උතුම් තෙමඟුලේ අපේ පැතුම

මැයි 15, 2019

සාමය සතුට, සබැඳියාව රැඳි වටපිටාව සැමට සැනසුමකි. වෛරය, ක්‍රෝධය, තරහව සිත් තුළ වේ නම් එතැන විනාශයක්ම සිදු වේ. එහෙත් බුදු දහමින් පෙන්වා ඇති බොහෝ චර්යා ධර්මවලින් එකක් භාවිත කළ හැකි වී නම් අද අපේ රටේ සෑම ජාතියකම ජනයා ජීවත් වනුයේ ඉමහත් සොම්නසිනි. පින්වත්නි, සිදුහත් කුමරු උපන් සමයෙහි භාරත දේශය අවි ගැටුම් බහුල දේශයක්. බුද්ධත්වය ලැබීමෙන් පසුව ගෞතම බුදුරජාණන් වහන්සේ, හුදු පුද්ගල විමුක්තියට පමණක් කැප කිරිම් වෙනුවට සමාජය ගිලගත් භයංකර ගැටුම් සහ විෂමතාවයන්ගෙන් සමාජය බේරා ගැනීම සඳහා ක්‍රියා කළා. ඒ බව ශාක්‍ය, කෝලිය ගැටුම සංසිඳවූ ආකාරයෙන් පැහැදිලි වේ.

භේද බින්න ඵල රහිතය

ජාතිය, කුලය සහ ආගම පුද්ගලයා උස් පහත් කොට සැලකීමේ මගක් කරගෙන තිබීම බුදුන් වහන්සේ දැඩි සේ විවේචනයට ලක් කෙරීය. පින්වතුනි, සැබැවින්ම බුදු දහම පරම අවිහිංසාවාදී දහමක් වන්නා සේම එය සියලු මානව විෂමතා නොසලකන මානව හිතවාදී දහමක් ද වෙයි.

එහෙත් වර්තමානයේ ඇතැම්හු බුදු දහමෙහි පවතින මෙම මානව හිතවාදී හරයන් වෙනුවට සමාජ භේද සහ ගැටුම්වලට අනුබල දෙන ප්‍රවනතා මතු කිරීම බෙහෙවින් කණගාටුදායක කරුණකි.

සහජීවනය සැමට සුබයි

ආගමික උතුමන් මෙන්ම විද්වත් සමාජය ද සහජීවනය උදෙසා ජනයා දැනුම්වත් කිරීම අද කාලීන අවශ්‍යතාවයකි.

එදා සිට මේ දක්වා යුද්ධය පටන්ගෙන ඇත්තේ මිනිසාගේ සිත තුළය. එබැවින් සාමය ඇති කළ යුත්තේ ද මිනිසුන් ගේ සිත් තුළය. මෙය හොඳ, නරක දෙකටම සිත මුල්වීමය.

මගේ පින්වත් දරුවනේ පළමුව තමා තුළ මානසික සාමයක් ඇති කරගත යුතුය. අනුන් අතර මානසික සාමයක් ඇති කළ හැක්කේ ඉන් පසුවය.

තෘෂ්ණාව අත්හරින්න

අසමඟියට මුල් වනුයේ තෘෂ්ණාවයි. පොදු යහපතට වඩා තම යහපත ඉස්මතු වන අවස්ථාවක වෛරීව, තරගකාරිව අවිගෙන කටයුතු කිරීමට ඇතැමුන් උත්සහ ගනී. එවිට අවිගත් අයට මුහුණදීම සඳහා අවි ගැනීමට අවි නොගත් අයට ද සිදුවෙයි. මෙසේ ක්ෂුද්‍ර මට්ටමින් හටගන්නා ගැටුම් ඇතැම් විට ජන ඝාතක යුද්ධ දක්වා ද වර්ධනය විය හැකිය.

එහෙත් ලෝභ, ද්වේශ, මෝහ යන අගතීන්ගෙන් මිදුණු කළ ඔබ තුළ සාමය රජයයි. පින්වත් ඔබ උත්සහ ගතයුත්තේ ද මේ ලෝභය, ද්වේශය, මෝහය ඉවත්කර ගැනීමටමය.

තවද පන්ති වශයෙන්, කුල වශයෙන්, ආගමික වශයෙන් හා ජාතීන් අනුව කිසිවකුත් කිසිවකුට උසස් හෝ පහත් නොවන අතර එම බේද සලකා ගැටුම් ඇති කර නොගැනීමට පින්වත් ඔබ වග බලා ගත යුතුය.

අන්තවාදී නොවන්න

බුදු දහමෙහි මූලික ප්‍රතිපත්තිය ලෙස සැලකෙනුයේ මධ්‍යම ප්‍රතිපදාව සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මේ අනුව මිනිස් ජීවිතය උද්වේගකාරී, අන්තවාදී අදහස් උදහස් අනුව පීඩාකාරි අරමුණු කරා මෙහෙයවීම නොකළ යුත්තකි. බුදුසමය අල්පේච්ඡ බව, සමෘද්ධිමත් බව සහ නිදහස් සහනශීලී බව උසස් කොට සලකයි. පින්වත් ඔබ ඒ මඟ යන්නේ නම් අද අප රට තුළ ඇති වී තිබෙන ව්‍යසනය මඟහරවා ගත හැකියි.

කුල භේදය, වාර්ගික භේදය සහ උස් මිටි, පහත්කම්, උසස්කම් අනුව භේද කිරීමේ කිසිදු පලක් නැත. කුල භේදයෙහි නිරර්ථක භාවය ගැන හරවත් සංවාදයක් මජ්ජිම නිකායට අයත් අස්සලායන සූත්‍රයෙහි දැක්වේ.

ක්ෂත්‍රීය කුමරකු හා බමුණු කතක් එකට ජීවත්වීමෙන් උපදින දරුවකු කවර කුලයකට අයත් වන්නේ දැයි බුදුහු මෙහි දී ප්‍රශ්න කරති. ඒ අනුව තමන් සෙස්සන්ට වඩා උසස් යැයි සලකනු ලබන බ්‍රාහ්මණ මතය නිරර්ථක බැව් බුදුන් වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.

එමෙන්ම සම්පත් ගොඩගසාගෙන තනිව බුක්ති විඳීමේ, අභිලාෂයෙන් කටයුතු කිරීම හේතුවෙන් මේ සියලු ගැටුම්වලට මුල බවද බුදුරජාණන් වහන්සේ විසින් වදාරා තිබේ. පින්වත් දරුවනේ අසවල් පිරිස සඳහා අසවල් දේශය යැයි කිසිවකුට සීමා මායිම් පැනවිය නොහැකියි. සියලු ජාති. කුලවලට අයත් ජනයා සතා සීපාවා ඔවුන්ගේ නිදහස අගයමින් රුචි පරිදි ඕනෑම තැනක අන් අයට හිරිහැරයක් නොවන සේ ජීවත්වීමේ අයිතිය තිබිය යුතුය.

සහනශීලී පැවැත්ම

නිදහස් චින්තනය සහ සහනශිලී පැවැත්ම බුදු දහමෙහි ඉහළින්ම අගය කරයි. මෙය මනාව පිළිබිඹු කෙරෙන අවස්ථාවක් හැටියට කාලාම සූත්‍රය සඳහන් කළ හැකියි. විවිධ ආගම් පිළිගන්නා පිරිස් පැමිණ තමන් ගේ ආගම උසස් බවත් සෙසු ආගම් පහත් බවත් හුවා දක්වමින් කරුණු කීම කාලාම වැසියනට තිබූ ප්‍රධාන ගැටලුවක් විය. මේ නිසා කුමක් පිළිගන්නේද කුමක් බැහැර කරන්නේ ද යන ගැටලුව ඔවුන්හට ඇති විය. කාලාම වැසියන් බුදුන් හමුවට යන්නේ මෙම ගැටලුවට පිළිතුරු සෙවීමටය. මෙහිදී බුද්ධ දේශනය වූයේ අනුන්ගෙන්. අසන්නට ලැබීම, පරම්පරාවෙන් පැමිණීම, මෙය මෙසේ යයි කියනු ලැබිම, පෙළ දහම හා සැසඳීම, කියන්නාගේ පූජ්‍යත්වය හා ගුරුවරයාගේ ප්‍රකාශයක්වීම ගැන කරුණු කිසිවක් ඒ හැටියෙන්ම පිළි නොගත යුතු බවයි.

යමක් පිළිගත යුත්තේ කුසලාකුසල විනිශ්චයෙහි එනම් හොඳ හෝ නරක පිළිබඳ එළඹුවකිනි. තවත් අයුරකින් කිවහොත් මේ හොඳය, මේ නරකය යැයි තමාට ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වී නම් එවිට එය පිළිගත යුතු බවයි.

තම ප්‍රදේශයට පිටින් එන ශ්‍රමණ බ්‍රාහ්මණයන් තමන් ගරු කරන පූජකවරුන් හා සම තත්ත්වයෙහි ලා සලකා ගරු සැලකිලි දක්වන්නැයි බුදුන් වහන්සේ භික්ෂූන්හට උපදෙස් දුන් වග මහා පරිනිබ්බාන සූත්‍රයෙහි තවදුරටත් සඳහන් වේ.

ප්‍රවේසම් වීම

පින්වතුනි, දැන් ඔබට වැටහෙනවා ඇති අනුන් කියන යමක් ඔබ පිළිගත යුත්තේ කෙසේ ද කියා. වර්තමානයේ රටේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඔබ බොහෝම කල්පනාකාරිව, ප්‍රවේසමෙන් වචන භාවිතකර කට පරෙස්සමින් ජිවත් විය යුතුය. නොඑසේ නම් ඔබ සහ ඔබේ වටපිටාව තුළ රැඳී ඇති සාමය, සමගිය, සහජීවනය ඔබ නොදැනුවත්වම ගිලිහී යනු ඇත.

තිස් වසරක යුද්ධය නිම වී අපේ රට තුළ බොහොම

සන්සුන් වාතාවරණයක් පැවතුණි. එහෙත් නොසිතූ නිමේෂයක අදහාගත නොහැකිව යළිත් ත්‍රස්තවාදය හිස් එසලීය. පින්වත් දරුවනේ රට තුළ යළිත් සාමය ආරක්ෂා කර ගැනීමට නොපැකිළිව ඉදිරිපත් විය යුතුය.

සැවොම ශී‍්‍ර ලාංකිකයන්

වත්මනෙහි ලොව බොහෝ බහුවාර්ගික රටවල බෙදී වෙන් වී යෑම් සඳහා කරන අරගලවල භාෂාමය හා සංස්කෘතිකමය ප්‍රබල හේතූන් පවතී. එහෙත් ඔබ හිතට ගන්න භාෂාව, කුලය, ආගම හා ප්‍රාදේශීකත්වය යනාදී සාධක මත කිසිවෙක් කිසිවකුට නොසලකා හැරීම නොකළ යුතුයි. බෞද්ධයන් වැඩි පිරිසක් ජීවත් වන බුදු දහමට ගරු කරන රටක සියලු ජාතීන් ආගම් වෙනුවෙන් සාමය ගොඩනැගීමට උදෙසා ඔබ යළි යළිත් නැගී සිටිය යුතුය.

එකම රටක්, එකම ජාතියක් සැවොම ශ්‍රී ලාංකිකයන් ලෙසින් රට තුළ විශ්වසනීය රැකවරණයක් ලබා දිය යුතුය.

නිරතුරුවම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවෙන් කටයුතු කරන්නට වෙර දැරීම ද යෝග්‍යයි.

ඡන්දය, ද්වේෂය, මෝහය, බය යන සතර අගතියෙන් අත්මිදිය යුතුයි.

පින්වත් දරුවනි, මමත්වය පසෙකලා අපේ රට යන හැඟීමෙන් කටයුතු කරන්න. රටක් ලෙසින් එක්ව කටයුතු කිරීමේදී ලෝකය දිනන්න හරිම පහසුයි.

ඔබේ බුද්ධිය, හැකියාව, තාක්ෂණික දැනුම සමාජයේ යහපත උදෙසාම යොදවන්න. නොඑසේනම් ඔබේ පරිහානිය ද ඔබමය.

ශ්‍රී ලංකාව බෞද්ධයන් බහුතරයක් ජීවත්වන රටක් බව සැබෑවකි. හින්දු, මුස්ලිම් සහ කතෝලික ඇතුළු විවිධ ආගම්වලට අයත් ජනයාගේ ද සැලකිය යුතු නියෝජනයක් පවති. එසේම අතීතයේ පටන්ම සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් ජනයා සම්මිශ්‍රණය වී පවුල් සංස්ථා ගොඩනැගිණ.

එසේ වී නම් පින්වතුනි වර්තමානයේ ඔබ පිරිසුදු එකම ජාතියකින් පැවතගෙන එනවා යැයි කීම අපහසුය. එහෙයින් සියලු ජාතීන්ට ගරු බුහුමන් දක්වමින් තම තමන් යහගුණ ඇතිකර ගැනීම ශ්‍රේෂ්ඨතමය.

සමගිය බලය වේයන බුද්ධ වචනයට ගරු කරන්නේ නම් ඔබට ලෝකයාද හිස නමනු ඇත.

අනුශාසනාව

සියනෑ හාපිටිගම් දෙකෝරලේ ප්‍රධාන සංඝනායක, මගලේගොඩ විද්‍යාලයේ විදුහල්පති රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය

රදාවඩුන්නේ ශාන්ත අමරානන්ද

ස්වාමීන් වහන්සේ