සියලු සතහට සෙත සලසන අංගුලිමාල පිරිත

ජනවාරි 23, 2019

අංගුලිමාල පිරිත පිළිබඳව එදා සිට අද දක්වාම සමාජයේ පිළිගැනීමක් පවතිනවා. නමුත් එම පිරිත පිළිබඳව මිථ්‍යා මත මෙන්ම අංගුලිමාල පිරිත තේරුම් ගැනීමේ යම්කිසි අඩුවකුත් සමාජයේ තිබෙන බව පෙනෙනවා.

පිරිත යනු කුමක් ද?

පිරිත කියන්නේ කුමක් ද? කියා අටුවාචාරීන් වහන්සේලා අරුත් ගන්වා තිබෙන්නේ හාත්පස ආරක්ෂාව, රැකවරණය සදනවා කියන අදහස යි. පිරිත කියන්නේ බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළ දහම් කොටස්. ඒ දහම් කොටස්වලින් අපට ආරක්ෂාව, රැකවරණය ආකාර කිහිපයකින් සැලසෙනවා. එකක් තමයි පිරිතේ සත්‍යානුභාවය. බුද්ධ දේශනාව තුළ තිබෙන්නේ සත්‍ය පමණයි. හිස් වචන, ප්‍රලාප, බොරු, මිථ්‍යා මත එකක්වත් ඒ තුළ නැහැ. එනිසා ඒ සත්‍ය වචනයෙන් සත්‍ය බලය ලෝකයට සංවේදී වුණා. ඒ තුළ තිබෙනවා සත්‍ය ක්‍රියාවේ බලයක්. මෛත්‍රියත්, සත්‍ය ක්‍රියාවත් මේ පිරිත තුළ තිබෙන බව මූළධර්මවල සඳහන්ව තිබෙනවා. එසේ නැතිව පිරිතේ ගණ පිහිටුවීමක් නැහැ. ඉතිං ඒ සත්‍යානුභාවයෙන් පුදුමාකාර ආරක්ෂාවක් රැකවරණයක් අතීතයේ සිට බෞද්ධ ඉතිහාසය තුළ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සලසාගෙන තිබෙනවා. සිව්වනක් පිරිසටම ආරක්ෂාව පිරිතෙන් සැළසෙන බව ආටානාටිය පිරිතෙන් අනුමත කළා. ධඡග්ග පිරිත අනුමත කළා. අතීත බෞද්ධයා අහිංසාවාදී ජාතියක් ලෙස හැම කටයුත්තක දී ම ලෙඩකට, දුකකට, ගොවිතැනට, ගමනක් බිමනක් යනවිට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී බියක් තැතිගැනීමක් ඇතිවන හැම තැනදීම පිරිත භාවිත කරලා සුවපත් වෙලා තිබෙනවා.

අංගුලිමාල පිරිතෙන් පිහිට ලබන හැටි

අංගුලිමාල පිරිත සම්පූර්ණයෙන්ම සත්‍යය ක්‍රියාවක්. අංගුලිමාල ස්වාමින් වහන්සේ ගිහි කාලයේ අහිංසක. ඔහු ඉපදුන දවසේ ආයුධ දිළිසුනා. අතීතයේ බලවත් පුණ්‍ය බලයක් එකතු වී තිබුණ ජීවිතයක්. ඒ වගේම ඔහුට පාප මිත්‍ර ඇසුරෙන් නො මග යන්නට විශාල අවකාශයක් තිබූ චරිතයක්. ආප මිත්‍ර ඇසුර නිසා අහිංසක අංගුලිමාල බවට පත් වුණා. නමුත් අභ්‍යන්තර පුණ්‍ය සම්භාරය නො නැසී තිබුණා. අම්මා මරා ආනන්තරීයපාප කර්මයක් කරගන්නට යන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මහ වනයට වැඩමකර අංගුලිමාල නතර කළා. අංගුලිමාල බුදු සසුනේ පැවිදි වුණා. නමුත් අංගුලිමාල තෙරුන් පිණ්ඩපාතේ වඩිනවිට මිනිසුන් ගල් ගහනවා. ගසකට ගසන පොලු පවා ඇවිත් උන්වහන්සේගේ හිසේ වැදුණා. තුවාල වුණා. පාත්‍රය බිඳුණා. උන්වහන්සේට මිනිසුන් බොහෝ සේ නින්දා අපහාස කළා. දානය නොදී සිටියා. අංගුලිමාල සූත්‍රය තිබෙන මජ්ක්‍ධිම නිකායේ අට්ඨකතාවේ මේ විස්තරය පැහැදිලි සඳහන් වෙනවා. ඉතා දුෂ්කරව උන්වහන්සේ ජීවිතය ගත කළේ. නමුත් උන්වහන්සේ ඉවසුවා. භාවනාවට වාඩි වුණාම සිහිපත්වුණා මිනිසුන් මරපු හැටි. දරුවෝ කෑ ගැසූ හැටි.

ජීවිතය රැකලා දෙන්න කියලා මිනිසුන් නගන විලාප උන්වහන්සේගේ හිතේ දෝංකාරය දුන්නා. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් අවවාද කළා. ටික ටික හිත දමනය වුණා. නිකෙලෙස් වුණා.

දිනක් පිණ්ඩපාතේ වඩිද්දී අම්මා කෙනෙක් වේදනාවෙන් දරු ප්‍රසූතියේ දී දරුවා හිරවෙලා කෑ ගසන ශබ්දය උන්වහන්සේට ඇසුණා. සංවේගයට පත්ව ඉක්මණින් භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියා.

‘ස්වාමිනි , අර මෑණියන්ට පිහිට වෙන්න බැරිද?’ ඉතා දරුණු සිතක් තිබුණු අංගුලිමාල තෙරුන්ට කරුණා සිත පහළ වුණා. බුදුරජාණන් වහන්සේ වදාළා ‘අංගුලිමාල ඔබ සත්‍ය ක්‍රියාවක් කරන්න’. ‘අනේ ස්වාමිනි, කොහොමද ඒක කරන්නේ?’ ‘මම ඉපදුන දවසේ පටන් සතෙක් මැරුවේ නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍යයෙන් මේ මෑණියන් සුවපත් වේවා!’ කියලා. ‘අනේ ස්වාමිනි, මේ මගේ අත්වල ලේ තැවරී තිබුණේ. මම අවි ආයුධ අරගෙන සිටියේ. මම කොහොමද එහෙම සත්‍යක් ක්‍රියාවක් කරන්නේ?’. ‘අංගුලිමාල ඔබ එහෙමනම්, මම සිවුර ඇඟ දවටාගෙන ආර්ය ජාතියේ ඉපදුන දා පටන් දැන දැන ප්‍රාණියෙකුගේ ප්‍රාණය තොර කළ බවක් දන්නේ නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍යයෙන් ඔබ සුවපත් වේවා! ඔබගේ දරු ගැබද සුවපත් වේවා!’ කියා සත්‍යක් ක්‍රියාවක් කරන්න කිව්වා. ස්වාමින් වහන්සේ එය මතකයේ දරා ගෙන ඉක්මනින් අර මෑණියන් අසළට ගොස් කියනවා “පින්වත් නැගණියනි, ආර්ය ජාතියේ මම ඉපදුනේ යම් දිනකද, එදා පටන් මේ මොහොත දක්වා දැන දැන ප්‍රාණියෙකුගේ දිවි තොර කළ බවක් මම දන්නේ නැහැ. ඒක සත්‍යයක්. ඒ සත්‍යයෙන් ඔබට ඔබගේ දරු ගැබට සෙත් වේවා! කියා අවසන් කරද්දීම අර මෑණියන් සුවසේ දරුවා ප්‍රසූති කළා.

 

පිරිතෙන් උවදුරු දුරු වුණා

මේ කතාව කටින් කට සැවැත්නුවර පුරා පැතිරි ගියා. මිනිසුන්ගේ ගල්මුල් ගැසීම, නින්දා අපහාස කිරීම නතර වුණා. ඒ වගේම අංගුලිමාල පිරිතේ තව කොටසක් තිබෙනවා ඒ පිරිතේ ඇති බලය හැඳින්වෙන ගාථාවක්.

එහි සඳහන් වෙනවා යම්කිසි පිරිතක් යම් තැනක වැඩ හිඳලා දේශනා කොට වදාළා ද, ඒ පිරිත කියන්නට වාඩි වූ තැන ඒ භූමිය සේදූ ජලයෙන් පවා සියලු උවදුරු දුරු කරනවා කියලා. අංගුලිමාල ස්වාමින් වහන්සේ වැඩ සිටි තැන ආසනයක් පිහිටුවා ප්‍රසූතියට අමාරු මෑණිවරු ගෙනල්ලා ඒ ආසනයේ හාන්සිකළ ගමන් දරුවා බිහිවන බලයක් ඒ තුළ පිහිටියා. එය කෙතරම් ද කියා කියනවා නම්, ඒ ආසනය අසළට ගේන්න බැරි මෑණිවරුන් ඒ ආසනය සේදු ජලය ගෙනගොස් හිසට වත්කළ පමණින් දරුවා ප්‍රසුතිවන ආනුභාවයක් මේ සත්‍යක්‍රියාව තුළ තිබුණා. මේ සත්‍ය ක්‍රියාව ඒ තරමට ම මහ බලසම්පන්න යි. කල්පයක් ලොව පවතින ලෙස ආනුභාව බල පිහිටුවලයි තථාගතයන් වහන්සේගේ උපදෙස් පරිදි අංගුලිමාල මහරහත් වහන්සේ මේ පිරිත වදාළේ කියා ඒ පිරිතේ සඳහන් වෙනවා.

ශ්‍රද්ධාවෙන් පිළිගත යුතු දේ

අංගුලිමාල පිරිතේ ඇති සත්‍යානුබව ඔබ ශ්‍රද්ධාවෙන් පිළිගත යුතු වෙනවා. ශ්‍රද්ධාවෙන් එය සජ්ඣායනා කළ යුතුයි. එසේ නොවුණොත් එහි බලයක් නැහැ. ඒ වගේම අද සමාජයේ මතයක් තිබෙනවා දරු ගැබට මාස හත ගියාට පසුවයි අංගුලිමාල පිරිත කියන්න ඕන කියලා. එයත් වැරැදි මතයක්.

පිරිත කියන්නේ හාත්පස රැකවරණය සදන දෙයක්.

ඹඒ පිරිත කියූ පමණින් දරුවා බිහිවෙනවා කියා බොරු අනිසි බියක් ඇතිකර ගතයුතු නැහැ. නමුත් සාම්ප්‍රදායානුකූලව මාස හතක් ගිය තැන සංඝයා වඩම්මවා අංගුලිමාල පිරිත කියනවා. ඒක හොඳයි.

නමුත් වැරැදි මතයකට නො යා යුතු වෙනවා. ඒ වගේම අංගුලිමාල පිරිතේ අර්ථය දැනගත යුතු වෙනවා.

2019/01/23 තරුණි බලන්න.