ක්‍රියාව සහ වචනය සංවර වු තැන 'හිත' සංවරයි

සැප්තැම්බර් 16, 2020

ශ්‍රමණානංව දස්සනං ඒතං මංගල මුත්තමං 

ශ්‍රමණයන් වහන්සේ නමක් දැකීම ම මංගල කරුණකි. මහා සංඝරත්නයේ වටිනාකම මෙතෙකැයි කිව නොහැකියි.

ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අදටත් ලොවපුරා පවතින්නේ තුනුරුවන්ගේ බලයෙනි. බුද්ධ රත්නය, ධර්ම රත්නය හා සංඝ රත්නයේ ආනුබලයෙනි. මෙයිනුත් ජීවමානව වැඩ වසන සංඝරත්නය ශාසනයේ ප්‍රබල ආරක්ෂකයායි. ගහට පොත්ත වගේ බැඳීමක් තිබේ.

මේ ගත වී යන්නේ වස්සාන සෘතුවයි. ශාසනයට වැඩිම මාර්ගපල භික්ෂූන් වහන්සේලා පිරිසක් බිහි වී ඇත්තේ මේ වස්සාන සෘතුවේයි. බුද්ධ කාලයේදී මේ වගේම වස්සාන සමයක බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ සිට රජගහනුවර වේළුවනාරාමයට වැඩියා. බුද්ධ ප්‍රමුඛ අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා රජගහනුවර තුන් මාසයක් වස් සමාදන්ව වස් පවාරණය කළා. මේ චීවර මාස තුළදී තමන්ට ඇප උපස්ථාන කළ දායකකාරකාදීන්ට හිත සුව පිණිස, සෙත් ශාන්තිය පතුරවන්ට කටයුතු කළා. දවසක් රජගහනුවර දුප්පත් ගම්මානයකට සැරියුත් මහරහතන් වහන්සේ පිඩු සිඟා වැඩියා. ඒ මාවතේ පුංචි පැල්පතක අම්මයි, තාත්තයි, දරුවකුයි ජීවත් වුණා. සැරියුත් මහ රහතන් වහන්සේ දුටු දරුවා උන්වහන්සේට තමන්ටත් දානයක් පිළිගන්වන්නට ආසා ඇති බව මවුපියන්ට දැන්වුවා. මවුපියන්ද දානය පිළියල කර දුන්නා.

" පුතාට තුනුරුවන්ගේ සරණයි " දානය පිළිගත් සැරියුත් මහරහතන් වහන්සේ දරුවාට ආශීර්වාද කළා. පුංචි පුතාගේ හිතට මේ වචනය හොඳීන්ම කා වැදුණා. මේ සිදුවීම හැමදාම සිදු වුණා. " ස්වාමීනි, මාත් මහණදම් පුරන්නට කැමැතියි. ඔබ වහන්සේ වගේම පිණ්ඩපාතේ වඩින්නත් කැමැතියි. " මවුපියන් කැමැති නම් මහණ කළ හැකි බව සැරියුත් මහරහතන් වහන්සේ වදාළහ. මවුපියන් ද දරුවාට අවසරය ලබා දුන්නා.

සැරියුත් හිමියන් මේ සත් හැවිරිදි දරුවාව මහණ කළා. ස්වාමීන් වහන්සේ නමක් වඩින්නේ කොහොමද?, දානය වළදන්නේ කොහොමද?, සැතපෙන්නේ කොහොමද? සියල්ල ඉගැන්නුවා. ගිහි පැවිදි භාෂිත වචන පිළිබඳවත් හොඳීන් අවබෝධය ලබා දුන්නා. පුංචි හාමුදුරුවන් ධර්ම විනය හොඳීන් ඉගෙන ගත්තා.

කෑම කනවා, කෑම වළඳනවා කියන වචනවල සැබෑ අරුත පසක් කර දුන්නා. ඕනෑම කෙනකුට ඕනෑම ආකාරයකට ඉඳගෙන, හිටගෙන, ඇවිද ඇවිද වුණත් කෑම කන්න පුළුවන්. ඒත් භික්ෂුව හොඳ සිහිනුවණින්, ඉනද්‍රීය දමනයකින් යුක්තව (පංචේනද්‍රීීයන් දමනය කරමින්) සම්මා සමාධියකින් යුතුව දානය ගැනීම, දන් වැළඳීම ලෙස හඳුන්වන බවත් අවබෝධ කර දුන්නා. ගිහියන් ගමනක් යනවා. ඒක වටපිට බල බලා, කැරකි කැරකී ඔහේ ගිය හැකියි. ඒත් සංඝයා වහන්සේලා සම්මා සතියෙන් යුක්තව, විය ගහක් දුර බලමින් වඩිනවා. ගිහියෝ නිදා ගන්නවා. ස්වාමීන් වහන්සේලා සැතපෙනවා. කෙලෙස් සහිත ගිහියෝ මණ්ඩුක සෙයියාවෙන් (ගෙම්බෙකු මෙන්) නිදා ගන්නවා. ජෛන සෙයියාවෙන් (උඩුබැලි අතට) නිදා ගන්නවා. ඒත් භික්ෂුව සිංහ සෙයියාවෙන් (බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ ආකාරයට කකුල උඩ කකුලක් තබා ගැනිම.) සැතපෙනවා. රාත්‍රියට සැතපෙන ස්වාමීන් වහන්සේලා සුව සේ නිදාගෙන සුව සේ අවදි වෙනවා. සැරියුත් මහරහතන් වහන්සේ මේ පුංචි හාමුදුරුවන්ට මෙලෙසින් පැවිදි විනය ඉගැන්වූවා.

දවසක් සැරියුත් හාමුදුරුවන් මේ පුංචි හාමුදුරුවන්ට තමන් උගන්වපු පරිදි විහාරයේ වැඩ සිටින ලෙස පවසමින් පිණ්ඩපාතයට වඩින්නට සුදානම් වුවා. එහෙත් පුංචි හාමුදුරුවන් මහණ දමට ආවේම පිණ්ඩපාතය කිරිමට කැමැත්තක් ඇති වූ නිසාමයි. එහෙම සිතූ පොඩි හාමුදුරුවන් පිණ්ඩපාතයට වඩින්න ලෑස්තිවුණා.

කෙතරම් කීවත් පොඩි හාමුදුරුවන්ට පිණ්ඩපාතය වඩින්නට ඕනෑ වුණා. බැරිම තැන "මා අනුකරණය කරමින් ඔබ වහන්සේ පිණ්ඩපාතය වඩින්න " යැයි සැරියුත් මහරහතන් වහන්සේ පැවසුවා. ගම මැදින් ටික දුරක් යනකොට ගොවියෝ ඇළ වේලි සුද්ද කරනවා දැක්කා. සැරියුත් හිමියන් බලද්දී පොඩිහාමුදුරුවන් නැහැ. ඈත කෙලවරක පාත්‍රය තබාගෙන ගොවියොත් සමඟ උසුළු විසුළු කරනවා දුටුවා. ඒ මොහොතේ මේ බව නොවිමසා පිණ්ඩපාතය නිම වී විහාරයට වැඩියා. අපේ වැඩිහිටියෝ නම් දරුවකු වරද කළ සැණින්ම විමසනවා. කෑ කෝ ගහනවා. දඬුුවම් දෙනවා. එහෙම ආවේගශීලී නොවිය යුතුයි.

සැරියුත් හිමියන් එදින රාත්‍රි කාලයේ පුංචි සාමණේර භික්ෂුවගෙන් දහවල් සිදුවීම විමසා සිටියා. එවිට පිළිතුරක් නොදුන් සාමණේර භික්ෂුව ප්‍රශ්නයක් නගා සිටියා.

" මම ඇළ කපන අය දිහා බලන් හිටියා. ඇළ දිගේ වතුර ගියා. එහෙම ගමන් කරන්න වතුරට හිතක් තියෙනවාද නායක හාමුදුරුවනේ? "

සැරියුත් හිමි පිළිතුරක් නොදී සිටියා. මෙලෙසින් දෙවැනි දිනත් පිණ්ඩපාතය වැඩියා. එවිට සාමණේර භික්ෂුවට කම්හලේ යකඩ තලන සද්දය ඇහුණා. ගිනි මල් විසිවෙනවා දැකපු පොඩි හාමුදුරුවෝ හොරෙන්ම කම්හල ඇතුළට ගියා. එදත් රාත්‍රියේ පෙරදා මෙන්ම ඒ ගැන විමසුවා. ප්‍රශ්නයට පිළිතුරක් නොදී සාමණේර භික්ෂුව නැවත ප්‍රශ්නයක් ඇහුවා.

" කම්හලේ පරණ යකඩ ලොකු ලොකු යකඩ කෑලි තලලා ලස්සන බඩු හදනවා. එහෙම හැදෙන්න යකඩවලට හිතක් තියෙනවාද ? "

මේ ප්‍රශ්නයටත් සැරියුත් මහරහතන් වහන්සේත් පිළිතුරක් දුන්නේ නැහැ.

තෙවැනි දින වඩු මඩුවක් වෙත සාමණේර භික්ෂුව ගියා. එදිනත් රාත්‍රියේ සැරියුත් හිමි ඒ ගැන විමසුවා. "ලොකු ගස් ගෙනත් රවුමට, හතරැස්ව බඩු මුට්ටු හදනවා. මෙහෙම හැදෙන්න ලී වලට හිතක් තියෙනවද? " යැයි සාමණේර භික්ෂුව ඇසුවා. මේ ප්‍රශ්න තුන ගැනම කල්පනා කළ සැරියුත් මහරහතන් වහන්සේ හිතා ගත්තා සාමණේර භික්ෂුවගේ චින්තනය ගැඹුරු බව. මවුපියන් තම දරුවාට ආදර්ශයක් වන්නේ යම්සේද සැරියුත් මහරහතන් වහන්සේ තම ගෝල සාමණේර භික්ෂුවට සැබෑම ආදර්ශවත් ගුරුවරයකු විය. ඒ අනුව උන්වහන්සේ සාමණේර හිමියන් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට රැගෙන යන්නට කල්පනා කළා.

බුදුරජාණන්වහන්සේ හමුවට ගිය සැරියුත් හිමියන් පසඟ පිහිටුවා බුදුරජාණන්වහන්සේට වන්දනා කළා. එකත්පස්ව හිඳගත්තා. සාමණේර භික්ෂුවත් ඒ සියල්ල අනුගමනය කළා. ඉන් පසුව පෙර තමන්ට පැන නැගි ප්‍රශ්න තුන බුදුරජාණන්වහන්සේට ඉදිරිපත් කළා.

වසර දෙදාස් පන්සීයක් ගත වූවත් අදටත් ඒ සාමණේර හිමියන් හඳුන්වන්නේ පණ්ඩිත සාමණේරයන් වහන්සේ කියලා.

" වතුරට හිතක් නැහැ - හිත් පිත් නැති වතුර ටිකක් උසස් මනසක් ඇති මනුෂ්‍යයකුට ඕන තැනකට ගෙන යන්න පුළුවන්. ඕනෑම රළු යකඩයකින් තමන්ට අවශ්‍ය භාණ්ඩය හදන්න කම්මල්කරු දන්නවා. දක්ෂ වඩුවකුට මොනයම් විදියේ ලීයකින් වුව නිර්මාණයක් කළ හැකියි. හිත ශක්තිමත් නම් ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් කළ හැකියි." යැයි පුංචි සාමණේර භික්ෂුව බුදුරජාණන්වහන්සේ කරුණු කාරණා වටහා දුන්නා.

හිතක් තියෙන අයට මේ ලෝකයෙ මහන්සි ගන්න ඕනෙ තම හිත දමනය කරමින් කෙලෙස් පහ කර ගනිමින් ජීවත් වීමට බව තව දුරටත් බුදුරජාණන්වහන්සේ වදාළහ. ක්‍රියාව සහ වචනය සංවර වූ තැන 'හිත' සංවර වේ.

මනුෂ්‍ය ආත්මය හරිම දුර්ලභයි. එයින් කුසල් රැස්කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුයි.

 

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ කළ ධර්ම දේශනාවක් ඇසුරිනි.

 

2020/09/16 තරුණි බලන්න