනම් අම්මාය.

දුවක, බිරියක, මවක, ලෙසින් විවිධ පැතිකඩයන්හි ඇය ලබා දෙන දායකත්වය සුළුපටු නැත. සමහර පිරිමින්ට නිවෙස අපායකි. එහෙත් සමහරුන්ට නිවෙස දිව්‍යලෝකයකි. මේ ස්ථාන දෙකම නිර්මාණය වන්නේ කාන්තාව පවුල තුළ හැසිරෙන රටාව අනුවය.

මේ කියන්නට යන්නේ ඒ සෑම භූමිකාවක්ම මනා සේ කළමනාකරණය කරගනිමින් සැමියන්ට ශක්තියක් වෙමින් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගන්නටත් ශක්තියක් වූ බිරින්දෑවරු තිදෙනෙක් ගැනයි. ඒ ඕදිරිස් ඉංජීනේරු ආයතනය පවත්වාගෙන යන සහෝදරයන් තිදෙනාගේ බිරියන් තිදෙනායි.

ඕදිරිස් යන නාමය ඇසූ පමණින් මතක් වන්නේ මුළුතැන්ගෙයට නැතිවම බැරි හිරමණය සහ පිහිතලයයි. ඒ තරමට ඕදිරිස් හිරමණ සහ පිහි මන්නා අපේ ගෘහණියන්ට සමීපය. එසේම ඕදිරිස් හිරමණයට මෙන්ම පිහිවලට එදා වගේම අදත් දේශීය වෙළෙඳපොළ තුළ වගේම විදේශ වෙළෙඳපොළෙත් විශාල ඉල්ලුමක් තියෙන්නේ ඕදිරිස් නාමයත් නිෂ්පාදනවල තිබෙන ගුණාතමක බව නිසයි. 1952 දී ඕදිරිස් පෙරේරා මහතා ආරම්භ කළ මේ ඕදිරිස් ඉංජීනේරු ආයතනය තව තවත් දියුණු කරගනිමින් පවත්වාගෙන යන්නේ ඔහුගේ පුතුන් වන විල්සන් පෙරේරා, කරුණාසිරි පෙරේරා සහ ජයසිරි පෙරේරා යන සහෝදරයින් තිදෙනාය. මේ තිදෙනාට සවියක් වුණේ පද්මිණි, කමලා, සහ මල්ලිකා යන ඔවුන්ගේ බිරියන් තිදෙනායි. මේ ඔවුන්ගේ කතාවයි.

 

ව්‍යාපාරික බිරියක් වීම ගැන මොකද හිතෙන්නේ?

ඕදිරිස් ඉංජිනේරු සමාගම හැදුවේ ඕදිරිස් පෙරේරා. මගේ සැමියාගේ ආදරණීය පියාණන්. දැන් ඕදිරිස් ආයතනය ගෙනි යන්නේ එහි දෙවැනි පරම්පරාවේ අය වන මගේ සැමියා විල්සන් පෙරේරාත් ඔහුගේ සහෝදරයන් වන කරුණාසිරි පෙරේරා සහ ජයසිරි පෙර්රා යන සහෝදරයෝ තුන් දෙනා. ඔවුන් මේ ව්‍යාපාරය හොඳීන් පවත්වාගෙන යනවා.

1952 දී තනි ව්‍යාපාරයක් ලෙස තාත්තා ගොඩනගපු මේ ආයතනය මේ තුන් දෙනාගේ කැප වීමෙන් ලොකු ගමනක් ඇවිත් තියෙනවා. එදා තිබුණටත් වඩා ඕදිරිස් නාමය අද ජනතාව අතර ප්‍රසිද්ධයි. එවන් ව්‍යාපාරයක හිමිකරුවකුගේ බිරියක් වෙන්න ලැබීම සතුටට කරුණක්.

ව්‍යාපාරයක හිමිකරුවකුගේ බිරියක් වීම නිසා ඔබත් කාර්යබහුල ඇති.

ඇත්තටම මගේ සැමියා ව්‍යාපාරය ගැන විතරක් නෙවෙයි නිවෙසේත් අනිත් හැම දේම හොයලා බලනවා. මට තියෙන්නේ උයලා පිහලා ගෙවල් දොරවල් ලස්සනට තියන් ඉන්න විතරයි. එයා උදේට රැකියාවට යනකොට මම කෑම ටික හදලා දෙනවා. උයන්න පිහන්න ලොකු උදව්වක් නැති වුණත් ගෙදර දොරේ අනෙකුත් වැඩ කටයුතුවලට උදව් කරනවා. ගෙදර මොකක් හරි ඉලෙක්ට්‍රිකල් උපකරණයක් කැඩුණොත් ඔහු තමයි හදන්නේ. ෆැක්ට්‍රි එකේ මොන වැඩේ තිබුණත් ඔහු හවස 6ට නිවෙසට එනවා. ඒ නිසා හදිසියේ හරි එන්න පරක්කු නම් මං ඇමතුමක් දීලා අහනවා කොහෙද ඉන්නේ කියලා. මොකද ඔහු සාමාන්‍යයෙන් පරක්කු වෙන්නේ නැති නිසා මම හැම දෙයක්ම හොයලා බලනවා. ඒ තරම් අපි දෙන්නා හරිම සමීපයි. මං ෆැක්ට්‍රි එකේ වෙන දේවල් වැඩිය ඇහුවේ නැති වුණත් ෆැක්ට්‍රි එකේ වෙන හැම දෙයක්ම මාත් එක්ක කතා කරන එක එයාගේ පුරුද්දක්. එයා සහෝදරයෝ දෙන්නත් එක්ක ව්‍යාපාරය හොඳීන් කරගෙන යනවා. මං එයාව ආදරෙන් බලා ගන්නවා.

සැමියාගේ සාර්ථකත්වයට හේතුව ඔබේ මඟ පෙන්වීම ද?

සාර්ථකත්වය කියන්නේ වචනයක්ම පමණක් නෙවෙයි. ඒ වචනය තුළ උත්සාහය, ධෛර්ය, කැපවීම වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් පහසුවෙන් ළඟා කර ගත හැකි දේවල් නෙවෙයි. මං ඔහු සමඟ විවාහ වන විටත් ඔහු ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියේ. එතකොටත් ඒ ව්‍යාපාරය සාර්ථක වෙලා ඉවරයි. තාත්තා ගොඩනඟපු ඒ ව්‍යාපාරය සැමියාත් සහෝදරයනුත් එකතු වෙලා වැටෙන්න නොදී බලා ගත්තා. දියුණු කළා.

ඒ ගමනේදී ගොඩක් ප්‍රශ්න තිබුණා. මම කළේ ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඔහුව ධෛර්යවත් කරලා උදව් කිරීමයි.

සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැනියක්, සෑම අසාර්ථක මිනිසකු පිටුපසම අසාර්ථක ගැහැනියක් සිටිනවා කියලා කතාවකුත් තියනවනේ. මං හිතන්නේ ඒ කතාවේ සත්‍යතාවයක් තියනවා. සැමියාට ප්‍රශ්නයක් ආව වෙලාවට බිරිය ඔහුට සවියක් නොවුණොත් එතැනම කඩා වැටෙනවා. ඒක ව්‍යාපාරික ප්‍රශ්නයක් හෝ වෙන ඕනෑම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒවාට විසඳුම් දෙන්න බිරියට දැනුමක් නොතිබුණත් බිරියට පුළුවන් ඔහුව ධෛර්යවත් කරන්න. ඔහුව සනසන්න. ඔහුව නිවන්න. බිරියකගේ වගකීම ගෙදර අස් පස් කරලා කෑම බීම ටික හදන එකම පමණක් නොවෙයි.

ව්‍යාපාරය කරගෙන යද්දි ඔහුට ප්‍රශ්න ආපු වෙලාවල් තිබුණා. මං ඒ වෙලාවල් වලදී තාත්තා අමාරුවෙන් ගොඩනඟපු ඕදිරිස් නාමය වැටෙන්න දෙන්න එපා කියලා ඔහුගේ විශ්වාසය වැඩි කළා.

අපිට ලැබුණ මැණික් ගල් දෙක තමයි ඒ දෙන්නා. ඒ වගේ දරුවෝ දෙන්නෙක් ලබන්න තරම් අපි ගොඩක් වාසනාවන්තයි.

 

ඡායා - ශාන් රූපස්සර

 

2020/10/28 තරුණි පුවත්පත බලන්න.