බෝධි පූජාව නිවැරැදිව තබමු

කඩුවෙල මහමෙව්නා බෝධිඤාණ භාවනා අසපුවාසී කුරුණෑගල ධම්මාරාම හිමි
මාර්තු 27, 2019

බෝධියේ කොඩි එල්ලුවාට අපල දුරුවෙන්නේ නැහැ

අපේ රටේ ඉතාම ප්‍රචලිත බුද්ධ වන්දනා ක්‍රමයටයි බෝධි පූජාව කියා කියන්නේ. එම පූජාවේ අර්ථය නොදැනයි බොහෝ දෙනා බෝධි පූජාව කරන්න පෙළඹෙන්නේ. එනිසා දන්න අයගේ දැනුවත්වීම වැඩිවීමටත්, නො දන්නා අයගේ දැනුවත්වීමට අපි මේ ලිපියේ දී බෝධි වන්දනාවක් නිවැරැදි කර ගන්නේ කොහොමද කියා පැහැදිලි කරනවා.

අට්ඨකතා විස්තරවල දී බෝධිය හඳුන්වා දී ඇත්තේ සතරමග සතරඵල ඤාණයන්ටයි . ඒ කියන්නේ මාර්ගඵල අවබෝධයටයි. අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නේරංජනා නදිය අසබඩ වජිරාසනයේ වැඩ සිට ඇසතු රුක්ෂයක් සෙවණේදී උතුම් ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කොට වදාළා. එනිසාම ඒ සම්බෝධියට ප්‍රාප්ත වූ ස්ථානයේ සෙවණ සැළසු වෘක්ෂ රාජයාණන් වහන්සේට බෝධින් වහන්සේ කියා ව්‍යවහාර වෙන්න පටන් ගත්තා.

අතීතයේ සිට පැවැත එන බෝධි වන්දනාව

බෝධි වන්දනාව අලුතින් හඳුන්වා දුන් ක්‍රමයක් නොවේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම සිදු වූ දෙයක්. උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටින කාලයේ ඈත දනව්වල සිටි මිනිසුන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මාස ගණන් සිට පයින් ඇවිත් දුක් මහන්සියෙන් ජේතවනාරාමයට එනවා. එසේ එනවිට භාග්‍යවතුන් වහන්සේ ධර්ම ප්‍රචාරයට වැඩමකර විහාරයේ වැඩ සිටියේ නැහැ. එවිට බලාපොරොත්තු සහිතව බුදුගුණ සිතමින් එන සැදැහැවතුන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න නොහැකිවීම නිසා තැවුලට පත්වෙනවා. වැළපෙනවා. දුක වාවනු නොහැකිව හඬා වැටෙනවා. මේ බව දුටු ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් අසා සිටිනවා ”ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, සැදැහැවතුන් බොහෝ බලාපොරොත්තු තබාගෙන භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට වෙහෙරට එනවා. ස්වාමීනි, සමහර වෙලාවට ඔබ වහන්සේ විහාරයේ වැඩ නො සිටින වෙලාවට සැදැහැවතුන් බොහෝ කණගාටුවට පත් වෙනවා” යි කියා සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා “ආනන්ද, උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට වදාරන අවස්ථාවේ දී සෙවණ සැළසූ මහා බෝසතාණන් වහන්සේ ඉපදෙන දවසේම මහ පොළොවෙන් පැන නැගුණු ඒ පෘථිවියේ නාබි මණ්ඩලයේ පිහිටි ඒ උතුම් බෝධිරාජයාණන් වහන්සේගේ ඵලයක් ගෙනවිත් එය ජේතවනාරාමයේ රෝපණය කරන්න” කියා.

එදා සිට සැදැහැවතුන් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණ භාග්‍යවතුන් වහන්සේ විහාරයේ නැත්නම් ඒ මල්, සුවඳ දුම් ගෙන බෝධින් වහන්සේ පැදකුණු කර ඒ පාමුල තැන්පත් කොට වැඳුම් පිදුම් කළා.

එදා මිනිසුන් එසේ බෝධි පූජාවට පැමිණියේ මාගේ කායික රෝග, මානසික රෝග සුවපත් වේවා කියා නොවේ.

මිනිසුන් අපල දුරුකර ගන්න මල් සුවඳ රැගෙන ආවේ නැහැ. ඔවුන් ආවේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකය දිනුවා. උන්වහන්සේ සත්‍ය දේශනා කරනවා. ඒ සත්‍යවාදී වූ තථාගතයන් වහන්සේ බැහැ දැක අපට වන්දනා කර ගන්නට ඇත්නම්, උන්වහන්සේ පුදන්න ඇත්නම්, උන්වහන්සේගෙන් බණ පදයක් අසන්න ඇත්නම් කියන අදහසින් පමණයි. එවිට භාග්‍යවතුන් වහන්සේ නැත්නම් ඒ අදහසින්මයි රෝපිත බෝධින් වහන්සේ වෙත ගියේ. ඒ නිසා ඒ බෝධින් වහන්සේට ආනන්ද බෝධින් වහන්සේ කියා නම වැටුණා.

එහෙම නම් අපට පේනවා බෝධි වන්දනාව කියා කියන්නේ බුදුරජාණන් වහන්සේ සජීවිව වන්දනාමාන කිරීමට නොහැකි වූ අවස්ථාවක සැදැහවතුන් භාග්‍යවතුන් වහන්සේ වෙනුවට සිදුකළ වන්දනාවක්.

අද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා සිටින්නේ. අද වැඩ සිටින්නේ සර්වඥතා ධාතුන් වහන්සේලා සහ පාරිභෝගික චෛත්‍ය රාජයාණන් වහන්සේලා පමණයි.

 

අනුරපුරයේ වැඩසිටින බෝධින් වහන්සේ

අපේ රටේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මේ ආනන්ද බෝධින් වහන්සේට වඩා පැරැණිය. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වන මොහොතේ දකුණු දිසාවේ වැඩ සිට සෙවණ සැලසූ ශාඛාවයි අපේ රටේ වැඩ සිටින බෝධින් වහන්සේ. ඒ ශාඛා රත්නය ලංකා ධරණිතලයට ලැබිය යුතු යි කියා තථාගතයන් වහන්සේ පිරිනිවන් මංචකයේ සිට අධිෂ්ඨානයක් සිදුකළා. අද අපිට අනුරාධපුරයේ වන්දනා කරන ඒ ශ්‍රී මහා බෝධින් වහන්සේ අසිරිමත් ඉන්දියාවෙන් වැඩමකළ බෝධි රාජයාණන් වහන්සේ. ඒ නිසා බෝධි පූජවාක් නිවැරැදිව සහ තැබීම ගෞරවයෙන් කළ යුතුයි.

ඔබට බෝධි පූජාවක් තබන්න අවශ්‍ය වූ විට පන්සලට කල්වේලා ඇතිව වේලාසනින් අෂ්ඨපාන ගිලන්පස පිළියෙල කරගන්න. පන්සලෙන් පැන් නොගෙන තමන් නිවෙසින් පෙරාගත් පිරිසිදුව පැන් එකක් අරගෙන යන්න. ඒ වගේම සුවඳ මල්, සුවඳ දුම් වගේම පුළුවන්නම් ස්වභාවික සඳුන් කෑල්ලක් උරගා ඒ සඳුන් කල්කය පැන් කලයට මිශ්‍රකර සුවඳ පැන් කලය සකසා ගන්න. පන්සලට යන්නම් වාලේ නො යන්න.

හොඳට පිරිසුදු වෙලා සීලයක පිහිටලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න උන්වහන්සේ පුදන්න යනවා කියන අදහසින් යා යුතු වෙනවා. යනවිටත් බුදුගුණ සිතමින් යන්න. අනුන්ගේ ඇද කතා කරමින් ඕපදූප කියමින් යන්න එපා. ගෞරවයෙන් යා යුතු වෙනවා. ඉන්පසු බෝ මළුව අමදින්න ඕනේ. මල් ආසන පිරිසුදු කරන්න ඕනේ. මේ සියල්ලම කරද්දීත් බුදුරජණන් වහන්සේගේ බුදුගුණ සිතමින් කරන්න ඕනේ. අපි මේ හදන්නේ අපල දුරු කරගන්න නොවේ. අපි හදන්නේ බුදුරජාණන් වහන්සේ පුදන්නයි. පහන් පිරිසුදුකර පහන් දල්වන්න. එවිට සිතන්න ලෝකයේ අවිද්‍යා ඝන අන්ධකාරය දුරු කරපු මාගේ ශෘස්තෘන් වහන්සේට මේ පහන් ආලෝකය පුජා කරමි පුජා වේවා කියලා. සීල ගුණයෙන් පිවිතුරු වූ බුදුරජාණන් වහන්සේට මේ පිවිතුරු සුවඳ මල් පූජා වේවා සීල සුගන්ධය පැතිර ගොස් ගුණ සුවඳ පැතිර ගොස් වැඩ සිටි බුදුරජාණන් වහන්සේට මේ සුවඳ දුම් පූජා කරමි. පුජා වේවා කියා සිතනවා. ඒ වගේම කරුණාවෙන් සිහිල් වී ගිය හදවතක් ඇති දෙව් මිනිසුන්ගේ සිත්සතන් සිහිල් කොට වදාළ භාග්‍යවතුන් වහන්සේට මේ මිහිරි ගිලන්පස පූජාවේවා කියලා පූජා කරනවා උදේ වරුවක බෝධිපූජාව තබනවා නම් මිහිරි ලෙස සකසා ගත් කිරිපිඬු පාත්‍රයක් පූජා කරන්නට පුළුවන්.

ඒ වගේම රාහු, කේතු ආදි ග්‍රහයන්ගේ අපල දුරුවේවා කියා කොඩිවල ලියා ඒවා බෝධින් වහන්සේට අගෞරවයක් වන ලෙස එල්ලන්න එපා. අප බුදු ගුණ දම් ගුණ ලියපු කොඩියක් පමණයි එල්ලිය යුත්තේ. එයත් බෝධින් වහන්සේගේ අතු පහළට පහත් කර කොඩිය එල්ලලා අත්ත අතහරින්නේ නැහැ. විශේෂයෙන් කාන්තාවන් බෝධින් වහන්සේ ස්පර්ශ කරන්න එපා. පිරිමි කෙනෙක් වුවත් බෝධින් වහන්සේ නිකරුණේ ස්පර්ශ කරන්න එපා. ඒ අපි බෝධින් වහන්සේට බුදුරජාණන් වහන්සේ හා සමානව සලකන ඒ ළඟ තිබෙන වැටක හෝ සුදුසු තැනක පමණක් කොඩිවැල් එල්ලන්න.

උතුම් වූ බෝධි වන්දනාව

ඒ ආකාරයට බුදුරජාණන් වහන්සෙ පුදලා පසෙකින් වාඩි වෙලා. සියලු දෙනාම එකට තිසරණ සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා බෝධින් වහන්සේ වන්දනා කරන්න ඕනේ. ඉන්පසුව දම්සක් පැවතුම් සූත්‍රය හෝ තමන් දන්නා පිරිතක් සජ්ඣායනාකර සුළු මොහොතක් හෝ බුද්ධානුස්සතිය හෝ මෛත්‍රී භාවනාව වඩා දෙවිවරුන්ට පින් අනුමෝදන් කළ යුතුයි. බෝධින් වහන්සේ අප පිදිය යුත්තේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිතාගෙනයි. අවසානයට ඒ බෝධින් වහන්සේ සුරකින, විහාරස්ථානය සුරකින ගම්භාර, පළාත්භාර, රටවාසී ඉෂ්ඨකාන්ත දෙවිවරුන්ටත්, අකනිඨා බඹලොව දක්වා සියලු දෙවි බඹුන්ටත් ඒ පින අනුමෝදනා කරන්න පුළුවන්. ඒ පින අනුමෝදන් වන දෙවියන් සතුටු වෙනවා. ඉන්පසු කියන්න පුළුවන් මේ මේ ආකාරයෙන් නොයෙක් දුක් කම්කටළු අපට තිබෙනවා. ඒවා දුරුකර ගන්නට උපකාර කරත්වා කියා. එය විශාල ආශිර්වාදයක් වෙනවා. දෙවියෝ පිනෙන් පුදද්දී ඒ දෙවියොත් පෙරලා ගෞරව බුහුමන් ආරක්ෂා විධි සිදු කරනවා.

බෝධි පූජාව බොහෝම සංවරව, සංසඳීමෙන්, වේලාව අරගෙන කළ යුතු පින්කමක්. මේ ආකාරයට නිහතමානිව ශ්‍රද්ධා සම්පන්නව බෝධි පූජාවක් කළොත්, එය මහා ආශීර්වාදයක් බවට පත්වෙනවා ඒකාන්තයි.