සෑහීමට පත් වීමේ ගුණය පවුලේ ගැටලු අවම කරයි

අප්‍රේල් 3, 2019

අප සියලුදෙනාගේ ජීවිතයේ මූලික අරමුණ බවට පත්වන්නේ අප බලාපොරොත්තුවලින් සියල්ල ඒ අයුරින්ම ඉෂ්ඨ කර ගැනීමයි. නමුත් බොහෝ අවස්ථාවල අපට අපගේ අරමුණුවලට පහසුවෙන් ළඟා වීමට නොහැකි ය. එවිට අපට ඉතිරි වන්නේ කලකිරීමක් පමණයි. කාන්තාවකට පමණක් නොව ඕනෑම කෙනකුට එය පොදු ධර්මතාවයකි.

එහෙත් කාන්තාවන්ගේ ජීවිතේ බොහෝ තැන්වල ඔවුන් කලකිරීමට හා ඉච්ඡා භංගත්වයට පත් වේ. එසේ සිදුවන්නේ කුමක් නිසා ද යන්න නිශ්චිතවම සඳහන් කළ නොහැකි වුවත් එයට එක් හේතුවක් ලෙස සෑහීමකට පත් නොවීම ගත හැකියි.

කාන්තාවක් වශයෙන් අප සැබැවින්ම හැඟීම්බර වෙමු. යමක් නො ලැබුණ විට හඬා වැටීමට අප පෙලඹෙන්නේ නිරායාසයෙනි. තාරුණ්‍යයේ පසුවන කාන්තාවන් මෙයට වැඩි වශයෙන් නැඹුරු වේ. එය සාමාන්‍ය සිදු වීමකි. බොහෝ තරුණියන් ප්‍රේම සම්බන්ධතා වැනි දේවල් නතර වීම නිසා සියදිවි නසා ගන්නා තත්ත්වයට පවා පත්වේ. එහෙත් දරා ගැනීමේ ශක්තිය හා ලද දෙයින් සතුටු වීමේ හැකියාව කාන්තාවක් වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංගයකි.

පාසල් යන වයසේ පටන් දියණියන් ලෙස ලද දෙයින් සතුටු වීමට පුරුදු පුහුණු විය යුතුය. එනම් අධ්‍යාපනය හදාරන කාලවකවානුවේ දී ඇතැම් විට නොයෙක් පහසුකම් දුෂ්කරතාවලට මුහුණ දීමට බොහෝ විට අපට සිදුවේ. එහෙත් ඒ දුෂ්කරතා අපි ජය ගත යුතුයි. ඇතැම් අවස්ථාවල පාසලේ අනෙක් මිතුරියන්ට තිබෙන බොහෝ දේ අපටත් අවශ්‍ය වේ. එහෙත් අපේ මාපියන් ඉතා වෙහෙසමහන්සි වී අපට අවශ්‍ය සියල්ල අප වෙත ලබා දේ. ඔවුන් එය කිසිවක් නොකියා අපට රැගෙන දෙන්නේ අපේ සතුට වෙනුවෙන් අම්මා තාත්තා පිළිබඳ ව සිතීම දියණියක් වශයෙන් අප සිදුකළ යුතුය. ඔවුන්ට හැකි පමණින් මිලදී ගෙන අප වෙත ලබාදෙන දේ අප සතුටට පත්විය යුතුය. දිනෙක අපගේ අවශ්‍යතාව අපට සපුරාගත හැකි තත්ත්වයට පත්වීමට හොඳීන් අධ්‍යාපනය හැදෑරීම හා ඉලක්ක ජයගැනීම සිදු කළ යුතුය. එහිලා ලද දෙයින් සතුටු සතුටු වීම උතුම් ගුණය මහඟු දායකත්වයක් සපයයි.

තරුණියක් වශයෙන් ලද දෙයින් පත් සතුටට පත් වීමේ ගුණය ඉතා වැදගත් වේ. තරුණියන් වන අප නිරතුරුව ප්‍රියමනාපව අලංකාරව සිටීමට කැමැත්තෙන් සිටිමු. තරුණියන් ලෙස එය එලෙස සිතීම වරදක් නොවේ. නමුත් විවිධ ඇඳුම් පැලඳුම් ආභරණ ආලේපන නිසා අප බොහෝ සෙයින් කනගාටුවට පත් වන්නෙමු. ඇතැම් අවස්ථාවල අප සමඟ සම වයසේ සිටින මිතුරියන් සිදුකරන විලාසිතා අපට කළ නොහැකි නම් අපට එයින් සිත්තැවුලක් ඇති වේ. අපි රැකියාවක් කරන්නේ නම් අප පෙලඹෙන්නේ කෙසේ හෝ මුදල් වියපැහැදම් කරමින් ඒවා මිලදී ගැනීමටයි. නමුත් අප අනාගතය ගැන සිතිය යුතු ය. මුදල් වියපැහැදම් කිරීමෙන් අත්‍යවශ්‍ය කටයුතු පවා මඟ හැරීමට හැකියි. අරපිරිමැස්ම හා සකසුරුවමෙන් සියලු කටයුතු සිදුකර ගැනීමට පුරුදු විය යුතුය. ලද දෙයින් සතුටට පත් වීමේ ගුණය හෙවත් සෑහීමකට පත් වීමේ ගුණය වර්ධනය කර ගත යුත්තේ එබැවිනි.

බිරියක, මවක වශයෙන් ද ලද දෙයින් සතුටට පත් වීමේ ගුණය වැදගත් වේ. මන්ද යත් පවුලක සියලු වැඩකටයුතු කළමනාකරණය කර ගැනීමේ හැකියාව වගකීම පැවරෙන්නේ බිරියකටය. එවිට අනවශ්‍ය ලෙස මුදල් විය පැහැදම් කිරීම තුළින් සැමියාගේ හා දරුවන්ගේ පවුලේ අනෙක් සියලු කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. පවුල් එක වගකීම නිසි ලෙස ඉටු කරන අතරවාරයේ යම් යම් සිත් තැවුල් ඇති වීම සාමාන්‍ය දෙයකි. එහෙත් එම සියලු දේ සම සිතින් විඳ දරා සම සිතින් විඳ දරා ගැනීමට ඔවුන් පුරුදු විය යුතු යි. කාන්තාවට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් සැදීම පවුලේ අනෙක් සාමාජිකයන්ගේ ද වගකීමකි. සෑහීමට පත් වීමේ ගුණය ප්‍රගුණ කරන්නේ නම් පවුල තුළ ඇතිවන බොහෝ ගැටලු අවම කරගත හැකියි. කාන්තාවක ලෙස ලද දෙයින් සතුටු වීමේ ගුණාංගය බෙහෙවින් වටී .බොහෝ මව්වරු එසේම ය .වර්තමානයේ සමහර මවුවරු මෙයින් බාහිර ව කටයුතු කරන අතර දරුවන් පවා වැරදි ආදර්ශ වලට පෙලඹීම දැකගත හැකිය. ලද දෙයින් සතුටු වීමේ ගුණය මව විසින් දරුවන්ට ලබා දෙන දායාදයක් වැනිය .

කාන්තාවක් ලෙස කුමන තලයක පසුවත් ලද දෙයින් සතුටු සතුටු වීමේ ගුණය ප්‍රගුණ කළ යුතුය. කාන්තාවන් වන අප ජීවිතය පුරා සොයන සතුට සැනසීම ලබා ගැනීමේ හොඳම මාර්ගයක් ලෙස සෑහීමට පත් වීමේ ගුණය නම් කළ හැකියි. කාන්තාවක් වශයෙන් ජීවිතයේ සෑම අවස්ථාවක ම සෑහීමකට පත් වීමේ ගුණයයි හෙවත් ලද දෙයින් සතුටු සතුටු වීමේ ගුණය වඩ වඩාත් ප්‍රගුණ කිරීම තුළින් නිරතුරු ව ම හෙලන සුසුම් සැනසුම් සුසුමක් කර ගත හැකිවනු නොඅනුමාන ය.