මහමෙව්නා භාවනා අසපුව මඟින් සංවිධානය කරන යොවුන් දහම් සක්මන - 2019

පෙබරවාරි 6, 2019

තරුණ, තරුණියන් ජීවත්වන ලෝකය සුන්දරයි. සැහැල්ලුයි. ඒත් හැම වෙලාවෙම හැම කෙනාගේම ලෝකය සුන්දර වෙන්නේ නැහැ. විවිධ හේතු නිසා අසුන්දර වෙන්න ගතවෙන්නේ එක නිමේෂයක් පමණයි.

අප ජීවත්වන බාහිර ලෝකයෙන් තරුණ පරපුරට එල්ලවන උවදුරු ප්‍රමාණය මොහොතින් මොහොත, දිනෙන් දින වැඩිවෙන්නේ කියා ගන්න බැරි තරම් වේගයෙන්. තරුණ ජීවිත දස දහස් ගණනින් අකාලයේ නරකට, නපුරට හුරුවෙනවා. බොහෝ වෙලාවට පාසල් වියේ සිටම පැමිණෙන මේ තර්ජන ක්‍රමයෙන් වඩා වර්ධනය වෙලා තරුණ ජීවිතය ඉලක්ක කරගෙනම යහපත් මාර්ගයේ ගමන් කිරීම වෙනුවට දුරාචාරයන්ගෙන් පිරි අයහපත් මාර්ගවල ගමන් කරන්න ඔවුන්ට සිදුවෙන්නේ සමාජය විසින් ඔවුන්ව ඒ තැනට ඇද දමන නිසාමයි.

වර්තමානයේ බොහෝමයක් තරුණ පිරිස් විවිධ දුරාචාර, පුහු ආටෝප පසුපස හඹා යන්නේ ඔවුන්ට නිසි කාලයේ දි ලැබිය යුතු යහපත් ඔවදන් සහ යහපත් ආදර්ශ නොලැබෙන නිසාවෙනි.අද්‍යතන තාරුණ්‍යය මෙසේ තම ජීවිත ඉදිරියට ගෙන යන්නේ ද සුවිශාල වු අභියෝග ගණනාවක් මධ්‍යයේ ය. ඒ අභියෝග අතරේ හොඳ නරක මොකක්ද? කළයුත්ත නොකළ යුත්ත මොකක්ද? කියලා තේරුම් අරගෙන ජීවත් වීම ප්‍රධාන යි. විශේෂයෙන්ම පාසල් යන වයසේ සිටම තරුණ ජීවිත විනාශ කරන බොහොමයක් දේ අද වන විටත් අප රට තුල සක්‍රීයව ක්‍රියාත්මකයි. මේ නිසා ඇත්තෙන්ම තරුණ ජීවිත යහමගට ගැනීම සිතන තරම්ම පහසු කටයුත්තක් නොවේ.

රටක අනාගත පැවැත්ම රඳා පවතින්නේ ඒ රටේ ජීවත් වෙන තරුණ පරපුර මතයි. රටක් වගේම ජාතියක අනන්‍යතාවය රැකගනිමින් අභිමානවත් ලෙස ඉදිරියට යන්නත්, නව අදහස්, සිතුම් පැතුම් එක්ක නව ලොව ජයගන්නත් තරුණ තරුණියන් දක්වන සහයෝගය අතිශයින්ම වැදගත්. නමුත් වර්තමානයේ ජීවත් වන තරුණ පරපුර අතර බොහෝදෙනෙක් රට, ජාතිය විනා තමන් ගැනවත් නො සිතමින් ඉබගාතේ මිරිඟුවක් පසුපස දිවයන්නේ ඒ තුළ තිබෙන්නා වූ අන්ධකාරබව හෝ ව්‍යාජ බව හෝ නො දැන වීම නම් කනගාටුවට කරුණක්. කොතෙක් තේරුම් කර දෙන්නට වෑයම් කළත් එවන් වූ මිරිගුවන් පසුපස ගොස් හතිවැටී අවසානයේ ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා නැතුවාම නොවේ. අද අපි ජීවත්වන සමාජය සැබවින්ම විෂමයි. ඒ වගේම සැහැසියි. කුරිරුයි . ඔවුන් මාන බලන්නේ අහිංසක ජීවිතයක් වරදට පොළඹවා ගන්නටමයි.

අතීතයේ මෙන් නොව යහපත් සමාජ ඇසුරක් හෝ සත්පුරුෂ ආශ්‍රයක්වත් නොලබන බොහෝ තරුණ පිරිස් වර්තමානයේ ගත කරන්නේ හිතුමතේ ජීවිතයක්.

ඔවුන් කරන කියන දේ නිවැරදියි. හිතන පතන විදිහ නිවැරදියි. ආකල්පයන්ගෙන් පොහොසත් , මට වඩා කෙනෙකු තවත් නෑ යන අධික මාන්නයකින් ජීවත් වන තරුණ ප්‍රජාවක් තුළින් කෙසේ රටක, දැයක සමයක අභිවෘද්ධියක් ගැන සිතන්න ද?

 

2019/02/06 තරුණි පුවත්පත බලන්න.