අපි සැම විටම උත්සාහ කරන්නේ පාරීභෝගිකයින්ට හොඳම දේ ලබා දෙන්නයි

වයඹ හෝල්ඩින්ස් ව්‍යාපාර සමූහයේ කොකෝ සිලෝන් එක්ස්පෝට් ආයතනය වෙතින් නවතම පොල් තෙල් නිෂ්පාදනයක් දේශීය වෙළෙඳපොළට
ඔක්තෝබර් 13, 2021

 

වයඹ හෝල්ඩින්ස් ව්‍යාපාර සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක

- නිලන්ත හේරත්

 

ගුණාත්මක පොල් තෙල් පිළිබඳ අර්බුද රැසක් පවතින වෙලාවක අපේම දේශීය ආයතනයක් සෞඛ්‍යාරක්ෂිත පිරිසුදු පොල් තෙල් නිෂ්පාදනය කරමින් දේශීය පමණක් නොව විදේශීයව ද රටවල් රැසකට අපනයනයට දායක වෙනවා.

ඒ වයඹ හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයයි. එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක නිලන්ත හේරත්, ඔහු ඒ යටතේ පවතින ඇග්‍රෝ ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් සහ කොකෝ සිලෝන් ආයතනයේත් ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔහුගේ නවතම නිෂ්පාදනයන් ගැන තරුණී සමඟ කතා බහකට එක් වුණේ ඒ දැනුම අපේ ගෘහණියන්ට වඩාත් වටින නිසා.

*පසු ගිය කාලයේ පොල් තෙල් සම්බන්ධව අර්බුද රැසක් තිබුණා. ඔබ තුමා අපේ රටේ පිරිසුදු පොල්තෙල් හදන්න පුළුවන් බව ඔප්පු කළා. ඒ නිසා ඔබේ ආයතනය කතා බහට ලක් වුණා..

''ඇත්තෙන්ම වයඹ හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරය 1960 දක්වා දිවෙන ඉතිහාසයක් තියෙන ආයතනයක්. වයඹ ඇග්‍රෝ ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් පවතින්නේත් ඒ යටතේ.  වසර ගණනාවක් පුරාවටම පොල්තෙල් නිෂ්පාදනය කරන සාම්ප්‍රදායික ක්‍රමය බවට පත්වෙලා තිබුණේ කොප්පරා මඟින් පොල් තෙල් නිෂ්පාදනය කිරීමයි. සාදන ක්‍රමය අනුව සමහර පොල්තෙල් සෞඛ්‍යාරක්ෂිත නොවන්න පුළුවන්. කොප්පරා මඟින් පොල් තෙල් සැකසීමේදී නිල් පුස් එහෙමත් නැතිනම් ඇෆ්ලටොක්සීන් නැමති දිලීරය හට ගන්නවා. එය පිළිකාකාරකයක් බව මෑතකදී කරන ලද පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. පොල් ගෙඩියම ගෙන කැබැලි කර වියළා යන්‍ත්‍රානූසාරයෙන් පිරිසුදු පොල් නිෂ්පාදනය කිරීමයි මෙයින් කරන්නේ. මේ ආකාරයට පොල් තෙල් නිෂ්පාදනය කරන විට පොල් ගෙඩියෙන් ලැබෙන පෝෂණ ගුණයට හානියක් වෙන්නෙත් නැහැ. ගුණාත්මක දේ ලබා දෙන නිසයි මේ ආයතනය මෙතරම් දියුණු වුණේ. අපේ පියා තමයි මේ ආයතනයේ ආරම්භ කළේ. ඔහු නිසයි අද අපි මේ තැන ඉන්නේ.

ඒ කියන්නේ මේක පවුලේ ව්‍යාපාරයක්...

''ඔව්. 1960 දී පියා ආරම්භ කළ මේ ආයතනය අද හොඳ තැනක තිබෙනවා. ඔහු විමල් හේරත්. වයඹ හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ මුලින්ම නිෂ්පාදනය කළේ අපනයනය කළ හැකි කොහු. ඒ 1960දී.  ඉන්පසු 1990දී දේශීය වෙළෙඳපොළ සඳහා ඔයිල්මිල්ස් නමින් ආයතනයක් පටන් ගන්නවා පොල්තෙල් නිෂ්පාදනයට. එය කරගෙන යන අතරතුර 1996 දී ජල බෝතල් කිරීමේ කර්මාන්තශාලාවක් ආරම්භ කළා. තව ඔටෝ මාකටින් නමින් ඉදිකිරීම් කටයුතු ආයතනයක් ආරම්භ කළා. එම ආයතනයෙන් කෙරෙන්නේ ව්‍යාපෘති සඳහා බර යන්ත්‍ර සැපයීමයි. විදේශීය වෙළෙඳපොළට පිවිසීමට කොකෝ සිලෝන් එක්ස්ප්‍රස් ආයතනය පටන් ගන්නේ 2013 දී. එහි අපනයනය කරන්නේ නැවුම් පොල්තෙල්. ඒ වගේම 2017 වසරේදී දිසිදි පොල් අපනයනය කිරීමත් ඇරැඹුවා. මේ සියලුම ආයතනවල සභාපතීත්වය සහ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස මා කටයුතු කරනවා. ඒ වගේම මගේ මල්ලි අසංක හේරත් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනවා.''

ඔබ ආ ගමන් මඟ පහසු එකක් නොවෙන්න ඇති.

'' පියා ලොකු කැප කිරීමකින් කටයුතු කරලා ලොකු නමක් හැදුවා. ඔහු හදපු නම ඒ විදිහටම පවත්වාගෙන යන්න මහන්සි වුණා. ඒ වගේම මල්ලි අසංකත් ඒ කටයුතුවලට උදව් වුණා. මම ව්‍යාපාරයට සම්බන්ධ වෙද්දී මට වයස අවුරුදු 21යි. අපි ව්‍යාපාරයටම මුල් තැන දී කටයුතු කළා. හැම වෙලාවෙම බැලුවේ ගුණාත්මක නිෂ්පාදනයක් කොහොමද පරිභෝගිකයන් වෙත ලබා දෙන්නේ කියලා. දැන් අපි රටවල් 35කට පමණ නැවුම් පොල්තෙල්, පිරිසුදු පොල්තෙල් සහ දිසිදි පොල් අපනයනය කරනවා. 

ආයතනයට වයඹ කියන නම දැම්මෙත්  මෙයින් කෙරෙන්නේ පොල් අශ්‍රිත නිෂ්පාදන නිසා. ඒ වගේම පොල් ත්‍රිකෝණය තියෙන්නෙත් වයඹ නිසා.''

වයඹ හෝල්ඩින්ස් සමූහ ව්‍යාපාරයට අයත් අනෙකුත් ආයතන පිහිටා ඇත්තේ කොහේ ද?

''මේ ආයතන ඔක්කොම වගේ තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රිකයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ. ඊට අමතරව අපේ නිෂ්පාදන වෙළෙඳපොළට ලබා දෙන්න 2008 වසරේ සිට වයඹ ඔයිල් ස්ටෝස් නමින් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ වගේම ජල බෝතල් කිරීමේ තවත් කර්මාන්ත ශාලාවක් අනුරාධපුරයේ පවත්වාගෙන යනවා.''

වයඹ හෝල් කර්නල් පිරිසුදු පොල් තෙල් නමින් නවතම නිෂ්පාදනයක් ඔබ පසුගිය දා හඳුන්වා දුන්නා. එම නිෂ්පාදනය, වෙළෙඳපොළේ ඇති අනෙකුත් පොල් තෙල් නිෂ්පාදන අතුරෙන් වෙනස් වෙන්නේ ඇයි?

''එය කොප්පරා වලින් සකසාගත් පොල්තෙල් වර්ගයක් නොවීම, වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍රකර නොමැති වීම, පොල් මද යන්ත්‍රානූසරයෙන් වියළා පොල්තෙල් නිපදවීම විශේෂත්වයයි. එලෙස වයඹ හොල්ඩින්ස් සමූහ ව්‍යාපාරයේ කොකෝ සිලෝන් ආයතනයෙන් නිෂ්පාදනය කරන පිරිසුදු පොල් තෙල් නිෂ්පාදනවල එම ගුණාංග සහිතයි. ඒවගේම පොල් සංවර්ධන මණ්ඩලයේ තරු පහ ලාංඡනය සහිත නිෂ්පාදනයක් වීම, HACCP, ISO22000 ආදී ප්‍රමිති සහතික මඟින් තහවුරු කර තිබීම එහි විශේෂත්වයයි. ඒ වගේම සෞඛ්‍යාරක්ෂිතයි. මේක 100%ක් දේශීය කළමනාකාරිත්වයෙන් යුතු ආයතනයක්. පාරීභෝගිකයින්ට හොඳම දේ ලබා දෙන්නයි අපි සැම විටම උත්සාහ කරන්නේ. මෙහි නිෂ්පාදන කටයුතු කොකෝ සිලෝන් එක්ස්පෝට් ප්‍රයිවට් ලිමිටඩ් විසින් ද බෙදා හැරීමේ කටයුතු වයඹ ඇග්‍රෝ ෆුඩ්ස් ආයතන විසින් සිදු කරනු ලබනවා. මේ ආයතන දෙකම ක්‍රියාත්මක වන්නේ වයඹ සමූහ ව්‍යාපාරය තුළිනුයි. ''