සල්ලි නැතිව පින් කරන්න බැරිද?

කඩුවෙල මහමෙව්නා බෝධිඤාණ භාවනා අසපුවාසී කුරුණෑගල ධම්මාරාම හිමි
අප්‍රේල් 3, 2019

පින් කිරීම පිළිබඳව බුද්ධ දේශනාව තුළ ඉතා පැහැදිලිව කරුණු සඳහන් වෙනවා. ඒ කරුණු දෙස බලද්දී අපට වැටහෙනවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව කෙතරම් නම් මේ පින පිළිබඳව වර්ණනා කර තිබෙනවාද කියා.

බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරත් පින් කිරීම පිළිබඳව යම් යම් කතාබහක් ලෝකයේ තිබුණා. බුද්ධ ශාසනයෙන් බැහැරව අන්‍ය ආගම් තුළත් පින කියන වචනයට සමාන වචන භාවිතා කරමින් යහපත් දේ ගැන කතා කරනවා. නමුත් බුද්ධ ශාසනයේ පමණයි පරිපූර්ණව පින ගැන කතා කරන්නේ. එනිසා පින කියන්නේ මොකක් ද? පිනෙන් වෙන යහපත මොකක් ද? පින් කර ගන්නා ආකාර මොනවා ද? වගේම පිනට වඩා එහා ගිය කරුණුත් බුද්ධ ශාසනය තුළ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා.

මිථ්‍යා මතය. . .

වර්තමානයේ මිනිසුන් තුළ තිබෙන මිථ්‍යා මතයක් තමයි සල්ලි තිබෙන්නම ඕනේ පින් කරන්න කියලා. එය වැරැදි මතයක්. එවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් සල්ලි නැතිව පින් කරන්න බැරිද කියා. බුද්ධ ශාසනය තුළ පින් කරන්න සල්ලි තිබෙන කෙනාටත් සල්ලි නැති කෙනාටත් පුළුවන්. සල්ලි තිබෙන කෙනාත් සල්ලි නැති කෙනාත් නුවණ පාවිච්චි කළොත් ඉතා උසස් ආකාරයෙන් පින් රැස්කර ගැනීමට අවස්ථාව තිබෙනවා.

සාමාන්‍යයෙන් යහපත කරන්න, පින් දහම් කරන්න කම්මැලි අය කියන වචනයක් තමයි අපට මුදල් තිබුණානම් අපි පින් කරනවා. නමුත් අපට එසේ වියදම් කරන්න මුදල් නැහැනේ. තිබෙන අය පින් කරන්නෙත් නැහැනේ කියා කියනවා. නමුත් කෙතරම් මුදල් ලැබුණත් දන්දීමට කැමැත්ත බොහෝ දෙනා තුළ නැහැ. පුංචි කාලයේ සිට පුරුද්දක් තිබෙන අය හෝ ධර්මය අසා තිබෙන අය හැරෙන්නට අනෙක් අය පින් රැස්කර ගැනීම ගැන කතාබහ කරන්නේ නැහැ.

පින් රැස්වෙන ක්‍රම. . .

පින කියා කියු ගමන් බොහෝ අයට සිහිපත් වන්නේ දානය යි. නමුත් පින කියන්නේ දානය පමණක් නොවේ. දස පුණ්‍ය ක්‍රියා යනුවෙන් පින් රැස් කර ගන්නා ක්‍රම දහයක් දේශනාවේ හමුවෙනවා.

දන්දීම, සිල් රැකීම, භාවනාව, පින්දීම, පින් අනුමෝදන්වීම, අන්අයට උපස්ථාන කිරීම, අන් අයට ගෞරව කිරීම, සම්මා දිට්ඨිය පිරිසුදු කර ගැනීම ආදී පින් රැස්කර ගන්නා ක්‍රම රාශියක් තිබෙනවා.

එසේ ක්‍රම තිබෙද්දී අපි දානය පමණක් ඉස්මතු කරගත යුතු නැහැ. දානය මෙන්ම තවත් පින් රැස් කරගත හැකි ක්‍රම තිබෙනවා කියන දැනුම අප තුළ තිබෙන්න ඕනේ. ඒ වගේම පින් කරන්න මුල්වන කරුණු තුනකි. ඒ දන් දීම, සිල් රැකීම, භාවනාවයි. දානයක් දෙනවිට කෙනෙකුට හිතෙන්න පුළුවන් දානයට මුදල් වියදම් වෙනවානේ කියලා. නමුත් සිල් රැකීම, භාවනා කිරීම, පින්දීම, පින් අනුමෝදන් වීම, අන්අයට උපස්ථාන කිරීම ආදියට මුදල් වියදම් වන්නේ නැහැ.

ක්‍රියාවකින් තොරව  පින් රැස්වීම. . .

යම් ක්‍රියාවක් නො කර පින් කරගත හැකි ක්‍රමයකුත් බුදු සසුනේ තිබෙනවා. ඒ සතුන් නො මරා සිටීම. එතැන දානයකුත් දෙනවා. මොකක්ද දෙන දානය. ඒ සතුනට අභය දානය දෙනවා.

ලෝකයට භය නැතිබව දන් දෙනවා. අපට අභය දානය කිව්වාම මතක් වෙන්නේ මරන්න ඉන්න සතෙක් නිදහස් කිරීම පමණයි. එයත් අභය දානයක් තමයි. නමුත් ඒක විතරක් නොවේ අභය දානය. සතුන් නො මරා සිටීම ත් අභය දානයක්.

එයට කිසිම මුදලක්, කිසිම මහන්සියක් නැහැ. එයට අවශ්‍ය සිහිය, නුවණ වීර්යයි. සතුන් මැරීමෙන් වැළකී සිටින පුද්ගලයාට පුණ්‍ය ගඟාවක් ජීවිතයට ගලාගෙන එනවා. ඒ වගේම පන්සිල් ආරක්ෂා කරන පුද්ගලයාගේ ජීවිතයට පුණ්‍ය ගංගාවල් පහක් ගලනවා. පින කියන්නේ සැපයට කියන නමක්. ඒ නිසාම භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, පිනට බය වෙන්න එපා. පින කියන්නේ සැපයට කියන වචනයක් කියලා. බුද්ධ කාලයේ මතයක් තිබුණා පින් කළවිට සසර දිගු වෙනවා කියා.

එනිසා බුදුරජාණන් වහන්සේ වදාළා සසර දිගු වන්නේ පින් කිරීමන් ම නොවේ. අවිද්‍යාව හා තණ්හාව තුළින් කියා. පින් කිරීමේදී දානයක් දෙනවා නම් එහිදී අත්හැරීම නමැති ගුණයක් පුරුදු වෙනවා. එය සසර දුුකෙන් මිදෙන්න උපකාරි වෙනවා. දන් දුන්නත්, නො දුන්නත් අවිද්‍යාව දුරු නො කරන තාක් සසරේ සැරි සරනවා. දානය කියන්නේ හොඳ දෙයක්. දන් නො දීම කියන්නේ නරක දෙයක්. දුස්සීල කියන්නේ නරක දෙයක්. සිල්වත් බව කියන්නේ හොඳ දෙයක්. එනිසා නරක දේ අතහැරලා හොඳ කිරීම බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ දෙයක්. අපිට කෙලෙස් දුරු කරනතුරු සසරේ යන්න වෙනවා. ඒ ජීවිතය තුළ සැපවත්ව ඉන්න පුළුවන් පින තුළින්. එනිසා අපි බුද්ධ දේශනා තුළින් හොඳින් තේරුම් ගන්න පින කියන්නේ සැපයට කියන නමක්. පිනට බය වියයුතු නැහැ. පින කියන්නේ සැප වඩන දෙයක්. ඒ වගේම පින දානමය වශයෙන් පමණක් නොවේ තවත් බොහෝ ක්‍රම තුළින් රැස්කර ගන්නට පුළුවන්.

ගලා බසින පුණ්‍ය ගංගාව

බුදුරජාණන් වහන්සේ වදාළා උන්වහන්සේගේ ගුණ දැනගෙන සරණ යෑමෙනුත් ධර්මය, සඟ ගුණ දැනගෙන සරණ යෑමෙනුත් ජීවිතයට පින් ගංගාවක් ගලනවා කියා.

 

කෙනෙක් තුනුරුවන ගැන මුලින් වැඩි පැහැදීමක් නො තිබී පසු කාලයේ කල්‍යාණ මිත්‍ර ඇසුරෙන් තිසරණය ගැන පැහැදීමක් උපදවා ගත් අය ඒ තිසරණය ගැන පැහැදීම ඇති වූ දවසේ සිට මොනතරම් පින් රැස්කර ගන්නාව ද? කියා තේරුම් ගන්න පුළුවන්. අප හිතන රටාව, කතා කරන වචනය, ක්‍රියා කරන ආකාරය පින් වැඩෙන ආකාරයට අපට කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය පුද්ගලයාගේ සිත රාගයෙන් ද්වේෂයෙන්, මෝහයෙන් යට වෙන්නේ නැහැ. ඒ වෙලාවේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදි භාවනා තුළ සිත සෘජු වෙනවා. අකුසල් පැත්තට යන්නේ නැහැ. එහෙමනම් සිත තුළ රාග, ද්වේශ, මෝහය ආදි අකුසල් නොමැති අවස්ථාවක යහපත් සිතිවිලි තුනුරුවන් ගැන ක්‍රියාත්මක වෙනවා. එවිට නිරාමිස පී‍්‍රතිය තුළින් ඒකාන්ත පිනක් රැස් වෙනවා.

එනිසා පින් රැස්කර ගන්න නම් මුදල් ඕනේ කියන මිථ්‍යා මතය අප බැහැර කළ යුතුයි. කෙනෙක් කලින් පොහොසත් වෙන්න පුළුවන්. විවිධ හේතු නිසා පසුව දුප්පත් වෙන්න පුළුවන්. තිබෙන කාලයේ දන් දී පසුව ඒ දානය නො දී සිටියොත් එය ඔහුගේ ජීවිතයට පාඩුවක්. ඔබ දන්නවා අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායකයා. ඔහු බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා පන්සිය නමකට දිනපතා දන් දුන් කෙනෙක්. නමුත් ඔහු ණයට දුන් මුදල් නොදී සිටීමෙන් සහ සඟවා තිබු ධනය ස්වභාවික විපතින් විනාශ වී යාම නිසා දුප්පත් වුණා. නමුත් ඔහු දන්වැට නතර කළේ නැහැ. එයට හේතුව බුදුරජාණන් වහන්සේ දානය ගැන වදාළ විස්තරය අනේපිඬු සිටුතුමා දැනගෙන සිටියා. දානයේ පින රැස්වෙන්නේ එහි ප්‍රණිත බව නිසා නොවේ. පින රැස්වෙන්නේ සකසා දුන්නොත්, ගෞරවයෙන් දුන්නොත්, ඉවත නො දමන දෙයක් දුන්නොත් සහ සිත පහදවාගෙන දුන්නොත් පමණයි.

එනිසා දන් දෙන්නට කලින් හා දීමට පසු සිත පහදවා ගැනීම තුළින් අග්‍ර පින් රැස්වෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළේ ගොඩක් තිබෙන විටත් ටිකක් තිබෙන විටත් දන් දෙන්න කියා. දිනක් එක් දෙවියෙක් කියනවා දුප්පත් කෙනෙක් දුප්පත්ව දෙන දානය පොහොසත් කෙනෙක් දෙන දානයට වඩා දහස් ගුණයකින් වටිනවා. එයට හේතුව කෝටිපතියෙකුට ලක්ෂයක් දෙනවා කියන එක සුළු කරුණක්. නමුත් කුලියක් කර සුළු මුදලක් උපයන මනුස්සයෙක් තමන් උපයන ඒ මුදලින් කොටසක් දානයට දුන්නොත් ඔහු අර කෝටිපතියාට දෙන දානයට වඩා මහා දානයක් දුන් කෙනෙක් වෙනවා.

එනිසා සිල් රැකීමෙන් පුණ්‍ය ගංගාවක් ගලනවා. තෙරුවන් සරණ යාමෙන්, ධර්මය ශ්‍රවණය කිරීමෙන්, සෑයට, බෝධියකට වන්දනා කිරීමෙන් පිනක් රැස් වෙනවා. එනිසා පින් කරන්න සල්ලි ඕනේ කියන මිථ්‍යා කතාව අපි දුරින්ම දුරු කරන්න ඕනේ. නුවණ තිබෙනවානම් පින ඕනෑම අවස්ථාවක රැස්කර ගන්නට පුළුවන්. පින තුළින් තමයි ජීවිතයකට සැපය ළඟාකර දෙන්නේ.