යථාවබෝධයෙන් ජීවිතය ජයගන්න..

දෙසැම්බර් 2, 2020

අලුතින් යමක් ආරම්භ කිරීමට අපි බොහෝ දෙනා සිහින මවමින් සිටින්නෙමු. ඇතැම් විට ඒ සඳහා සැලසුම් ද සකස් කරන්නෙමු. එහෙත් එය ක්‍රියාත්මක කිරීමට යාමේ දී විවිධ හේතු නිසා එය පසුවට කල් දමන්නෙමු.

මේ අත්දැකීම බොහෝ දෙනකුට සමීප ය. විශේෂයෙන් ම අප නොදන්නා නොදකින දේ නිසා මෙලෙසින් කළ යුතු දේ කල් දැමීම මඟින් සිදු වන්නේ ඔබට වාසියකට වඩා අවාසියකි. ඉන් ඔබගේ ඉදිරි ගමනට බාධා පමුණුවයි.

ඉලක්කයක් වෙත යන ගමනේ දී අප එය නිරන්තරයෙන් සිත්හි තබාගෙන කටයුතු කළ යුතුය. එක් තරුණයෙක් පැවසූ ඔහුගේ කතාව අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඉන් ඔබට ද යම් ආදර්ශයක් ලබා ගත හැකි හෙයිනි. එම තරුණයා පැවසුවේ ඔහුට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එනම් ව්‍යවසායකයෙක් වීමේ දැඩි අපේක්ෂාවක්, ඉලක්කයක් තිබුණු බවයි.

ඔහු ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා සැලසුම් සකස්කොට එයට ඔහුගේ මිතුරකු ද සම්බන්ධ කරගනී. අවශ්‍ය ප්‍රාග්ධනය සඳහා මවගෙන්, සොයුරියගෙන්, යහළුවකුගෙන් ආදී ලෙස මුදල් ලබාගෙන තිබුණි. මෙය ආරම්භ කිරීමට යන මොහොතේ නිවෙසේ වැඩිහිටියකු නිකමට මෙන් පවසා ඇත්තේ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර කේන්දරය බලවා ඒ සඳහා මෙය හොඳ වේලාවක්දැයි පරීක්ෂා කරගන්නා ලෙස හා සුදුසු නැකැත් වේලාවක් බලවා ගන්නා ලෙසයි. මේ ව්‍යාපාරයේ අනාගතය පිළිබඳ යම් පුරෝකථනයක් දෛවඥයාගෙන් ලබා ගැනීම ද මෙම කේන්ද්‍ර පරීක්ෂාවේ එක් කාරණයක්ව තිබිණි.

ඔහු ප්‍රදේශයේ දෛවඥයෙක් හමුවීමට ගොස් ව්‍යාපාරයක් කිරීමට අදහස් කරන හෙයින් ඒ සඳහා සුදුසු වේලාවක් සකසා දෙන ලෙසත් තමාගේ ව්‍යාපාරයේ අනාගතය සාර්ථක වේදැයි යන්න ගැනත් විමසා ඇත. මඳ වේලාවක් ඔහුගේ කේන්ද්‍ර පරීක්ෂා කළ දෛවඥවරයා ඔහුට ව්‍යාපාර කිරීමට නොහැකි බවත් කිසි දිනෙක මෙය සාර්ථක නොවන බවත් කෙසේ හෝ මෙය සිදු කළහොත් තමා සන්තකයේ දැනට පවතින දේවල් ද අහිමි වන බවත් පවසා තිබේ. මේ කාලය ඉතාමත් නරක බැවින් දැනට තමා යම් රැකියාවක් කරනවා නම් ඒ රැකියාව ද අහිමි වීමට තරම් අසුබදායක කාලයක් වන නිසා එයද ප්‍රවේශම් කරගන්නා ලෙසත් අතට ගත් දෙය කටට දා ගැනීමට නොහැකි තරම් නරක කාලයක් බවත් පවසා ඇත.

මේ තරුණයා කේන්ද්‍ර පරීක්ෂාවෙන් පසුව ඉතාමත් මන්දෝත්සාහීවී අපේක්ෂාභංගත්වයෙන් සිටින අතර මාහට කතාකොට මේ සියලු කාරණා පවසා තමා කුමක් කළ යුතුදැයි විමසා සිටියා.

යමෙක් කිසිදු දැනුමක්, ඒ පිළිබඳ යම් පුහුණුවක් නැතිව ව්‍යාපාරයක් කිරීමට සිතා වේලාව පරීක්ෂා කිරීමට දෛවඥයකු හමුවීමට පැමිණියා යැයි අපි මොහොතකට සිතමු. එම දෛවඥවරයා ඔහුට මේ පවතින වේලාව ඉතාමත් හොඳ බවත් ව්‍යාපාරය ඉතාමත් සාර්ථක එකක් වන බවත් බිය නැතිව එය ආරම්භ කරන ලෙසත් පවසා සිටියහොත් එම වදන් පැවසූ පමණින් සාර්ථක ව්‍යාපාරයක් ලැබේ යැයි ඔබට විශ්වාස කළ හැකි ද? එම පුද්ගලයාට වෙළෙඳපොළ ගැන, පවතින මිල ගණන් ගැන, නිෂ්පාදන භාණ්ඩය ගැන නිසි අවබෝධයක් නැති නම්, ගිණුම්කරණය ගැන යම් අවබෝධයක් නැතිනම් ඔහුට ව්‍යාපාරයක් ආරම්භකර එය සාර්ථකත්වය කරා ගෙනයාමට හැකි වේද? වාසනාව තිබූ පමණින් දැනුම, දක්ෂතාව නැතිව ව්‍යාපාර සාර්ථක නොවේ.

ලෝකයේ සාර්ථක වූ සෑම ව්‍යාපාරිකයකු ම තමාගේ කේන්ද්‍රයට අනුව හොඳම කාලය, වේලාව බලා ව්‍යාපාර ආරම්භ කළ අයදැයි සිතා බලන්න. සාමාන්‍යයෙන් අපේ රටේ බොහෝ විවාහවල දී පොරොන්දම් පරීක්ෂාවන් සිදු කරනු ලබයි. එහෙත් පොරොන්දම් නිසි අයුරින් ගළපා නිසි ආශීර්වාද ඇතිව විවාහ වූ සෑම පවුල් ජීවිතයක් ම සාර්ථක ද? එලෙස සියලුම දේ ගළපා නැකැත් අනුව සිදු කරන විවාහ පවා අසාර්ථක වී ඇති අයුරු සමාජයේ කොතෙකුත් දකින්නට ඇත.

පොරොන්දම් ගැළපීමක් හෝ නැකැත් බැලීම්වලින් තොරව, ඇතැම් විට මව්පිය ආශීර්වාදය හෝ නොමැතිව විවාහ දිවියට පත් වූ ඇතැම් අය සාර්ථක පවුල් ජීවිත ගතකරන අවස්ථා ද අප කොතෙකුත් දැක ඇත. ඇතැම් විට විවාහ උත්සව, පෝරුව චාරිත්‍ර පවා නොමැතිව විවාහ වන්නන්ගේ ජීවිත අනෙක් අයට වඩා සාර්ථක විය හැකිය. මේ හැම දෙනාගේම ජීවිත අසාර්ථක ද? ඇතැම් විට අනෙක් සියල්ලන්ට ම වඩා පොරොන්දම් ගැලපීම් හෝ නැකැත් බලා උත්සව ගැනීමකින් තොරව විවාහ වූවන් වඩාත් සතුටින් සාර්ථක ජීවිත ගත කරන අවස්ථා සමාජයේ පවතී. එමනිසා ඉන් පැහැදිළි වන්නේ විවාහ ජීවිතයක් සාර්ථක කරගැනීම උදෙසා වැදගත් වන්නේ පොරොන්දම් ගැළපීම නොවන බවයි. එයට වඩා වැදගත් බොහොමයක් දේ සාර්ථක විවාහයකට බලපායි.

ව්‍යාපාරයක් කිරීමේ දී ද මේ කරුණ එසේම වැදගත් වන්නකි. නිසි දැනුමක් නොමැතිව හොඳම නැකැත හෝ වාසනාව හෝ මත පමණක් පදනම් වී සාර්ථක ව්‍යාපාරයක් පවත්වා ගැනීමටත්, සාර්ථක ව්‍යවසායකයකු වීමටත් නොහැකි බවයි. ව්‍යාපාරයක සාර්ථකත්වය ලැබීම සඳහා ඒ පිළිබඳ දැනුම, කුසලතාව, ව්‍යවසායකත්ව හැකියාව තිබේදැයි සොයා බැලිය යුතුය.

රටේ ජනප්‍රිය වූ ප්‍රදර්ශනාගාර 20 කට අධික සංඛ්‍යාවක් හිමි සාර්ථක ව්‍යාපාරිකයකුගෙන් ඔබ අලුත් ප්‍රදර්ශනාගාර ආරම්භ කිරීමේ දී හොඳ වේලාවක් බලවනවාදැයි විමසූ විට ඔහු සිනාසී මඳක් කල්පනා කළේය. මට හිතෙන වෙලාව තමයි හොඳම වෙලාව. මට යම් කිසි ස්ථානයක යම් දවසක අලුත් ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කළ යුතු යැයි මගේ කණ්ඩායමට පැවසූ විට ඔවුන් කෙසේ හෝ මට අවශ්‍ය දිනයට, එම වේලාවට එම කාර්යය අවසන් කරයි. මම වෙලාවට වැඩ කරන කෙනෙක් නිසා මම කියන වෙලාවට ඔවුන් වැඩ ටික කෙසේ හෝ අවසන් කරනවා, මෙතෙක් මගේ කිසිම වැඩක් වැරැදිලා නැහැ යැයි පැවසුවේ ය.

බුදුරජාණන් වහන්සේ ද වරක් දේශනා කරන්නේ ඔබ යම් කාර්යයක් කිරීමට සූදානම් නම් එම මොහොත එම කාර්යය කිරීමට සුදුසු ම මොහොත වන බවයි. එමනිසා ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ තම ඉලක්ක සපුරා ගැනීමට බලාපොරොත්තු වන ඔබ කිසිම දිනෙක තැඹිලි ගෙඩියක්, බුලත් විටක්වත් විකුණා නැති පුද්ගලයන්ගෙන් ව්‍යාපාර කිරීමට උපදෙස් හෝ අනාවැකි ඇසීමට නොයා යුතුය. මන්ද එම උපදෙස් මත ඔබගේ සම්පූර්ණ ජීවිතයම වුවද වෙනස් වීමට ඉඩ ඇති හෙයිනි.

බුදුරජාණන් වහන්සේ මෙසේද පවසා ඇත. ඔබට ඔබගේ පිහිට හැර අන් පිහිටක් නැත. මෙය අපි ආරම්භ කළ දෙය, අපේ ඉලක්කය සපුරා ගැනීම උදෙසා යොදවා ගත යුතුය. ඔබ හැසිරෙන ආකාරය, ඔබ ගන්නා තීරණ, ඔබ වැඩකරන ආකාරය, ඔබේ දැනුම හා ඔබේ අත්දැකීම් මත මිස ඔබෙන් බැහැරව ඇති අනෙකුත් සාධක මත පදනම් නොවේ.

මෙය පෙර කී තරුණයාට පැහැදිලි කරදීමෙන් පසුව හැකි නම් මේ ව්‍යාපාරය සාර්ථක කරගෙන ඔහු ගැන කී අනාවැකිය බොරු කරන ලෙස අභියෝගයක් ද ලබා දීමට හැකි විය. තමාට තමා විශ්වාස කළ හැකි නම්, තමාගේ ව්‍යාපාරය වෙනුවෙන් කැපවීමෙන්, උනන්දුවෙන් කටයුතු කළ හැකි නම් සාර්ථක ව්‍යාපාරිකයකු විය හැකියි.

ඔබ සාර්ථක ව්‍යාපාරිකයකු වේද නොවේදැයි තීරණය වන්නේ කේන්ද්‍ර සටහන අනුව නොව, ඒ වෙනුවෙන් ඔබ ක්‍රියා කරන ආකාරය අනුවයි. ව්‍යවසායකයෙක් ලෙස සාර්ථක තීරණ ගැනීමටත්, ක්‍රියා කිරීමටත් හැකිද යන කාරණා දෙක මත ඔබගේ සාර්ථකත්වය තීරණය වේ. එබැවින් එවැන්නකු ව්‍යවසායකයන් ඇසුරු කිරීම, එවැන්නන් පිළිබඳ ලියැවුණු පත පොත කියවීම, ව්‍යවසායකත්ව පිළිබඳ තොරතුරු ඇති අන්තර්ජාල තොරතුරු පරිහරණය කිරීම කළ යුතුයි..

කුඩාවට අරඹා පියවරෙන් පියවර සාර්ථකත්වය කරා පිය නගන්න. අදෘශ්‍යමාන දේ මත තම ජීවිතය තීරණය කිරීම පසෙක තබා යථාවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීමෙන් ඔබට ඉලක්ක මෙන්ම ජීවිතය ද ජය ගැනීමට හැකි වනු ඇත.

 

 

උපදෙස්

ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක

මොහාන් පල්ලියගුරු