ව්‍යාපාරයක් කරන්න උසස් අධ්‍යාපනයක් තියෙන්න ම ඕනද?

මාර්තු 24, 2021

 

ව‍‍යාපාරයක් කිරීමට ආසාවක් සෑම පුද්ගලයකුට ම ඇති නොවේ. එසේ ව්‍යාපාරයක් කිරීමට කැමැත්තක් ඇති වන බොහෝ දෙනාට තමා ලද අධ්‍යාපන මට්ටම ඒ සඳහා ප්‍රමාණවත් වේදැයි බියක්, යම් පසුබෑමක් ඇති වේ.

පෙර සිට අපේ වැඩිහිටියන් බොහෝ දෙනෙක් තම දරුවන්ට අවවාද කිරීමේ දී පැවසුවේ, ඔයාට හොඳට ඉගෙන ගත්තෙ නැති වුණොත් කුඹුරු කොටන්න තමයි වෙන්නේ... කවදාවත් ඉතිං හොඳ රස්සාවක් කරන්න වෙන්නේ නෑ.. එහෙම නැත්නම් කුලී වැඩ කරන්න තමයි වෙන්නේ.. ලෙසයි. මේ වගේ වදන් නිතර සමාජයේ දී අපට අසන්නට ලැබේ. මෙහදී කුඹුරු කොටනවා කියන එක හා වත්තක පිටියක වැඩ කරනවා කියන එක පහත් වෘත්තියක් ලෙසත් අධ්‍යාපනය ලබා රැකියාවක් කිරීම සමාජයේ ඉහළ වෘත්තීන් බවත් හැඟ වේ.

මෙය එක් අතකින් තරුණ පරපුර කෙරේ වත්තට පිටියට, කුඹුරට, කැත්තට, උදැල්ලට තිබෙන කැමැත්ත, උනන්දුව, උද්‍යෝගය අඩු කිරීමකි. මෙය වෙනම සාකච්ඡා කළ යුතු දෙයකි.

කෙසේ වෙතත් තමාගේ ජීවිතයේ සාර්ථකත්වය සොයා ඉලක්ක සපුරා ගැනීමට යන ගමනේ දී උසස් අධ්‍යාපනය යන්න අත්‍යවශ්‍ය කාරණයක් දැයි අපි මඳක් විමසා බලමු.

දැනට පවතින පර්යේෂණ වාර්තා දෙස බැලීමේ දීත් ලෝකයේ ලියැවී ඇති පොතපත දෙස බැලීමේ දීත් දකින්නට ලැබෙන දෙයක් වන්නේ, අධ්‍යාපනය හා ජීවිත සාර්ථකත්වය අතර යම් සම්බන්ධයක් තිබෙන බවයි. එමෙන්ම අධ්‍යාපනයක් ලැබූ පමණින් ම මිනිසුන්ගේ ජීවිත සාර්ථකත්වය කරා යාම සිදු නොවන බව ද දකින්නට ලැබෙන්නකි. උසස් අධ්‍යාපනය ලැබූවද ජීවිත සාර්ථක කරනොගත් අය මෙන්ම උසස් අධ්‍යාපන තත්ත්වයක් නොලැබුව ද සාර්ථක ව්‍යාපාරිකයන් වූ පුද්ගලයන් මෙන්ම ආයතනවල උසස් නිල තල හොබවන පුද්ගලයන් ද සිටිති.

මෙහිදී අප සොයා බැලිය යුත්තේ යම් පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක කරගැනීමට අධ්‍යාපනය අත්‍යවශ්‍යම ද එසේත් නැතිනම් ඒ සඳහා වෙන යම් දෙයක් අවශ්‍ය ද යන කාරණයයි. ඔබ එතරම් උසස් අධ්‍යාපනයක් ලැබීමට නොහැකි වූ අයෙක් නම්, මේ අවස්ථාවේ මතක තබා ගත යුතු කරුණක් වන්නේ ඔබට ද තම ඉලක්ක ජය ගෙන ජීවිතය සාර්ථක කරගැනීමට හැකියාව ඇති බවයි. ඔබ උපාධි ලබාගෙන උසස් අධ්‍යාපනයක් ලබා තිබෙනවා නම් ඔබ අනෙක් අයට වඩා මේ වන විට යම් ඉහළ තත්ත්වයක සිටින බව සත්‍ය වුවත් උපාධියක් ගත් පමණින් ම ජීවිතය සාර්ථකත්වයට පත් වූවා යැයි නොසිතිය යුතුයි.

මේ ලෝකයේ වෙසෙන බොහෝ ව්‍යාපාරිකයන් උපාධි ලබා ගත් පුද්ගලයන් නොවේ. අපි ඒ සඳහා අපේ රටෙන් ම උදාහරණ ලබා ගතහොත්, නවලෝක සමූහයේ අධිපති තුමා, සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ අධිපති තුමා, ඇන්ටන් සමූහයේ අධිපති ඇන්ටන් ඥානම් මහතා යන කිසිවෙක් උපාධි ලබා ගත් අය නොවේ. ලෝකයෙන් උදාහරණ ගන්නවා නම් බිල් ගේට්ස්, ස්ටීව් ජොබ්ස්, වොරන් බුෆේ යනාදීන් ද උපාධිධාරීන් නොවේ. නමුත් මේ සියලු දෙනාම සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත් වී උපාධි හිමි තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා සලසා දීමට සමත් වූ පුද්ගලයන් ය.

ඉන් අදහස් වන්නේ උපාධියක් හිමිකරගෙන නැතත් ඔබට ව්‍යාපාරයක් අරඹා ජීවිතය සාර්ථක කරගැනීමට හැකියාව ඇති බවයි.

ව්‍යාපාරිකයෙක් යනු තමාට අවශ්‍ය කුමක්දැයි දැනගෙන එය අන් අය සමඟ එකතු වී ක්‍රියාවට නංවා ගත හැකි අයෙකි. මෙය, ඔන්ටර්පර්නියල් මයින්ඩ්ස් ඇන්ඩ් ඔන්ටර්පර්නියල් ස්කිල්ස් ලෙස හඳුන්වයි. එනම් ව්‍යාපාරයක් ඇරඹීමට සිතන අයෙක් තුළ තිබිය යුතු කරුණු වන්නේ ව්‍යාපාරික මනසක් හා ව්‍යාපාරික කුසලතා ය. මෙම ව්‍යාපාරික මනස හා ව්‍යාපාරික කුසලතා යන්න පාසල් අධ්‍යාපනයෙන් ලබා ගැනීමට නොහැකිය. පාසල් අධ්‍යාපනයකින් ගොඩනැගෙන්නේ රැකියාවක් කිරීම සඳහා අවශ්‍ය වන කුසලතා ය. ඒ නිසා බොහෝ විට උසස් අධ්‍යාපනයක් ලබන බොහෝ දෙනා ව්‍යාපාරිකයන් වන බවක් නොපෙනේ. පාසල අතරමඟ දී අතහැරුණු අය මෙන්ම උසස් අධ්‍යාපනය නොලැබූ අය සමාජයේ විවිධ ගැටීම්වලට ලක් වෙමින් විවිධ පුද්ගලයන් හා වැඩ කරමින් විවිධ පුද්ගලයන් ඇසුරු කරමින් සමාජ විශ්ව විද්‍යාලය තුළින් ව්‍යාපාරික මනස හා ව්‍යාපාරික කුසලතා දියුණු කරගනී.

එවිට යම්කිසි උසස් අධ්‍යාපනයක් නොලැබූ ඔබට රැකියාවක් සොයමින් නොසිට සමාජයට අවතීර්ණ වී විවිධ කුඩා ව්‍යාපාර කරමින් හා ව්‍යාපාර කරන අය හා එකතු වී ඔබේම ව්‍යාපාරික සිහිනයක් තබා ගන්න. මම කෙදිනක හෝ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙමි, එසේ වීමට නම් මම දැනුම ලබා ගත යුත්තේ කුමන දේවල් ගැන ද සංවර්ධනය කරගත යුත්තේ මොනවාද යන්න ගැන අනෙකුත් අයගෙන් දැනගෙන හෝ සොයාගෙන තමා සතු ව්‍යාපාරික මනස හා ව්‍යාපාරික කුසලතා වර්ධනය කරගත යුතුය. මෙම දැනුම පොතපත කියවීමෙන් වුවද ගත හැකි නමුත් එය සමාජයෙන් ප්‍රායෝගිකව ලබා ගැනීම ඊට වඩා ප්‍රතිඵලදායක වේ.

ව්‍යාපාරයක් කිරීමට අදහස් කරන ඔබ එක විටම විශාල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින්නේ නැතිව පළමුව කුඩා ව්‍යාපාරයක් ආරම්භකර ගමන යාම අරඹන්න. එවිට පියවරෙන් පියවර ව්‍යාපාරික මනස හා ව්‍යාපාරික කුසලතා ගොඩනගා ගනිමින් සාර්ථකත්වය කරා යාමට හැකියාව ලැබේ. අපේ බොහෝ තරුණ පිරිස එක් විට ම ලොකු ව්‍යාපාරයක් කිරීමේ සිහින දකිති. එහෙත් මතක තබා ගන්න, අද නමගිය ව්‍යාපාරිකයන් වූ බොහෝ දෙනෙක් තම ව්‍යාපාරය ආරම්භකර ඇත්තේ ඉතාමත් කුඩා ව්‍යාපාරයකින් බව. එක් රැකයකින් සාර්ථකත්වය අත්කර ගැනීමට හැකියාව නැත. ඒ සඳහා ඉවසීම, උනන්දුව, උත්සාහය මෙන්ම කැපවීම ද අවශ්‍ය වේ.

මේ හැම ව්‍යාපාරකයෙක් ම නැගිටිමින් වැටෙමින් නැවත නැගිටිමින් අද පවතින තත්ත්වය දක්වා පැමිණ තිබේ. ඒ නිසා එක් වරක් ඔබ අසාර්ථක වූ පමණින් ම උත්සාහය අතහැර ගත යුතු නැත. තමා ගැන විශ්වාසය තබාගෙන තම ඉලක්කය හඹා යාම මඟින් සාර්ථක ව්‍යාපාරිකයකු වීමට ඔබට හැකි වනු ඇත.

 

උපදෙස්

ප්‍රවීණ දේශක

මොහාන් පල්ලියගුරු