පින් දහම් කරන්න සිත ඇත්නම්... සල්ලි කුමට ද දරුවනේ...

අනුශාසනාව රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කතරගම අභිනවාරාම මහා විහාරාධිපති ශාස්ත්‍රපති, පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමි
දෙසැම්බර් 26, 2018

කලාතුරකින් කෙනකුට ලැබෙන සුවිශේෂී කරුණු තුනක් දැන් අපට ලැබී තිබේ. එනම් උතුම් මිනිසත් බවත්, ගෞතම බුදු සසුනත්, ධර්මාවබෝධය පිණිස ඇති කරගත් ශ්‍රද්ධාවත්ය. යම් කෙනෙක් තුළ මෙකී කරුණු තුන ඒකරාශි වූයේ නම්, එය හඳුන්වන්නේ ක්ෂණ සම්පත්තිය නමිනි.

ක්ෂණ සම්පත්තිය නම් වූ අතිශයින්ම දුර්ලභව ලද මෙම මොහොත ඉක්ම යන්නට පෙර මෙයින් අත්පත් කරගත හැකි උතුම් පිළිසරණ සලසා ගත යුතුය.

ක්ෂණ සම්පත්තිය අහිමි වූ බොහෝ සත්ත්වයන් සසර දුකට ඇද වැටෙන්නේ සතර අපායෙහි උපත ද උරුම කරගනිමිනි. එබැවින් නුවණැති මිනිසා විසින් තමා උදෙසා කළයුතු වැදගත්ම මෙහෙවර නම් සතර අපායෙන් එතෙර කරවන ධර්මයට පැමිණීමයි.

ඒ සඳහා පින් කිරීමට උනන්දු වීමත් යහපතකි.

අපේ හාමුදුරුවනේ, වර්තමාන සමාජයේ බොහෝදෙනා පින් කිරීමට කැමැතියි. එසේ වුවත් ඒ සඳහා මුදල් නොමැතිකමත් ඇතැම් අයකුට තවත් ගැටලුවක්. මේ තත්ත්වය මත 'සල්ලි නැත්නම් පින් කරන්නත් බැහැ' කියන සිතිවිල්ල අපේ ඇත්තන්ට ඇති වෙනවා. පින්වත් ඔබ වහන්සේ මේ පිළිබඳ ධර්මානුකූලව පහදා දෙනු මැනවි.

පින්වත්නි, අප ලොව්තුරා අමා මෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කළ පරිදි 'චේතනාහං භික්ඛවේ කම්මං වදාමි'

සෑම ක්‍රියාවකටම චේතනාවයි ඉතා වැදගත්. 'අනේ අපට පින් කරන්න කොහෙන්ද සල්ලි? කිසියම් කෙනෙක් මෙහෙම කියනවා නම් ඒ සිතිවිල්ල පවා බුදු දහමට පටහැනියි.

බුද්ධ කාලයේ සුමන කියන මල්කරුවෙක් හිටියා. හෙතෙම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිතව පැහැදුණ අයෙක්. දිනක් බුදුරජාණන් වහන්සේ වඩින විට දී බුදුන් වෙත පූජා කිරීමට කිසිවක් නොවූ හෙයින් අතේ තිබූ මල් ටික පූජා කළා. ඔහු මෙලෙස පූජා කළේ රජතුමාට පිළිගැන්විය යුතු මල්. අද මා රාජ උදහසට ලක්වෙනවා. රජු මට මරණ දඬුවම දෙයි. මෙසේ සිතමින් යන සුමන මල්කරු රජතුමාට සත්‍ය ප්‍රකාශ කිරීමට සිතා ගත්තා.

රජතුමනි, ඔබට වෙන් කළ තිබූ මල් මා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළා. ඉන් මා බුද්ධ ආශිර්වාදය ලැබුවා. මගේ සිතත් ගතත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පසුවෙනවා. එහෙත් රජතුමනි ඔබ වහන්සේ මා හට කැමැති දඬුවමක් දෙනු මැනවි. මල්කරුවා මෙලෙස යටහත් පහත්ව කී නමුත් රජු සැදැහැ සිතින් මේ පිළිබඳ විමසා සිටියා. දිට්ඨ ධම්මවේදනීය කර්මයේ පරිදිම මල්කරුට රජු මහා සම්පත් දීලා යුව රජකම පවා ලබා දුන්නා.

මනසේ ශක්තිය

මේ කතා පුවතින්ම වැටහෙනවා පින් දහම් කිරීමට මුදල් වැය කරන්නටම අවශ්‍ය වන්නේ නැහැ. හැම විටම මූලික වන්නේ සිතයි. මනස ශක්තිමත් නම් මනස පිරිසුදු නම් ඔබ මලක් පූජා කළත් ඉන් මහත් ඵල මහානිශංස ලැබෙනවා.

පින්වත් ඔබට දැන් වැටහෙනවා ඇති පින්කරන්න සල්ලි නැතිව බැහැ කියන්නෙ වැඩකට නැති සිතිවිල්ලක් පමණක් බව. අපි සරලව සිතුවොත් සීලයක් සමාදන් වී ඒ සීලය ආරක්ෂා කරනවා නම් ඒ සඳහා මුදල් අවශ්‍ය නැහැ. එයින් විශාල පිනක් රැස්වෙනවා. සීලය ආරක්ෂා කිරීම සීලමය පුණ්‍යකර්මයක්. සල්ලි තිබෙන පිරිසට පමණක් පින් දහම් කරන්න පුළුවන් නම් පින ධනවාදී එකක්. එහෙත් පින් කියන්නේ ධනවත් අයට පමණක් අයිති දෙයක් නොවෙයි. පින නිර්මාණය වන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුළින්. යම් කෙනෙක් කියනවා නම් පින් කරන්න සල්ලි ඕනෙ කියලා ඇත්තෙන්ම ඒ තැනැත්තා සම්මා දිට්ඨියවත් නැති කෙනෙක්.

ශීලය රකින්නෙ සල්ලිවලින්ද?

පංච සීලය ආරක්ෂා කරන්න, පෝය දිනට අෂ්ඨාංගික උපෝසථ සීලය සමාදන් වී එය ආරක්ෂා කරන්න. භාවනා කරන්න මුදල් වැය වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිනේ උසස් ම දේ ලෙස මෛත්‍රී භාවනාව පෙන්වා දී තිබෙනවා. එයට සතයක්වත් වියදම් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන්නේ උත්සාහය, වීර්යය, උනන්දුව ආදී තමා තුළින්ම උපදවා ගත යුතු දේ පමණයි. එබැවින් පින් දහමේ කිරීමට මුදල් අවශ්‍ය යැයි කියන කරුණ සම්පූර්ණයෙන්ම වැරැදි සහගතයි.

චේතනාව

තවත් වැදගත් කරුණක් තමයි යමෙක් ප්‍රසිද්ධිය උදෙසා යම් දානමාන, පින්කම් කරයි නම් ඒවා කිසිදු පලක් නොවන බව. පිරිසුදු චේතනාවෙන් තොරව කළා වු පින්කම් ඵල රහිතයි. පින්කම් සිදු කරන විට අවස්ථා තුනක් වැදගත්. ආරම්භක අවස්ථාව, පින සිදු කරන අවස්ථාව, අවසාන අවස්ථාව වශයෙන්. මේ අවස්ථා තුනේදීම ශ්‍රද්ධාව රැඳී තිබිය යුතුය. සමහර අය ප්‍රසිද්ධිය උදෙසා පින් කරනවා. එය ඵල රහිතයි.

ඔබ කවුරුත් අසා තිබෙනවා අනේපිඬු සිටුතුමා ගැන. බුදුරජාණන් වහන්සේ සහ බුද්ධ ශාසනය කෙරෙහි බොහොම ශ්‍රද්ධාවක් තිබු සිටුවරයෙක්. මේ සිටුතුමා තමයි ජේතවනාරාමය තනවා පූජා කළේ. ඒ සිද්ධිය හරිම අපූරුයි. පින්වත් ඔබට ශ්‍රද්ධාව ගැන යම් අවබෝධයක් ලැබීමට මා එය කෙටියෙන් සඳහන් කරන්නම්.

අනේපිඬු සිටුතුමා ආරාමයක් තැනීමට ජේත කුමාරයාගෙන් ඉඩමක් ඉල්ලා සිටියා. අබෞද්ධයෙක් වූ ජේත කුමාරයා බුද්ධ ශාසනය උදෙසා ඉදි කරන ආරාමයකට කහවණුවලටවත් ඉඩමක් ලබාදීමට අකැමැති වුණා. උත්සාහය අත්නොහැරී අනේපිඬු සිටුතුමාගෙන් බේරීමට උපක්‍රමයක් යෙදූ ජේත කුමාරය කියා සිටියේ රන්කහවණුවලින් ඉඩම පිරවුවහොත් ඉඩම ලබා දෙන බවයි. බුද්ධ ශාසනය වෙත ඉමහත් ශ්‍රද්ධාභක්තියක් ඇති අනේපිඬු සිටුතුමා මේ ඉඩම කහවණුවලින් පෙරවූවා. 'මේ තරම් නොවටිනා ඉඩමක් කහවණුවලින් පිරවූයේ ඇයිදැයි' විස්මයට පත් ජේත කුමාරයා අනේපිඬු සිටුතුමාගෙන් අසා සිටියා.

නම ගැන හිතලා...

මා බුදුරජාණන් වහන්සේ වෙතත් සම්බුද්ධ ශාසනය වෙතත් පැහැදුණු සිතක් ඇත්තෙක්. ඒ වෙනුවෙනුයි මෙහි ආරාමයක් තැනීමට ඔබෙන් ඉඩම ඉල්ලා සිටියේ යැයි කරුණු පහදා දුන්නා.

ලෝභ, දෝෂ, මෝහය අත්හරිමින් ඉඩම ලබාගත් සිටුතුමා තම නමවත් නොදමා ජේත කුමාරයාට ගෞරවය පිණිස ජේතවනාරාමය යැයි විහාරයට නම තිබ්බා.

වර්තමානයේ පුද්ගලයන් සුළු දෙයක් පරිත්‍යාග කොට නම බබළාවන්න දරන වෑයම ඔබ හොඳින් දන්නවා. එහෙත් ඒ මානසිකත්වයෙන් අත්මිදෙන්නට අවශ්‍යයි. ප්‍රසිද්ධිය උදෙසා යමක් කරයි නම් එතන පිනක් රැස්වන්නේ නැහැ. ශ්‍රද්ධාවක් පිහිටන්නේ නැහැ.

"ශ්‍රද්ධා බීජං තපෝ උට්ඨ..." ශ්‍රද්ධාව තමයි අපේ ජීවිතයේ බීජය බවට පත්විය යුතු වන්නේ. එය සැබෑ මනුෂ්‍යත්වය පිළිබිඹු කරවනවා.

ලෝභ සිත් උපදවා

ඇතැම් විට යමකුට යමක් ලබා දී ඒ ගැන ලෝභ සිතින් නැවත නැවතත් මෙනෙහි කරනවා. එය නොකළ යුත්තක්. විශේෂයෙන් ගිහි පින්වතුන් භික්ෂුවකට යමක් පූජාකර මෙය ඔබ වහන්සේම පරිහරණය කරන්න යැයි ඉල්ලීමක් ද කර සිටිනවා. එය එසේ කිවයුතු දෙයක් නොවෙයි. දානයක්, පින්කමක් කළායින් පසුව මෙලෙස සිතීමෙන් ඔබට ඉන් නියම ආනිසංශය හිමිවන්නේ නැහැ. සෑමවිටම ශ්‍රද්ධාව මුල් වූ සිතින් යමක් කරන්නට, කියන්නට උත්සාහගන්න. එයින් ලැබෙන පින දෙලොවටම සතුටු කරන්නට සමත් වේ.

පින කියන දේ පිළිබඳ ඔබ එතරම් නොසිතුවාට එය කිරීම හරිම සරලයි. ඔබ කාර්යාලයක සේවයේ නියුතු අයකු ලෙස සිතන්න. ඔබෙන් සේවය ලබාගන්න විවිධ පුද්ගලයන් ඔබ වෙත එනවා. ඔවුන්ට හොඳ සිතින් ඒ කාර්යය ඉෂ්ඨ සිද්ධ කරදීමෙන් ඔබ නොසිතනා තරමේ මහා පිනක් ඉන් අත්පත් වෙනවා. එය විශාල පරිත්‍යාගයක් බවටත් පත් වෙනවා. පින තියෙන්නෙ චෛත්‍ය රාජයාණන් වහන්සේ, බෝධීන් වහන්සේ ළඟ කියා හිතන්නට එපා. පින ඇත්තේ ඔබේ හදවත තුළමයි. එය ඉස්මතු කර ගන්නට අපේ ඇත්තන් වගබලා ගන්නට ඕනෙ.

අනුන් කෙරෙහි කාරුණික හදවතක් ඇති කර ගන්නේ නම් කුමන තරාතිරමක හිටියත් ඔබ මහා පින්වතෙක්. එවන් හදවතකට පින්කරන්නට මුදල් අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ සිතිවිල්ල, ක්‍රියාව මතයි පින පිහිටන්නේ.

සම්බන්ධීකරණය - උපාලි ජයරත්න