ඤාතියා මරණාසන්න මොහොතේ නම් කළ යුත්තේ කුමක් ද?

පෙබරවාරි 27, 2019

මේ ලෝකයේ ඉපදුන අපි සෑම කෙනෙක්ම මොහොතින් මොහොත ළඟා වෙන්නේ මරණය කරායි. මරණය අප කරා කොයි මොහොතක, මොනයම් ආකාරයට, කුමන ස්ථානයක දී ඒවිදැයි අපි දන්නේ නැහැ.

කොයි මොහොතක මරණය අප කරා ආවත් එයට මුහුණ දීමට අපි සැවොම බැඳී සිටිනවා.

ඒ වගේම අපගේ ඤාතියෙකු මරණයට පත්වෙන්න ආසන්න නම්, ඒ ඤාතියාගේ නැත්නම් හිතවතාගේ යහපත කැමැතිනම් කටයුතු කළ යුත්තේ කෙසේද කියාත් බුදුදහමේ උගන්වනු ලබනවා.

බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ පිළිසරණ ලබපු ඒ උතුම් ශ්‍රාවක, ශ්‍රාවිකාවන් ජීවත් වූ ඒ යුගයේ නම්, ඔවුන් ඉතා අභිමානවත් ජීවිතයක් ගත කළා. එයට හේතුව ඔවුන් මරණය ඉදිරියේ බිය වුණේ නැහැ. තැති ගත්තේ නැහැ. හඬා වැළපුණේ නැහැ. ඉතා නිර්භවයව මරණයට මුහුණ දුන්නා. එවන් සමාජයක නම් ඤාතීන් ඒ පිළිබඳව නො සැලකිලිමත් වුවත් මරණයට පත්වන තැනැත්තාට හෝ තැනැත්තියට තමන්ගේ පරලොව ඉරණම සාර්ථක කර ගන්නට හැකි අයුරින් තමන්ගේ චින්තනය මෙහෙයවන්න හැකියාව ලැබුණා.

නමුත් අද යුගයේ බොහෝ පිරිසට ඒ වගේ හැකියාවක් නැහැ. ආධ්‍යාත්මික ශක්තියක් නැහැ. මරණාසන්න මොහොතේදී “අනේ මාව බේරා ගන්න” කියමින් විලාප දෙන ඉතා දුර්වල මානසික මට්ටමක් තිබෙන මිනිසුන් තමයි අප අතර ජීවත් වෙන්නේ. එනිසා එවැනි මිනිසුන්ගේ යහපත පිණිස එවැනි කරුණු අපි ඉගෙන ගත යුතු වෙනවා.

සිහිය උපදවා ගනිමු. . .

ලෙඩට, දුකට පත්වෙලා හෝ වෙන අයුරකින් හෝ අපේ ඤාතියෙක් මරණය අභියසනම්, අපි ඔහුට වහාම සිහිය උපදවා දිය යුතුයි. එය ලෙහෙසි කටයුත්තක් නම් නොවේ. මේ කටයුත්ත ලෙහෙසි වෙනවා ජීවත්වෙලා සිටින කාලයේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය සැබෑම ශ්‍රාවක ශ්‍රාවිකාවක් නම්.

අපි දන්නවා මවුපියන් මරණාසන්න මොහොතේ බොහෝ දරුවන් “අනේ අපිව දාලා යන්න එපා! අම්මා නැත්නම් අපි කොහොමද ඉන්නේ.” කියලා හඬා වැටෙනවා. සමහර වෙලාවට ජීවත්වෙලා සිටිය කාලේදී නො දක්වපු ආදරයක් මතුවෙලා අර මරණයට පත්වෙන අම්මා, තාත්තා ඉදිරියේ හඬා වැටෙනවා. අතින් ඇද ඇද මුහුණ සිඹ, සිඹ හඬා වැළපෙනවා. බොහෝ වෙලාවට චිත්ත දියුණුවක් නැති මැරෙන්නට පණ අදින මවුපින්ගේ හිත එන්න එන්න පටු වෙමින් තිබෙන මොහොතක් එය.

එවිට පටු සිතකින් යුතු මරණයට පත් වෙන්න කිට්ටු මවුපියන් සිතනවා “අනේ මේ මගේ දරුවෝ දාලා මම කොහොමද මැරෙන්නේ? මම මේ අයත් සමග හුඟක් ආදරෙන්නේ හිටියේ අනේ මට මේ අය දාලා යන්න බැහැ” කියලා අර බැඳීමත් සමඟ සිත පටු කර ගන්නවා. එවිට තණ්හාව, ආශාව සමග ඒ බන්ධනය ඔවුන්ව ඉහළට යන්න දෙන්නේ නැහැ. පහළට ඇදලා දානවා. අම්මා, තාත්තා සුජීවත්ව සිටිද්දී පින් දහම් කරලා තිබුණා වුණත් බොහෝ විට මනුස්ස ලෝකයට හෝ එන්න බැරිව පහත් ලෝකවල එනම් පේ‍්‍රත ජීවිතයක් ලබාගෙන ඒ නිවෙසේම ඉපදෙනවා. ඒ වගේ ප්‍රායෝගික සිද්ධීන් බොහෝ සේ අද සමාජයේ අසන්න දකින්න ලැබෙනවා. එය ඉතාම අවාසනාවන්ත ඉරණමක්. මවුපියන්ට සුගති ලෝකයකට යන්න තිබුණ අවස්ථාව නැතිකරගෙන සතර අපායේ උපතකට යන්න හේතුවුණේ අනවබෝධයෙන් ජීවත් වූ දරුවන් නිසා.

 

බුද්ධිමතාගේ වගකීම . . .

එනිසා හැමදෙනාම සිහි කර ගත යුතුයි මතකයේ දරාගත යුතුයි මිය යන්න ආසන්න ඤාතියෙක් ඉදිරියේ කටයුතු කළ යුත්තේ කෙසේද? කියා. එහිදී කළයුතු වන්නේ ජීවිතය පිළිබඳ අවබෝධයක් ඇති, දහම් දැනුමක් තිබෙන අයෙකු එතැන වගකීම ඔහු යටතට ගෙන හඬමින් කෑ ගසන දරුවන් එතැනින් ඉවත් කිරීමයි. ඔවුන්ට පැහැදිලි කරන්න ඕනේ අම්මා දැන් මරණයට පත්වෙන්න සූදානම් වන මොහොත. ඒ නිසා අපි හඬමින් කෑ ගැසුවොත් ඇයගේ හිත වෙනස් වෙන්න පුළුවන්. බැඳීමක් ඇතිවෙන්න පුළුවන්. බැඳීම කියන්නේ පරලොව ජීවිතයට දුක පිණිස පවතින දෙයක් කියා තේරුම් කළ යුතුයි. ඒකයි බොහෝ විට අපි ඒ අවස්ථාවට ස්වාමින් වහන්සේ නමක් වඩමවා ගන්නේ.

එනිසා අම්මා, තාත්තා ඒ අවස්ථාවට මුහුණ දෙන්නට පෙර ඔවුන් ගැන අවධානයෙන් සිටීම දරුවන් වශයෙන් ඔබගේ වගකීමයි. මවුපියන් නීරෝගිව සිටින කාලයේ ශ්‍රද්ධාව, සීලය, දහම් දැනුම, ත්‍යාගය, ප්‍රඥා කියන ධර්ම පහ ඔවුන් තුළ උපක්‍රමව, කරුණාවෙන් උපදවා ගැනීමට උදව් කරන්න ඕනේ. අපව පෝෂණය කළ ගුණය සලකා අප ගෙවන්න තිබෙන ණය සිහිපත් කරලා ඒ ණයෙන් මිදෙන්න දරුවන් මවුපියන්ව ධර්මය තුළ පිහිටිය යුතුයි. අම්මා, තාත්තා තුළ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, සිල්වත් බව, ධර්ම ඥානය, මසුරුකම දුරුකළ සිතින් දන් දෙන්න උදව් කරන්න ඕනේ. ජීවිතය ගැන අනිත්‍යය, දුක, අනාත්ම වශයෙන් හිතන්න පුරුදු කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය, දහම් පොතපත කියවීමට යොමු කරන්න ඕනේ. ඔවුන්ගේ උපන් දිනයකට හෝ පවුලේ සියලු දෙනා එකතුව දානයක් දී ඒ සිත් සතුටු වන ආකාරයේ අමතක නො වන පින්කමක් කිරීම දරුවන්ගේ යුතුකමක් වෙනවා.

ජීව දානය දෙමු. . .

සමහර පළාත්වල තිබෙනවා ජීව දානය දීමේ ක්‍රමයක්. එහිදී පවුලේ දරුවන් සමඟ සියලු දෙනා එකතුව ඒ මවුපියන් ජීවත්ව සිටිද්දී ම මතක සිටින සේ දානයක් දෙනවා. එවැනි දානයක් ඔවුන් මරණාසන්න මොහොතේ සිහිපත් කරවන්න පුළුවන්.”අම්මේ මතකද අපි සංඝයා වඩම්මවලා ප්‍රණීතව දානය හදලා අටපිරිකර සෙසු පිරිකර සහිතව දානයක් දුන්නා. ඒ ගැන හිතන්න අම්මා” කියලා ඇගේ සිහිය ඉපදවිය යුතුයි. එවිට අම්මා හරි තාත්තා හරි එය සිහි කරලා සාදු සාදු කියලා හිත පහදවා ගන්නවානම්, එවිට සිත පුළුල් වෙනවා. එතැන බැඳීමක් නොවේ තිබෙන්නේ. අත්හැරීම ගැන සතුටු වීමයි. නැත්නම් අම්මාගේ සිත කෙලෙස්වලින් බර වෙන දේ කිව්වොත් ඒ සිත පටු වෙනවා. හිත බර වෙලා එතැනම හැකිළෙනවා. එවිට පටු සිතක් උපදවාගෙන පටු සිත් ඇති ලෝකවල ඉපදෙනවා.

අපි සියලු දෙනාගේම මරණය කොයි මොහොතේ වේවිදැයි නො දන්න නිසා දැන් දැන්ම ශ්‍රද්ධා, සීල, ශ්‍රැතී, ත්‍යාග, ප්‍රඥා දියුණු කර ගන්න මහන්සි වෙන්න ඕනේ. අපේ ඤාතින්, හිතවතුන්, දරුවන්, මවුපියන් මේ කවුරුත් මරණාසන්න මොහොතේනම් ඔවුන් තමන්ගේ ජීවිතයට සිදුකරගත් කළ පින්කම් සිහිපත් කරන්න. බොහෝ අවස්ථාවල රෝගියාගේ කන ඇසීම අන්තිම මොහොත දක්වාම තිබෙනවා. එනිසා ඔවුන්ට කතා කරන දේ ඇසෙනවා. කළ පින්දහම් මතක් කර, ජීවිතයේ අනිත්‍ය ස්වභාවය සිහිපත් කොට පිරිත් ටිකක් හෝ කියන්න පුළුවන්නම් එය ප්‍රයෝජනවත් වෙනවා. පිරිත් සජ්ඣායනා කරලා ඒ පැන් ටිකක් පොවලා පිරිත් නූලක් බැඳලා යම් ආරක්ෂාවක් බාහිරව සලසන්නත් පුළුවන්. ඤාතියා හොඳින් ධර්මය ඉගෙනගෙන තිබෙන කෙනෙකු නම්, පිරිතේ අරුත් තේරෙනවානම් ඔහුගේ සිත බොහෝ පුළුල්ව පහදිනවා. භික්ෂූන් වහන්සේලා බොජ්ඣංග පිරිත ශ්‍රවණය කරලා නිරෝගි බව ලැබුවේ එහි අර්ථය දැනගෙන සිටිය නිසයි. ඒ පිරිතේ තිබෙන ගුණධර්ම තමන් වහන්සේලා තුළ උපදවාගෙන තිබ්බා කියා ඇති වූ ප්‍රසාදයත් සමගයි ඒ රෝග පීඩා සංසිදීි නැවත නිරෝගි වුණේ.එනිසා බුද්ධ දේශනාහි අර්ථ සිහිපත් කරලා ඤාතියාට ශ්‍රද්ධාව උපදවා සිත පුළුල් කර ගන්න උදව් කරන්න පුළුවන්නම් එය යහපත පිණිස හේතු වෙනවා.

දරුවන් මවුපියන් වෙනුවෙන් කළයුතු යුතුකමක් රාශියක් තිබෙනවා. ඒ අතර මවුපියන් සුජීවත්ව සිටිද්දී ඔවුන් තිසරණය කෙරෙහි පහදවන්න. ඒ වගේම ඔවුන් වයෝවෘද්ධ කාලයේ ගුණධර්ම දියුණු කරන්න උදව් කරන්න. ඔවුන් රෝගාතුර වූ විට වැඩියෙන් පින්දහම් කරන්න උදව් කරන්න. ඒ වගේම මරණාසන්න වුණාම ඒ රැස්කළ පින සිහිපත් කර දෙන්න. අඬන වැළපෙන ඥාතින් ඈත් කරන්න. නො ඇලීම ගැන කියා දෙන්න.

ඒ වගේම මරණාසන්න ඤාතියා අසළ පිරිත් ධර්මයන් සජ්ඣායනා කරන්න ඕනේ. නිරන්තරයෙන් මෛත්‍රි භාවනාව ඇසෙන්න සළස්වන්න ඕනේ. හැබැයි මේ සියල්ල කළයුතු වන්නේ ධර්මයට හිත පහදින ඤාතින්ට පමණයි. නැතිනම් මරණාසන්න ඒ ඤාතියාට මෛත්‍රී භාවනාව කරදරයක් වෙන්න පුළුවන්. පිරිත් සජ්ඣායනාව වදයක් වෙන්න පුළුවන්.

එනිසා ඔබේ ඤාතියාට ඔබ සැබෑ ලෙසම ආදරය කරනවානම්. සෙනෙහසනම්, කරුණාවන්තනම් ඔවුන් ජීවත්ව සිටිද්දීම ධර්මය පුරුදු කිරීමයි කළයුතු වන්නේ. එයට හේතුව කෙනෙක් මරණයට පත්වෙන අවස්ථාවේ දී බොහෝ දේ ඒ අය වෙනුවෙන් කිරීමට අපහසුයි. කළහැකි වන්නේ පුරුදු කළ දෙයක් සිහිපත් කිරීම පමණයි.

 

කඩුවෙල මහමෙව්නා බෝධිඤාණ භාවනා අසපුවාසී

කුරුණෑගල ධම්මාරාම හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.