ව්‍යාපාරයක දියුණුව ගැන බුදුදහමින් විග්‍රහයක්

ජනවාරි 2, 2019

ව්‍යාපාරයක් සාර්ථක වීමට ඔහුගේ හෝ ඇයගේ පුණ්‍ය ශක්තිය බොහෝ විට බලපානවා. නමුත් සියල්ල ම පින මතම තීරණය වෙනවා කියා බුද්ධ දේශනාවේ සඳහනක් නැහැ.

අංගුත්තර නිකායේ වනිජ්ජා සූත්‍රයේ දී සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අසනවා ස්වාමිනි, මේ ලෝකයේ ඇතැම් අය ඉන්නවා ඔවුන් ව්‍යාපාරයක් පටන් ගන්නවා. පටන්ගත් තැනම බංකොලොත් වෙනවා. ඒ වගේම තව කෙනකු ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඔහු බලාපොරොත්තු වූ තරමට එය දියුණු වන්නේ නැහැ. එදිනෙදා යැපීම පිණිස ප්‍රමාණවත්. තවත් සමහර ව්‍යාපාර තිබෙනවා බලාපොරොත්තු වූ ආකාරයට ම දියුණු වෙනවා. ඒ වගේම තවත් සමහර ව්‍යාපාර ඒ අය බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් ඉතාමත් දියුණුවෙන් දියුණුවට පත්වෙනවා.

දෙන දේ ලැබෙනවා

ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළා සාරිපුත්ත, කෙනෙක් පෙර ජීවිතයේදී ශ්‍රමණ (පාපී අකුසල ධර්මයන් සමනය කරන) බ්‍රාහ්මණවරු (පාපී ධර්මයන් බැහැර කරන) මේ සිල්වත්, ගුණවත් උතුමන්ට ස්වාමිනි, අඩුපාඩුවක් තිබෙනවා නම් පවසන්න කියා කියනවා. උන්වහන්සේලා අවශ්‍ය දේ කීවාට පස්සේ පොරොන්දු වී එය නොදී අමතක කරනවා.

මඟ අරිනවා. අර සිල්වතුන් ඒ දේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් ලැබෙන්නේ නැහැ. එහි විපාකය තමයි නැවත මනුස්ස ජීවිතයක් ලබා යම් දිනක ව්‍යාපාරයක් පටන් ගත්විට එතැනම බංකොලොත් වෙනවා.

දෙවැනි පුද්ගලයා ඒ සිල්වතුන් අසලට ගොස් කියනවා ස්වාමිනි, මට කියන්න, යමක් පවරන්න මම ඉටු කරන්නම් කියලා. සිල්වතුන් ඔවුන්ට අවශ්‍ය දේ කියනවා.

එවිට යම් ප්‍රමාණයකට ඉතා සුළුවෙන් ඒ දේ දෙනවා. ඔහු මතු දිනක ව්‍යාපාරයක් පටන් ගත්තොත්, යන්තමට තමයි ලැබෙන්නේ.

තුන්වැන්නා සිල්වතුන්ට පොරොන්දු වූ ආකාරයට ම දෙනවා. ඔහු යම් දිනක ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඔහු බලාපොරොත්තු වූ ආකාරයට ම ව්‍යාපාරය දියුණු වෙනවා.

හතරවැනි පුද්ගලයා ඒ උතුමන්ට පොරොන්දු වූවාටත් වැඩියෙන් හිතා ගන්න බැරි, පුදුමයට පත්වන, හිත පිනායන ආකාරයට දෙනවා. යම් දිනෙක ඔහු ව්‍යාපාරක් පටන් ගත් පසුව තමන්ටත් හිතා ගන්න බැරි ආකාරයට ව්‍යාපාරය දියුණු වෙනවා. එය වනිජ්ජා සූත්‍රයේ තිබෙන දහම් පරියාය යි. එයින් අපට කර්ම විෂයය පිළිබඳව අදහසක් ගන්න පුළුවන් ඇයි හැමෝටම ව්‍යාපාර කරලා දියුණුවක් කරා යන්න බැරි කියලා.

අංගුත්තර නිකායේ දෙවැනි පොත් වහන්සේගේ තවත් දේශනාවක් තිබෙනවා ඵලුපජීවි සූත්‍රය නමින්.

2019/01/02 තරුණි පුවත්පත බලන්න.