සාර්ථක විවාහයක් කියන්නෙ එකම ආත්මයක් ශරීර දෙකක් තුළ ජීවත්වීමයි

මැයි 25, 2020

 පසුගිය සතියේ ඉතිරිය

අද බහුතරයක් විවාහ අසාර්ථකයි. ඒ ඔවුන්ගේ ප්‍රශ්න කියන්නේ තුන්වැන්නකුට නිසා.එතකොට එතැන සාර්ථක විවාහයන් ගොඩනැඟෙන්නේ නැහැ.

මම දවසක් කුරුණෑගල බණකට වැඩියා. දෙදාහකට ආසන්න පිරිසක් බණ අහන්න ඇවිත් හිටියා. ඔබට ලැබිලා ඉන්න සැමියා බිරිය ඊළග ආත්මයෙත් ප්‍රාර්ථනා කරන අය අත් ඔසවන්න කියලා මම කිව්වා.

මේ අය අතරින් විස්සක් විතර අත් එසෙව්වා. අනෙක් අය සද්ද නැතුව හිටියා. අත ඉස්සුවෙ නැති එක ආච්චි අම්මා කෙනෙක්ගෙන් මම ඇහුවා. ඇයි ආච්චි අම්මා ස්වාමි පුරුෂයාට ලබන ආත්මයේ ප්‍රාර්ථනා කරන්නෙ නැත්තේ කියලා.ඊළඟ ආත්මයේ නෙමේ හාමුදුරුවනේ මේ මනුස්සයා උප උපන් ජාතිත් මට එපා කියලා. ඒත් ඇය ඒ ස්වාමි පුරුෂයාට කෑම උයලා දෙනවා. යුතුකම් ඉටු කරනවා.නමුත් ආයෙ සසරේදී මේ ස්වාමිපුරුෂයාව ප්‍රාර්ථනා කරන්නේ නැහැ.ඇයි ඒ..? ඒ තමයි මිත්‍රත්වය මත ගොඩ නැඟුණු ආදරයක් නොවන නිසා. එයාලා අතර වෛරය ගොඩ නැගිලා. අසමානයින් එකතු වුණාම තමයි මෙවැන්නක් සිදු වෙන්නෙ. කෙනෙක් කියන්න පුළුවන් දැන් අපි විවාහ වෙලා ඉවරයි දැන් මොකද කරන්නේ කියලා. එවැනි අයටත් පුළුවන් මිත්‍රත්වය ගොඩනගා ගන්න. ඔබේ බිරිය සමඟ ස්වාමියා සමඟ ප්‍රශ්න විසඳා ගන්න විතරක් ගනුදෙනු කරගෙන වැඩක් නැහැ.මිත්‍රත්වය මතින් ගොඩනගා ගත් ආදරය සමඟින් තමයි ගෞරවනීය ආදරයක් පිහිටනුයේ. ඒ ආදරය තුළ හැමදේම සමානව බෙදාහදා ගත හැකිය.

දෙදෙනාගේම විශ්වාස සමාන නම් එකතු වී ඉන්න පහසුයි.එකිනෙකා අවිශ්වාස නම් එකතු වී ඉන්නට බැහැ. සැක නොහිතන විදිහට ඔබ කටයුතු කරන්නට දැන ගත යුතුයි. ඒ මක් නිසාද යත් ඔබ කිසිවිටෙක හිතන්නට එපා. ඔබේ සැමියා බිරිය ඔබ අවිශ්වාස කරන්නේ නැහැ කියන එක. අනෙකාගේ විශ්වාසය ආරක්ෂාකර ගන්න ඔබ උපරිම කැප විය යුතුයි. ඒක තමයි සම ශ්‍රද්ධාව කියන්නෙ. ඊළගට තමන් ප්‍රතිපත්ති රකින්නට ඕනෙ. එහෙම කෙනකුට කවුරුත් ආදරය කරන්නට කැමතියි. මේ විදිහට සමාන සිල්වතුන්ට සංසාරය පුරාවට ගමනක් යා හැකියි. ඔබ බිරිය සැමියා සමඟ ගනුදෙනු කරන්නට එපා. ගනුදෙනු කරන්න කාටත් හැකියි. ඒ වෙනුවට හොඳ සම්බන්ධතා බැඳීම් ඇති කර ගත යුතුයි. ඒ වගේ ඔබ දෙදෙනාගේ බැඳීම ශක්තිමත් කරගන්න ත්‍යාගවන්ත වන්න. යාළු කම් වලදී අත්හැරීම, කැපකිරීම කරන්න පුළුවන්. අන්න ඒක තමයි විවාහය දක්වා ගෙන යා යුතු වන්නේ. එය තමයි සැබෑ ආදරය.

අද අපේ රටේ ආදරය කරන මිනිස්සු මිත්‍රත්වය පවත්වන මිනිස්සු එකිනෙකාගේ මොළයේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධ කර ගත යුතු වෙනවා. ඒක නොදැන නම් ජීවිතය ගෙන යෑම පහසු නැහැ."මට ගෙදර ඉන්න එක මහ කන්දොස්කිරියාවක් " සැමියා එහෙම කියනකොට බිරිය කියන්නෙ "මේ මනුෂ්‍යාගෙන් එක වචනයක් කටින් එළියට ගන්න බැහැ." කියලයි. බලන්න ගැහැනු දන්නේ නැහැ පිරිමි වැඩිය කතා කරන්නේ නැත්තේ මානසික ප්‍රශ්නයක් නිසා නොවෙයි. එයාලා උපතින්ම භෞතිකව හැදිලා තියෙන්නේ අඩුවෙන් කතා කරන විදිහටයි කියලා. කාන්තාව වැඩිපුර කරන්නේ එයාගෙ මොළයේම ක්‍රියාකාරීත්වය ඒ විදිහට හැදිලා ඇති නිසයි. සමීක්ෂණ අනුව පිරිමියකු දවසකට කතා කරන්නේ වචන 7000කි. ඔහුට සන්නිවේදනයට අදාළ මොළයේ සෛල ඊට එහා දියුණු වෙලා නැහැ. කාන්තාවකට දවසකට වචන 20000ක් කතා කළ හැකිය. ඉතින් මේක නොදන්නා අය රණ්ඩුවෙනවා. පිරිමි බණිනවා කන්දොස්කිරියාවයි කියලා. ගැහැනිය බණිනවා මේ මනුස්සයා කතා කරන්නේ නැහැ කියලා. මේවා යාළුවෝ යාළුවෝ කතා කරගෙන හඳුනාගන්නවා. ඒවා විවාහකයෝ මෙවැන්නක් හඳුනාගන්නේ නැහැ. ඒ නිසයි පළමු මිත්‍රත්වය ඇති කරගෙන විවාහ දිවියට ඇතුළත් වීම වඩාත් සුදුසු. එතැන සම ප්‍රඥාව ඇත. අසහනය, කලකිරීම, වෛරය, එපා වීම එක්ක ගත කරන ජීවිතයට තිත තබන්න. මිත්‍රත්වය, ආදරය තුළ ඇති සම්බන්ධය ඔබ වටහා ගන්න.මේ තුළින් ගොඩනගා ගන්නා විවාහ දිවිය සාර්ථකයි.යශෝදරා හා සිද්ධාර්ථ අතර ප්‍රේමයත් එවැන්නක්. බෝධිසත්වයෝ ආත්ම ගණනක් යශෝදරාව අතරමඟ අතහරිනවා,තනි කරනවා.ඒත් වෛරයක් ඇති කර ගත්තේ නැහැ. ඒ ආධ්‍යාත්මිකව සමාන නිසයි. එසේ වූ විට අනෙකා කරන කියන දේට වෛර කරන්නේ නැහැ. උදවු කරනවා මිස. අදම ඔබේ බිරිය හොඳම යෙහෙළිය කර ගන්න, ඔබේ සැමියා හොඳම යහළුවා කර ගන්න. මේ නිවැසට තෙවැන්නකුට ඉඩක් තබන්නට එපා. දෙවියෙක් දෙවඟනක් හා ජීවත් වන්නා සේ ඔබේ විවාහ දිවිය ගත කරන්නට හැකි වේවි. මේ සමාන වීම කේන්ද්‍රරය ගැලපීමකින් කිසිදා කරන්නට බැහැ.

 

මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලද ධර්ම දේශනයක් ඇසුරිණි.