ඔබ ඔබට ආදරේ නම්...

දෙසැම්බර් 12, 2018

වැරැදි සහ වැරැදි නැතිදේ කියන වචන දෙක තවත් ආකාරයකට කියනවා නම් හොඳ සහ නරක යි. විවිධ ආගම්වල විවිධ දර්ශනවල විවිධ ආකාරයට මේ පිළිබඳව උගන්වනවා.

ඒ ඒ අය තමන්ගේ ශාස්තෘවරයා කිව්වා කියලා මේවා වැරැදි මේවා නිවැරැදි කියා දරාගෙන සිටිනවා. නමුත් සමහර වැරැදි හා නිවැරැදි පිළිබඳ ආගම් ග්‍රන්ථවල කුමනාකාරයෙන් සඳහන් වී තිබුණත් අපට පෙනෙනවා එය ඒ පාර්ශ්වයට පමණයි වාසිය පිණිස පවතින්නේ. අනෙක් පාර්ශ්වයට ඒක අවාසිය පිණිස පවතිනවා.

එනිසා බෞද්ධයෙක් ලෙස මේ ලැබූ මනුස්ස ජීවිතය දුර්ලභයි කියා සිතන්න. කයින් කරන දෙයට විපාක තිබෙනවා. වචනයෙන් කියන දෙයට විපාක තිබෙනවා. සිතින් සිතන දෙයට විපාක තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ කය, වචනය, සිත පිරිසුදු කරගන්න කියලා. එයට හේතුව තමයි මේක පෞද්ගලික දෙයක්. පිරිසුදුවීමත්, අපිරිසුදුවීමත් පෞද්ගලික දෙයක්. තම තමන් විසින් කළයුතු දෙයක්.

සිත කිළිටු වන්නේ කොහොමද?

අප හිතමු සැමියා බිරිය අතර නිතරම රණ්ඩු ඇතිවෙනවා. එකිනෙකා චෝදනා කර ගන්නවා . නමුත් ඒ වරද තමන් කළේ නැත්නම්, කවදාවත් තමන් කිලුටු වෙන්නේ නැහැ. ඒකට තරහ ගත්තොත් ඇයගෙන් හෝ ඔහුුගෙන් මානසික ක්‍රියාවක් සිදු වෙනාවත් සමඟම කිලුුටු වෙනවා. එසේ නැතිව වෙන කෙනෙක් තව කෙනකුට චෝදනා කළ පළියට කිලිටි වන්නේ නැහැ. ලෝකයාම එක පැත්කක් වෙලා බොරු කතාවක් ගොතලා චෝදනා කරනවා.

නමුත් තමන් වරදක් කරලා නැත්නම් තමන් අපිරිසුදු වන්නේ නැහැ. තවත් කෙනකුට තවත් කෙනෙක් පිරිසුදු කරන්න බැහැ. තමන් පව් කළොත් තමන්මයි කිලිටි වෙන්නේ. තමන් පව් නො කොළොත් තමන් පිරිසුදු වෙනවා. අපි පව් නො කරනවා නම් අපට දුක් විපාක ලැබෙන්නේ නැහැ. පින් කළොත් සැප විපාක ලැබෙනවා. පිරිසුදුවීමත්, අපිරිසුදුවීමත් පෞද්ගලික වන්නේ ඒ නිස යි. යහපත් දේත්, අයහපත් දේත් විපාක තිබෙනවා.

එනිසා කරන කායික ක්‍රියා, කතා කරන වචන, හිතන සිතිවිලි ගැන ලොකු වගකීමක් තමන්ට තිබෙනවා. තමන්ට ආදරේ නම් තමන් ඒක කරන්න ඕනෙ. ඒ වගේම තව කෙනකුට ආදරේ නම් ඒ අය අපිරිසුදු වචන කියන්න පොලඹවන්නේ නැතිව, කායික ක්‍රියා වරදන්න ගන්න පොලඹවන්නේ නැතිව, නරක සිතිවිලි සිතන්නට පොලඹවන්නේ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන. ඒක තමයි ලෝකය ගැන දන්න සත්පුරුෂයෙකුගේ මෛත්‍රිය වන්නේ.

කරුමයට මුණ ගැසුණානම්. . .

සැමියා බිරිය අතර නිතර අමනාපකමක් ඇතිවෙනවා නම් එතැනදී අනෙක් පාර්ශ්වයට අපි චෝදනා කරනවා “මමයි හරි ඔයා වැරැදියි. මට ඔයාව මුණ ගැහුණේ මගේම කරුමෙට” කියලා. ඒක සාධාරණ නැහැ. මෙතැන දී බලන්න ඕන තමන්ගේ අඩුපාඩුවක් නිසා නම් ප්‍රශ්නය තිබෙන්නේ ඒක කරුමය නොවේ. එයට හේතුව තමන්ගේ තිබෙන නරක කායික ක්‍රියා යි.

අප ළඟට විවාහක දෙපළක් පැමිණ ඔවුන්ගේ ප්‍රශ්නයක් කිව්වා.ඒ සැමියා කියන්නේ ඒ බිරිය නිතරම ඔහුගේ වැරැද්දක්මයි දකින්නේ. මොනවා කළත් වැරැදියි.

තමන් හරි අනෙක් කෙනා වැරැදියි කියා තමයි දකින්නේ. දැන් විවාහ වෙලා වසර හයක් පමණ වෙනවා. ඒ බිරියගේ මේ කියවිල්ල ඒ සැමියාට දැන් එපාම වෙලා.

ඒ ගැන බිරියගෙන් විමසද්දී ඇය කියන්නේ මේක මගේ කරුමය කියලා. නමුත් සැමියාත් සමග කතා කරල බලනකොට ඇයගේ ක්‍රියාවෙන් තමයි ඇය පාඩුවක් විඳින්නේ.

මේ ජීවිතයේ කළ කර්මය මේ ජීවිතයේදී ම විපාක දීලා. එය අතීතයේ පෙර කළ කර්මයක් විපාක දීලා නොවේ. තමාගේ අඩුපාඩු හදා ගන්නේ නැතුව ඒක මගේ කර්මය කියන්න බැහැ.

නමුත් තමන් අඩුපාඩුවක් නැතිව හොඳින් ජීවත් වෙද්දීත් තමන්ට නිරන්තරයෙන් දෙවැනි පාර්ශ්වයකින් පීඩාවක් එනවා නම් එතකොට තමාගේ හිත ගැටෙන්නට නො දී මේක මගේ කර්මයක් දෝ කියලා හිතන එක ධර්මානුකූල යි. ඒකත් හිතන්න ඕනෙ තරහෙන් නොවේ. නැත්නම් “මේක නම් මගේ පෙර අකුසලයක්, මගේම කරුමේ, කවදාදා මම මේකෙන් නිදහස් වෙන්නේ” කියලා ද්වේෂයෙන් නිතරම කියවන්න ගත්තොත් අවබෝධයෙන් තේරුම් ගෙන කියන දෙයක් නොවේ. එය කෙනෙක් ද්වේෂය පිටකරන එක් ආකාරයක් පමණ යි. නැත්නම් කර්මය කියා සිතන්න ඕනෙ ආකාරය උපේක්ෂා භාවනාවේ තිබෙනවා. “මම කර්මය දායාදය කරගෙන ඉන්න කෙනෙක්. මගේ දෑවැද්ද වගේ ළගින් තිබෙන්නේ කර්මය යි. උප්පත්ති ස්ථානය කර්මය යි. ඥාතියා වගේ ඉන්නේ කර්මය යි. කර්මය පිහිට පිළිසරණ කරගෙනයි ඉන්නේ. යම් කර්මයක් කරනවානම් හොඳ හෝ නරක හෝ ඒ තමයි මට දායාදය ලෙස තිබෙන්නේ කියා” හිතන්න කියනවා. එවිට ද්වේෂ සහගත හැඟීම් නැතිවෙලා යනවා. එසේ නැත්නම් හිතන්න එයා කරන දේ එයාට යි. මම කරන දෙය මටයි කියලා. එයිනුත් ද්වේෂය දුරු වෙනවා.

වචනය රැක ගන්න

තමාගේ සැමියාගේ හෝ බිරියගේ වැරැදි තිබෙනවා කියලා හිතන්න. ඒ ගැන පුපුර පුපුරා ඇව්ස්සිලා හිතන වාරයක් පාසා සිද්ධිය කොතරම් සාධාරණ වුණත් අකුසල් රැස් වෙනවා. මොකද චේතනාව මුල් කරගෙනයි පව් රැස් වෙන්නේ.

ඒ වගේම වචනය කියනවා. එක්කෝ මුණටම බණිනවා. නැත්නම් වෙන කෙනෙක් සමග කිය කියා බණිනවා. නැත්නම් තමන් තනිව බණිනවා. ඒ සියලු දේ නිසා වචනයෙන් පව් රැස් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ චේතනා සමඟ සිත පටු වෙන නිසා.

චේතනාව මුල් කරගෙන කියන වචන ඒවා. කායිකවත් කුමක් හරි කරනවා. කායිකවත් පව් සිදුවෙනවා. වැරැද්ද තිබෙන්නේ තමන්ගේ නොවේ. වැරැද්ද අනෙක් කෙනාගේ. නමුත් පව තමන්ට සිදුවෙනවා.

අපේ සමාජයේ කතාවක් තිබෙනවා සර්ප පැටියා පොඩි වුණත් ලොකු වුණත් මරලා දාන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ සර්පයා කියා සැළකුවේ මේ අභන්තර කෙලෙස්වලට යි. ක්‍රෝධය සර්පයෙක්.

ක්‍රෝධය නසා දාන්න ඕන. සර්පයා හැව ඇර දානවා වගේ හිතේ තිබෙන ළාමක අකුසල් අත හරින්න කියා වදාළා. වචනය ඉස්සර කරගෙන කො තරම් විපාක විඳින්න වෙයි ද? කියා අපේ බෞද්ධ ජනතාව අතර තිබෙන දැනුම ඉතා අල්පයි.

අප දන්නවා බුදුරජාණන් වහන්සේට දේවදත්ත කොතරම් කෙනෙහිලිකම් කළා ද? එයින් දේවදත්ත තෙරුන් පව් කර ගත්තා. බුදුරජාණන් වහන්සේට නිතරම අසාධාරණයක් වුණේ. නමුත් උන්වහන්සේගේ හිත ඇවිස්සුණේ නැහැ.

එනිසා ශාස්තෲන් වහන්සේගේ බුද්ධ දේශනාවල අපව රවට්ටන්න කිසිම වචනයක් නැහැ. මේ ආකාරයටයි කර්ම විපාක ලැබෙන්නේ. මේ ජීවිතයේ යහපත කළානම්, යහපත් විපාක ලැබෙනවා. අයහපත කළොත් අයහපත් විපාක ලැබෙනවා.

පින් තිබෙන සත්ත්වයෙක් මවු කුසක පිළිසිඳ ගන්නවා කියා සිතන්න. ඒ දරුවාගේ පිනට මවුපියන්ට හැම දේම ලැබෙනවා. ඔවුන් ඒ දරුවා පිළිගන්න සැරසෙනවා. අලුතෙන් තොටිලි ගන්නවා. සැර නැති තීන්ත ගානවා. කාමර සරසනවා.

ඇඳුම් මහනවා. මේ ඒ මවුපියන් ඇසින් දැක නැති වෙනත් ලෝකයකින් එන සත්ත්වයකු සඳහායි එසේ කරන්නේ.

ඒ වගේම තවත් දරුවෙක් මවගේ කුසට ආ විට මවුපියන්ට තිබූ ටිකත් නැති වෙනවා. පාරේ පේමන්ට් එකේ සීතලේ උපදිනවා. ජීවත් වෙනවා. ඒ සත්ත්වයාට තිබුණානේ පෝසත් පවුලක මවගේ කුසේ පිළිසිඳ ගන්න.

නමුත් කර්ම ස්වභාවය අනුව එසේ කරන්න බැහැ. කර්මය ගෙවිය යුතු ආකාරට ඒ සියල්ල සැකසෙනවා.

එනිසා තමා කළ කර්මයක් වේද, එය තමා විසින්ම ගෙවිය යුතු වෙනවා. සිතින්, කයින්, වචනයෙන් හොඳ දේ කළ විට හොඳ කර්මත්, සිතින්, කයින්, වචනයෙන් නරක දේ කළ විට නරක කර්මයත් අප පසු පස ලුහුබැඳ එන බව නම් ඒකාන්ත සත්‍යක්ම යි.

කඩුවෙල- මහමෙව්නා බෝධිඤාණ භාවනා අසපුවාසී

කුරුණෑගල ධම්මාරාම හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.