ප්‍රතිශක්තිය වැඩිකරන දසබරණ කටුසර කමුද ...?

නොවැම්බර් 25, 2020

 

ශ්‍රී ලාංකේය අපේ ආහාර සංස්කෘතිය අපටම  ආවේණික වූවකි. මේ පින්බිමෙහි වැවෙන  ඕනෑම බව භෝගයක් කිසිදු වස විසකින්  තොරව ආහාරයට ගත හැකි වේ. එමෙන්ම මේ පොළොව මත පතිතවන ඕනෑම දඬු කැබැල්ලක්, පැළයක් මුල් ඇදගන්නා අතර  ටික කාලෙකින්ම හරි අපූරු ගසක් බවට පත්වේ. අනතුරුව  එමගින් පිරිනමනා අස්වැන්න අපේ ජීවිත පවත්වා ගැනීමෙහිලා බෙහෙවින්ම ප්‍රයෝජනවත් වේ. එබැවින් ශ්‍රී ලාංකිකයන් වූ අපට ජීවත්වීමට ආහාර පාන  මේ පොළොවෙන්ම ලබා ගත හැකි අතර අවශ්‍ය වන්නේ තරමක්  වෙහෙස මහන්සි වීම පමණකි.

ඒකාකාරී ආහාර පාන

කොරෝනා වසංගතය සමඟ නිවෙසටම  කොටු වී ජීවත්වන ඔබට ඇතැම්විට විවිධ ආහාරපාන  හිඟපාඩු වනවා නොඅනුමානයි. එමෙන්ම එකම වර්ගයේ දේ දිනපතා ආහාරයට ගැනීමෙන් ඒකාකාරී බවක් සහ  දිවට රසයක් නොදැනෙනවාත් ඇති . විශේෂයෙන්ම පොඩි දරුවන් නම් විවිධාකාරයේ රසවත් කෑම බීම ඉල්ලා හඬා වැටෙනවාත් ඇති.

එවැනි අවස්ථාවක ගෘහණියක් , මවක් වූ ඔබ තරමක් කල්පනාකාරී වුවහොත් මේ ආහාරම පෝෂණ ගුණය රැකෙන අයුරින් විවිධ ආකාරයට රසවත් ව පිළියෙලකර ඔබේ පවුලේ සාමාජිකයන්ට පිරිනැමිය හැකි බව මොහොතකට සිතුවාද ?

වර්ග කිහිපයක්  එකට මුසු කිරීම

පසුගිය සතියේ අපි මේ දිනවල ආහාරයට ගත හැකි වසංගත කිරිබත ගැන කතා කළා ඔබට මතක ඇති. ඒ වගේම මෙවැනි බෝවෙන රෝග පැතිර යන සමයේ හොඳ පෝෂණයක් ලබාගත හැකි තවත් උදෑසන ආහාරයක් තමා ධාන්‍ය. දවස පුරාම ක්‍රියාශීලීවීමට පිටි සහිත ආහාර වලින් ලබන පෝෂණයට වඩා මෙවැනි ධාන්‍ය වර්ගයකින් ලැබෙන පෝෂණය සහ ප්‍රතිශක්තිය  ඉතා වැදගත්.

 

මෙහිදී අප පුරුදු පුහුණු වී සිටින්නේ එක් එක් වර්ගයේ ධාන්‍ය තම්බා ආහාරයට ගැනීමටයි.

නමුත් මෙලෙස එක් වර්ගයක් සකසා ගන්නවාට වඩා ධාන්‍ය වර්ග කිහිපයක් එකට මුහු කරලා කෑමට ගැනීමෙන් හොඳ පෝෂණයක් ලැබෙනවා සේම රසයේ විවිධත්වයක් ද ඇත.

දසබරණ කටුසර

ඔබ දසබරණ කටුසර ආහාරයට ගෙන  තිබෙනවා ද ? බොහෝදෙනකුට නම් මෙය කෑම කෙසේ වෙතත් වචනයත් නුහුරු ඇති .

කටුසර බෝග කියන්නෙ හේනෙ වගාකරන ධාන්‍යවලටයි. 

අතීතයේ විසූ අපේ මුතුන්මිත්තන් ආහාර පුරුද්දක් හැටියට ඇට ජාති දහයක් පමණ  එනම් ධාන්‍ය  වර්ග දහයක් පමණ එකට කලවම්කර තම්බාගෙන ආහාරයට ගත්තා. එම ආහාරය හඳුන්වන්නේ දසබරණ කටුසර කියලා .

හැබැයි කිසිම කටුක බවක් නෑ .

පුදුමාකාර  රසයි. එක්වරක් කෑවොත් ඔබටත් කොච්චර රසවත් ද ඒවාගේම වටිනවා ද කියලා හිතෙයි.

මුංඇට , කව්පි , මෑ ඇට , කොණ්ඩ කඩල, බඩ ඉරිඟු, රටකජු, කොල්ලු, සෝගම් වැනි විවිධත්වයෙන් යුතු ඇට වර්ග මේ සඳහා යොදා ගනියි.

ඔබටත් පහසුවෙන් මේවගේ ඇට ජාති දහයක්  හොයාගෙන  තම්බාගන්න පුළුවනි. හම්බන්තොට වාගේ පළාත්වල හේන් ගොවියන් අදටත් දසබරණ කටුසර තම්බා ආහාරයට ගන්නවා. උදෑසනට මේ දසබරණ කටුසර ආහාරයට ගතහොත් ඇත්තටම දවල් වෙනකම් බඩගින්නක් දැනෙන්නේ නෑ කියලයි තතු දන්නෝ කියන්නෙ.

ඒවගේමයි මොකද්දෝ අපූර්වත්වයකුත් මේ දසබරණ කටුසර කෑමේ තියෙනවා.

ඔබටත් ඇට ජාති දහයක් ඒ කියන්නේ ධාන්‍ය වර්ග දහයක් හොයාගන්න බැරි වුණත් වැඩි ප්‍රමාණයක් හොයාගෙන රැයක් පෙඟෙන්නට තබා තම්බා ගතහොත් රසයත්, ගුණයත් වගේම පෝෂණයත් ඉහළයි.

ඉතින් මේ වසංගත සමයේ ප්‍රතිශක්තිකාරකයක් හැටියට ඔබත් දසබරණ කටුසර කාල බැලුවොත් නරක ද.

 

 

උපදෙස්

ජනශ්‍රැති පර්යේෂක සහ ප්‍රවීණ ලේඛක

මහින්ද කුමාර දළුපොත

 

2020/11/25 තරුණි පුවත්පත බලන්න