මරණින් මතු සුගතියේ යන බිරින්දෑවරු

දෙසැම්බර් 3, 2018

අප ගිය සතියේ සාකච්ඡා කළා දුගතිගාමි වෙන එසේත් නැත්නම් නිරයට යන බිරින්දෑවරු ගැන. එනිසා ඔබ පවුල් ජීවිතයක් ගතකරන ආදරණිය බිරියක් ලෙස ඔබට යම් බියක් ඇතිවෙන්න ඇති මා තුළත් අඩුපාඩු තිබුණානේ ඒවා ඉක්මනට දුරුකර ගන්න ඕන කියලා.

ධර්ම මාර්ගය තුළ යනවිට තමන්ගේ අඩුව, අඩුව ලෙසම දකිමින් ඒ අඩුපාඩු සකස් කරගන්න ඕන.

අද අප කතා කරන්නේ සුගතිගාමි වෙන බිරින්දෑවරුන් පිළිබඳව යි. ඒ ලක්ෂණ තමා තුළ තිබෙනවානම්, සතුටුවෙන්න ඔබගේ පරලොව ජීවිතය වරදන්නේ නැහැ. ඒ ලක්ෂණ නැතිනම් ඉක්මණින්ම ඒවා හදා ගන්න ඕන. ඔබට මතක ඇති අනේපිඬු සිටුතුමාගේ නිවෙසේ දී අලුත ගෙනා ලේළිය වූ සුජාතා කියන කුල කාන්තාව ඉතා පරුෂ ලෙස කතා කිරීම මුල්කරගෙන ඇයව ගෙන්වා බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය වදාළේ. ඒ සුගතිගාමි වන බිරින්දෑවරු ගැන අද අපි සාකච්ඡා කරමු.

අම්මා වගේ බිරියක්

මෙවැනි බිරින්දෑවරු අදටත් සිටිනවා. ඇයගේ ලක්ෂණ තමයි ස්වාමියාට හිතානුකම්ප යි. අම්මෙක් දරුවෙක් රකිනවා වගේ ස්වාමියා ආරක්ෂා කරනවා. කෑම බීම කැමැති පරිදි සොයා බලා හදලා දෙනවා. ලෙඩක් දුකක් හැදුණොත් ඉක්මණින් පිහිට වෙනවා. ඕන එපාකම් නිරතුරුව සොයා බලනවා. ඒ ආකාරයට පුදුම සෙනෙහසකින් අම්මා කෙනෙක් දරුවෙක් රකිනවා වගේ බලා ගන්නවා. ඒ වගේම සැමියා උපයන ධනය ආරක්ෂා කරනවා. පුරුෂයකුට මෙවැනි බිරියක් සිටිනවා නම්, ඇය මවක් හා සමාන බිරියක්. ඒ වගේම ඇය සිල්වත්නම්, බොහෝ කොට සංවරය වාසය කරනවානම්, ඇය හිතානුකම්පී නම් සුගතිගාමි විය හැකියි. මේ සෑම දෙයට ම සිල්වත් බව ඉතා වැදගත් වෙනවා. සමහර විට ස්වාමියාට ආදරය කරන්න පුළුවන්. අනුකම්පා කරන්න පුළුවන්. ස්වාමියා උපයන ධනය රකින්නත් පුළුවන්. නමුත් ඇය දුස්සීල නම්, සුගතියක් පැන වෙන්නේ නැහැ. සිල්වත් කෙනාට තමයි සුගතියට යන්න පුළුවන් වෙන්නෙ.

සොහොයුරියක් වගේ බිරියක්

දේශනාවේ තිබෙන්නේ බාල නංගි කෙනෙක් තමන්ගේ වැඩිමහල් අයියා කෙරෙහි තියුණු ගෞරවයකින් නම් ඉන්නේ ලැජ්ජා සිතින් නම් ඉන්නේ එලෙස යම් කාන්තාවක සැමියා කෙරෙහි ද එසේ හැසිරෙනවානම්, ඇය සුගතියේ ඉපදෙනවා. අද කෙසේවෙතත් අතීතයේ අප සමාජයේ පවුලක වැඩිමහල් අයියා බාල නැගණියව දුවක් වගේ රැක ගත්තේ. ඒ නංගි අයියාට බොහෝ ම භය පක්ෂපාතයි. ගෞරව කරනවා. කෑම එක බෙදලා දෙනවා. වතුර එක ළඟට දෙනවා. ඇඳුම් සෝදා දෙනවා. ඒ ආකාරයට හරි යටහත්පහත්ව ඉන්නේ.එලෙස බාල සොහොයුරියක් වගේ ඉන්න බිරියක් නම්, ඒ ඇගේ ගුණධර්ම දියුණු කර ගන්න එය හේතුවක් වෙනවා. ස්වාමියා යටතේ සිටිනවා. නැගණියක වගේ ස්වාමියාට සලකනවා. ස්වාමියාට පුළුවන් ඇයව පාලනය කරන්න. ඇය නම්‍යශීලි ගතිගුණ තිබෙන්න බිරියක් නම් ඇය මරණින් මතු සුගතියේ ඉපදෙන බිරියක්.

යෙහෙළියක් වගේ බිරියක්.

ඇය යෙහෙළියක් වගේ ස්වාමියාට ආදරය කරනවා. ඒ බොහෝ කලකින් තමන්ට මුණ ගැසුණ යහළුවෙක් දැකලා සතුටුවන යෙහෙළියක් වගේ. ඒ යෙහෙළිය යහළුවා ගැන සිතන්නේ යම් ආකාරයකට ද ඒ ආකාරයටයි ස්වාමියා දුටුවිට බිරියගේ සිතේ සතුටක් ඇතිවන්නේ. ඒ වගේ මෙත් සිතින් මිත්‍රත්වයෙන් යුතු බිරියක් සිටිනවා නම් ඇය යෙහෙළියක් වන් බිරියකි. ඇය ස්වාමියා දුටුවිට සතුටුවෙනවා පමණක් නොව මනාව සිල්වත්ව වාසය කරනවා. ඒ වගේම මනා පිළිවෙතින් ඉන්නවා. ගෞරවය කළයුතු අයට ගෞරව කරනවා. කළයුතු වත් පිළිවෙත් පුරමින් සිටින බිරියක්. යෙහෙළියක් වගේ බිරියක් සිල්වත්ව ඉහත කරුණු සම්පූර්ණ කිරීම තුළින් ඇය සුගතිගාමි වෙනවා.

දාසියක් වගේ බිරියක්

මැය තමයි භාර්යාවන්ගේ ලෝකයේ අහිංසකම භාර්යාව. ඇය දාසියක් , සේවිකාවක් වගෙයි ජීවත් වෙන්නේ. සමහර දරුණු ස්වාමිවරු සිටිනවා දඬුමුගුරුවලින් පහර දුන්නත්, තරහා සිතක් ඇති කර ගන්නේ නැහැ. අදටත් කලාතුරකින් එවැනි අය සිටිනවා. ඇයට දුෂ්ඨ සිත් නැහැ. ස්වාමියා කරන වරද ඉවසනවා. රණ්ඩුවට පැටලි පැටලි යන්නේ නැහැ. ඇයට බලවත් මෙත් සිත තිබෙනවා. කිසිදු දෙයකට කිපෙන්නේ නැහැ. ස්වාමියාගේ යටතේ ඉන්නවා. යටහත්පහත් බවින් යුක්ත යි. සැමියා ඉක්මවා යන්නේ නැහැ ඇයගේ සිතුම් පැතුම් දාසියක හා සමානයි.

අද සමාජයේ නම් කියයි ඔහොම ඉන්න එපා. වැඩකාරියක් වගේ ඇයි ඉවසන්නේ. මේකට පියරවක් ගන්න.

ප්‍රතිවිරුද්ධව ක්‍රියා දක්වන්න කියලා. නමුත් ඇය මේ ජීවිතයේ දුක ඉවසලා දොලොවම ජය ගන්නවා. කිපෙන්නේ නැතුව සිටියාම මානසික දුකක් නැහැ. ද්වේෂයෙන් කිපෙන විටයි මානසික දුක තිබෙන්නේ. නිතරම දුකට පත්වන්නේ. ඒක කයට පවා දැනෙන විශාල පීඩාවක්.

ස්වාමියා තරහා ගෙන පහර දෙද්දී පවා අභ්‍යන්තර තරහ සිතක් නැත්නම්, ඇයට කායික වෙහෙසක් පමණයි දැනෙන්නේ. මානසික කිසිදු වෙහෙසක් නැතුව ඇය ඉවසනවා. ඇයට බලවත් සුදුසුකමක් ලැබෙනවා. සුගතියේ ඉපදෙන්න. සිල්වත්ව, ඉවසීමෙන් සිටින බිරියක් දාසියකට සමාන ගතිගුණ ඇත්නම් ඇය මරණින් මතු සුගතියේ ඉපදෙනවා කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

මෙහිදී අප සිහිපත් කර ගතයුතු දෙයක් තමයි බිරියක් මේ ලක්ෂණවලින් යුතුව සිට මරණින් පසු සුගතියේ ඉපදෙනවා කිව්වේ මේ බිරින්දෑ කියන චරිතය සතියක් රඟපා ඉවර කරන්න පුළුවන් නැති නිසා. විවාහ වූ දිනයේ සිට මරණට යනතුරුම සමහර විට අවුරුදු 30, 40, 50 වගේ කාලයක් ඇය ගුණ ධර්ම පුරුදු කරනවා. එවිට දවස් දහස් ගණනක් ඇය තුළ ගුණධර්ම වැඩෙනවා. තණ්හාව නැහැ. ඉවසනවා. තරහ ගන්නේ නැහැ. යහපත් පැවතුම් තිබෙනවා. ස්වාමියාට උපස්ථාන කරනවා. අනෙකාගේ යහපතට කැමැතියි. තමන්ගේ ශ්‍රමය අනෙකා වෙනුවෙන් දන් දෙනවා. ඒ වගේම බොහෝ කල් සිල්වත්ව සංවරව ඉන්නවා. එවිට ඇය චරිතය තුළින් ම මෝරනවා. සිත ඒ තුළින් පුළුල් බවට පත්වෙනවා.

ඔබට සිතෙන්න පුළුවන් ස්වාමියා යටතේ සිටින එක හරි පහත් වැඩක් වගේ කියලා. නමුත් ඒ තුළින් ඇගේ සිත මෝරනවා. සිත ඔරොත්තු දෙන සිතක් බවට පත්වෙනවා. ඇය තුළ පෞරුෂයක් ගොඩ නැඟෙනවා. ඒ තුළින් ඇය චිත්ත දියුණුව ලබා සුගතිගාමි වෙනවා කියා භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ සුජාතාවට යි. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ සුජාතාගෙන් අසනවා සුජාතා මේ තමයි බිරින්දෑවරු හත් දෙනා. ඔවුන් අතරින් ඔබ අයිති කුමන බිරියට ද? කියා. එවිට සුජාතා කියනවා “ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම අද පටන් මාගේ ස්වාමියාගේ දාසියක් බවට පත්වෙනවා. දාසියකට සමාන භාර්යාවක් ලෙස මාව පිළිගන්නා සේක්වා කියලා. ඇය ඉතාම වීර්යවන්ත යි. ඒ මොහොත් ම නිවැරැදි වුණා. මඟ පෙන්වන්නෙක් නැතුව සිටින විට කෙනකුට වරදින්න පුළුවන්. ඔබට මේ ලිපියෙන් මඟ පෙන්වන්නෙක් මුණ ගැසුණා. ඒ අවවාදය පිළිපැද්්දොත් අද සිට ඔබගේ ජීවිතයේ අගුණ කිහිපයක් හෝ නිවැරැදි කරගෙන ගුණෙන් වසා ගත්තොත් ඔබට මරණින් මත්තේ සුගතිය වරදින්නේ නැහැ.

ඒ වගේම අංගුත්තර නිකායේ පඨම ලෝකවිජය සූත්‍රයේ පැහැදිලිව තිබෙනවා පතිකුලයට ගිය කාන්තාවක් යහපත් කරුණුවලින් යුක්ත නම්, ඇයට පුළුවන් මෙලොව මෙන්ම පරලොව ජය ගන්න.

මෙලොව පරලොව ජය ගන්නා කත

පඨම ලෝකවිජය සූත්‍රයේ තිබෙනවා යම් දියණියක් විවාහ වී පතිකුලයට ගිය පසු ඇය බොහෝම හොඳින් ඒ නිවෙසේ කටයුතු සොයාබලා සිදු කරනවා. ඒ නිවසේ සේවක සේවිකාවන්ට ඤාති හිත මිතුරන්ට සලකනවා. ස්වාමියාට පි‍්‍රය මනාප ලෙස හැසිරෙනවා. ස්වාමියා උපයන ධනය රකිනවා. ඒ කරුණු බිරියක් තුළ තිබෙනවා නම්, ඇය මේ ජීවිතය සාර්ථක කර ගන්නවා. හොඳ සංවිධානයකින් හොඳ කළමනාකරණයකින් කටයුතු කරනවා.

ඒ වගේම ඇය තමාගේ නිවෙසේ අභ්‍යන්තරයේ සිටින දැසි දස්සන්ට කම්කරුවන්ට ස්වාමියා යටතේ සිටින අයට හොඳින් සලකනවා. ඒ අයගේ කටයුතු සොයා බලනවා. ගිලන් අය රාජකාරියෙන් නිදහස් කරනවා. කෑම බීම සේවකයනට බෙදා දෙනවා. මේවා කරන කාන්තාවගේ මෙලොව ජීවිතය ඉතාම සාර්ථක වෙනවා. ඒ අයගේ පවුල දියුණු වෙනවා. යම් බිරියක් තම ස්වාමියා යම් දෙයකට අමනාපනම් කිසිවිටෙක එය ඉක්මවා යන්නේ නැහැ. ඇය ස්වාමියාට පි‍්‍රයමානප හැසිරෙන කෙනෙක්. ඒ පින තුළින් ඇය සුගතිගාමි වීමට ද හේතු වෙනවා.

අනෙක් කරුණ ස්වාමියා ඉපයු දේ රැක ගන්නවා. ඔහුගේ සියලු දේපොල ආරක්ෂා කරනවා. සොරකම් කරන්නේ නැහැ.ධනය විනාශ කරන්නෙත් නැහැ. ඒ තුළින් ඇයගේ ජීවිතය සාර්ථක වෙනවා. මෙලෙස හොඳ කළමනාකරණයකින් සිටින කාන්තාවට මේ ජීවිතය සාර්ථකවීමට හේතුවෙනවා.

ඒ පවුලේ බිරිය හේතුවෙන් දිනෙන් දින දියුණු වෙනවා. ඇගේ පරලොව ජීවිතය යහපත් වෙනවා. ඒ වගේම ඇය බුදුගුණ හොඳින් දැනගෙන පැහැදි සිටිනවා. සීල සම්පන්න යි. චාග සම්පන්න යි. මසුරුකම දුරු කරලා දානය දීමෙන් සතුටු වෙනවා. දෙන්න පුළුවන් හැම අවස්ථාවකදී ම යමකුට යමක් ධාර්මිකව පරිත්‍යාග කරනවා. ඒ වගේම ප්‍රඥා සම්පන්න යි. ඇය මේ ලෝකයේ හට ගැනීම, නැතිවීම ගැන අවබෝධයකින් යුක්තව සිටිනවා. ඒක පරලෝක ජයග්‍රාහනය පිණිස හේතුවෙනවා.

එනිසා අතීතයේ සිට කාන්තාව විහාරස්ථානය ඇසුරු කොට පෝයට සිල් සමාදන් වුණා. ධර්ම මාර්ගයේ ගමන් කරන උපාසිකාවක් තුළ මේ ලක්ෂණ තිබුණා.

ඒ කාලයේ ස්වාමියා ඉක්මවා ඇය වචනයක් කියන්න බය යි. එය පවක් කියා දන්නවා. ස්වාමියාට තමන් කෑමට පෙර කෑම එක බෙදා තබනවා. වතුර එක ළඟින් තබනවා. ඒක ගෞරවයක් කළයුතු දෙයක ලෙසයි ඇය දැක්කේ. එනිසා ඔබ විෂයය ඉගෙනගෙන නො තිබුණත් මේ ධර්මානූකූල දැනුම තිබෙනවානම් ඔබට මෙලොව මෙන්ම පරලොවත් ජය ගන්න පුළුවන් වේවි.

 

කඩුවෙල

මහමෙව්නා බෝධිඤාණ අසපුවාසී ධම්මාරාම හිමි