ස්කොට්ලන්තයේ පළමු අගමැතිවරිය නිකොලා ස්ටර්ජන් ගෙන් සැබෑ වෙනසක්

ලොවක් දිනූ කතුන්
දෙසැම්බර් 9, 2020

කාන්තාවක් නොමැති නිවෙසක් අමාවක රාත්‍රියක් හා සමානයි. කොතැනටත් ඇය නැති අඩුව බලපායි. තවමත් ලොව බොහොමයක් මැතිසබ කාන්තාවන් නැති අඩුවෙන් පීඩා විඳියි. එය හොඳින්ම දැනෙන්නේ ඒ පුරප්පාඩුව ඌනපූරණය වූ විටයි.

ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවට පළමු අගමැතිවරිය පත් වීමත් සමඟ රටක මුල්පුටුවේ කාන්තාවක සිටීම මොනතරම් අගනේ ද කියා එරට වැසියන් සිතන්නට පටන්ගෙන ඇත. ස්කොට්ලන්තයේ පළමු අගමැතිවරිය ලෙස පත්වී සිටින්නේ නිකොලා ස්ටර්ජන් ය. ඇය සනීපාරක්ෂක නිෂ්පාදන රටේ සියලුම කාන්තාවන්ට නොමිලයේ ලබා දීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ස්කොට්ලන්තය “ කාන්තා සනීපාරක්ෂක දිලිඳුකම “ ( පීරියඩ් පවර්ටි ) තුරන් කළ ලොව පළමු රට බවට පත්විය.

වාර්ෂිකව කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා ඇතුළු සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දීමට පවුම් මිලියන 24ක් ( ඩොලර් මිලියන 32 ක් ) වැය වෙන බවට ඇස්තමේන්තු ගතකර තිබෙයි.

2018 දී පාසල් සිසුවියන්ට සරසවි සිසුවියන්ට නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා දුන් පළමු රට බවට ස්කොට්ලන්තය පත් විය. මේ වටිනා තීරණය අර ගනිමින් නිකොලා

ලෝකයේම කාන්තාවන් වෙනුවෙන් රට රටවල රාජ්‍ය නායකයන් මේ ගැන අවදිකරමින් අපූරු ප්‍රකාශයක් කළාය.

“ ස්කොට්ලන්තය කාන්තා දිලිඳුකම නැති කරන පළමු රට නොවේවා. අපට මුල්ම රට බවට පත්වීමට හැකිවුණා.”

ඒ ඇයගේ ප්‍රකාශයයි. බ්‍රිතාන්‍යයේ ගැහැනු දරුවන්ගෙන් සියයට දහයකට සනීපාරක්ෂක තුවා ලබා ගැනීමේ හැකියාවක් නැත්නම් ලොව අනිත් රටවල් ගැන කවර කතාද? ස්කොට්ලන්තයේ පවා කාන්තාවන් පස් දෙනකුගෙන් එක් අයකු සනීපාරක්ෂක දිලිඳුකමෙන් පීඩා විඳියි.

නිකොලා ෆර්ගසන් ස්ටර්ජන් දේශපාලනයට නෑකම් කියන පවුලක උපත ලැබුවෙක් නොවෙයි. දන්ත හෙදියක වූ කේර් ස්ටර්ජන් ගේත් විදුලි ශිල්පියකුවූ රොබින් සටර්ජන්ගේත් වැඩිමල් දියණිය ලෙසින් ඇය 1970 ජූලි 19 වැනිදා උපත ලැබුවාය.

ඇයට සිටින්නේ තවත් සොයුරියන් දෙදෙනකු පමණි. නිකොලාට එංගලන්තය සමඟ ද නෑකමක් පවතියි.

ග්ලැස්ගෝ සරසවියෙන් නීති උපාධිය ලද ඇය සොලිසිටර් ලෙස කටයුතු කළාය.

වුමන්ස් අවර් නම් බීබීසී නාළිකාවේ ජනප්‍රිය ගුවන් විශේෂාංගයට එක් වෙමින් බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්ගේ නායකත්වය තමන්ට දේශපාලනයට පිවිසීමට බලපෑ බව නිකොලා කියා සිටියාය.

ස්කොට්ලන්තයේ විරුකියාව ඉහළ යන විට නිකොලාගේ දේශපාලන උණ තවදුරටත් ඉහළ ගියේය. 1986 දී ඇය ස්කොට්ලන්ත ජාතික පක්ෂයට සම්බන්ධ වූවාය.

පක්ෂයේ තරුණ කටයුතු පිළිබඳ උද්‍යෝගිමත් ක්‍රියාකාරිනියක වූවාය.

1992 මහ මැතිවරණයේදී දී ඇය පරාජයේ අමිහිරි අත්දැකීම ලැබුව ද ලාබාලම පාර්ලිමේන්තු අපේක්ෂකයා ලෙස වාර්තා පොතට එක්විය. පරාජය නිකොලා 1997 මහ මැතිවරණයේදී ද අත්දැක්කාය. එහෙත් ඇයට නව වගකීමක් පක්ෂයෙන් පැවරිණි.

බලශක්තිය සහ අධ්‍යාපනය පිළිබඳ ප්‍රකාශිකාව ලෙස ඇය පත් කෙරිණි.

1999 පාර්ලිමේන්තු මැතිවරණයේදී ද ඇය පරාජය වුවත් එරට ඡායා කැබිනෙට්ටුවේ ළමා සහ අධ්‍යාපන කටයුතු පිළිබඳ ඡායා ඇමැතිනිය ලෙසින් අත්දැකීම් ලැබුවාය.ඇය ඊළඟට ඡායා ඇමැතිනිය වූයේ සෞඛ්‍ය සහ ප්‍රජා සත්කාර විෂයන්ටයි.

නීතිය පිළිබඳ ඡායා ඇමැති ධූරය ද නිකොලා හෙබවූවාය.

දේශපාලන දිවියේ ජය පරාජයන් පිළිබඳ මිහිරි අමිහිරි අත්දැකීම්වලින් පන්නරය ලද ඇය 2014 වසරේ නොවැම්බරයේදී ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ පළමු නායිකාව ලෙස තේරී පත්වූවාය. ඒ නියෝජ්‍ය නායිකාව ලෙස සෞඛ්‍ය ලේකම් ලෙස ලද බොහෝ ඇසූපිරූ තැන් ඇතිව ය.

නව යොවුන් වියේදී දේශපාලනයට සම්බන්ධ වූ ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඒ සිදුවීමයි.

ඉන්පසු ඇය අත්දුටුවේ ජයග්‍රහනයන්මය.

2014 වසරේ නොවැම්බර් 20 වැනිදා ඇය පළමු අමාත්‍යවරිය (ෆස්ට් මිනිස්ටර්) හෙවත් අපේ රටවල හඳුන්වන ආකාරයට අගමැති ධූරයට පත්වූවාය.

පිට පිටම මැතිවරණ ජය ලැබූ නිකොලා ස්ටර්ජන් නව කොරෝනා වෛරසයට ද පරාජය නොවූවාය.

ස්කොට්ලන්තය කෝවඩ් - 19 සාර්ථකව මර්දනය කරමින් සිටින රටවලින් එකකි. කාන්තා නායකත්වය එහි රහස ය.

නිකොලා සාර්ථක නායිකාවක වාගේම සාර්ථක ගෘහණියක ද වන්නීය. ඇයගේ සැමියා පීටර් මුරල් ස්කොට්ලන්තයේ ජාතික පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරියාය. දෙදෙනාගේ ආදර සබඳතාව ගොඩ නැඟුණේ 2003 වසරේදී ය. සත් වසක පෙම් සබඳතාව මල්පල දැරුවේ 2010 ජුලි 16 වැනි දිනය. ස්කොට්ලන්තයේ වසරේ විශිෂ්ටම දේශපාලඥයා ලෙසින් 2008, 2012, 2014, 2015 සහ 2019 වසරවලදී සම්මානයට පාත්‍රවූයේ නිකොලාය. ෆෝබ්ස් සඟරාව මඟින් ඇය 2016 වසරේදී ලොව පනස් වැනියට බලවත් කාන්තාව ලෙසින් නම්කර තිබිණි. බ්‍රිතාන්‍ය ජාතිකයන් වඩාත්ම අගය කරන කාන්තාව වන්නේ ද නිකොලාය.

 

අන්තර්ජාලයෙනි.