නීරෝගිකම තරම් ධනයක් ලොව තවත් නැත

මැයි 12, 2021

'සන්තුට්ටි, පරමං ධනං' සතුට පරම ධනයයි. මෙලොව උපන් අප සැමගේ බලාපොරොත්තුව සතුටින් සිටීමයි. එසේ නම් අපට සතුටින් සිටීමට අවැසි මොනවාද? මිනිසත් භව ලැබූ අපට සතුටින් සිටීමට නම් අවශ්‍ය කරන කාරණා හතරක් තිබේ.

අඳින්න ඇඳුම්, ආහාර. එසේම නවාතැනක් අවශ්‍යයි. විශේෂයෙන්ම අසනීප වුවහොත් රෝගවලින් වැළකී සිටීමට ඖෂධ අත්‍යවශ්‍යම වේ. මේ කාරණා හතර දුගී පැල්පතට මෙන්ම මහ මන්දිරයට ද එකසේ බලපානු ඇත.

 

අද ලෝකයට සිදු වී ඇති දෙය බලන්න. පවතින ගෝලීය වසංගතය හමුවේ ලොවම ලෙඩ වී ඇත.එහිදී ධනය, නිලය, බලය කිසිසේත් බලපා නැත. එබැවින් අප කා හටත් ලැබිය හැකි වටිනාම ධනය, සම්පත වන්නේ නීරෝගිකම නොවෙයිද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සිවුපසය ලෙසින් භික්ෂුන් වහන්සේට අනුමත කළේ මේ සතරයි. සැබැවින්ම මෙලොව කාහටත් ජීවත්වීමට අවශ්‍ය කරන්නේ මේ හතර පමණි. එලෙස කියා මේවා අධිකව සොයන්නට යෑම නිසා, ප්‍රමාණය ඉක්මවා පරිභෝජනය කිරීමට යෑම නිසා අපේ සතුට අඩුවී යනු ඇත.

තව අතකින් බැලුවහොත් ගිහියකුගේ සතුට වර්ධනය වීමට නම් ඒ සඳහා අවශ්‍ය කරන දේ බොහොමයි. ඒ අතර සම්පත් ලාභ, ධනය, යහපත් නෑයන් ආදිය ඉවහල් වේ. මේ මොනදේ තිබුණත් නීරෝගිකම නොමැතිනම් වැඩක් නැත. අපට කොතරම් යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, මිල මුදල්, ඥාති මිත්‍රාදීන් මොනදේ තිබුණත් කවුරු සිටියත් ලෙඩින් නම් ඒ කිසිවකින් ඇති ඵලය කුමක්ද?

බුදුරජාණන් වහන්සේ එදා මෙලොව ඇති ලාභ අතරින් උතුම්ම ලාභය නීරෝගිකම යනුවෙන් හැඳින්වූයේ මෙනිසා නොවේද? මොන තරම් ධන සම්පත් තිබුණත් සතුට තරම් ධනයක් ලෝකයේ තිබෙනවාද? මොන තරම් නෑදෑයන් සිටියත් විශ්වාසවන්ත අය නොවේනම් නෑදෑයන්ගෙන් කවර ප්‍රයෝජනයක්ද? ලේ ඥාතීන් නොවුණත් විශ්වාස වන්ත අය නියම නෑදෑයෝ නොවේද? මෙලොව මොන සැප තිබුණත් ඒ සියල්ලටම වඩා හොඳම සැප නිවන් සැප නොවේද? එසේ නම් අප ලොව හොඳම සැප සොයා යන ගමනට නිරෝගීව ගමන් කළ යුතුය. ඒ නිසා නිරෝගී බව රැක ගැනීමට කටයුතු කළ යුතුය.

බුදුරජාණන් වහන්සේ නිරෝගීකම උදෙසා භික්ෂූන් වහන්සේලාට උදේ අවදි වූ මොහොතේ පටන් දත් මැදිය යුතුය, මුහුණ සේදිය යුතුය, නිය කැපිය යුතුය, ස්නානය කළ යුතුය, සිවුරු සෝදා පිරිසුදුව තබා ගත යුතුය, ඇඳ ඇතිරිලි මෙන්ම කාමර පිරිසුදුව තබා ගත යුතුය, ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතුයි යනාදී බොහෝ කාරණා පිළිබදව දේශනා කොට ඇත. මේ සෑම දෙයක් තුළින්ම භික්ෂූන් වහන්සේලාගේ නිරෝගීතාව මෙන්ම සැහැල්ලුබව සලකා ඇත. එයින් කායික නිරෝගීබව මෙන්ම මානසික නිරෝගීතාවය ඇති වේ. එසේ කිරීම තුළින් නිර්වාණය කරා ගමන් කිරීමට පහසුවනු ඇත.

රජ සැප විඳිමින් සිටි සිදුහත් කුමරු ගිහි සැප ගැන කලකිරුණේ පෙර නිමිති තුනක් දැකීමෙනි. (සතර පෙර නිමිති දැක කලකිරුණා යැයි පැවසීම වැරැදි මතයකි. භික්ෂුන් වහන්සේ නමක් දැක සසර පිළිබඳ කලකිරීමක් ඇතිකර ගත්තේ නැත.)

එහි එක පෙර නිමිත්තක් වූයේ රෝගියෙකි. දේවදූත සූත්‍රය අනුව අපට සසර දුක තේරුම් ගැනීමට සසර දුක අවබෝධකර ගැනීමට රෝගියා යනු දේව දූතයෙකි. රෝගීන් දෙස බලා අපටත් මෙවැනි දේ කෙදිනක හෝ ඇති වේ යැයි සිතා පින්දහම් කළ යුතුයි.

අපට වැලඳෙන ප්‍රධාන රෝග දෙකකි. පළමුවැන්න කායික රෝගයි. දෙවැන්න මානසික රෝගයි. එම නිසාම ලොව වෛද්‍යවරුන් ද කොටස් දෙකකි. ඒ කායික වෛද්‍යවරු සහ මානසික වෛද්‍යවරු යනුවෙනි. මේ ලෝකයේ බොහෝ දෙනා අනෙකකුට කායික රෝගයක් ඇතැයි දැනගත් පසු අනුකම්පා කරති. සැප දුක විමසති. උදවු කිරීමට ඉදිරිපත් වෙති. තමා දන්නා අත් බෙහෙත්, තෙල් වර්ග ආදිය දීමට ඉදිරිපත් වෙති. එහෙත් මානසික රෝගයක් ඇතැයි දැනගතහොත් සිනාසෙති.

උපහාසයට ලක්කරති. අනුකම්පා නොකරති. විහිළු කරති. නමුත් අප මේ රෝග දෙකෙන් වැඩි අවධානයක් යොමු කළ යුත්තේ මානසික රෝගවලට බව බොහෝ දෙනෙක් නොදනිති. මානසික රෝග සෑදුණු පසු කය පිළිබඳ කිසිම හැඟීමක් නොමැත. අපගේ කායික රෝගවලට ප්‍රතිකාර කිරීමටත් මනස නීරෝගිව තිබිය යුතුය. එසේ නොමැතිනම් කායික රෝග ද වර්ධනය වේ. ඒවාට ප්‍රතිකාර කිරීමට පවා නොහැකි වේ.

අපට සෑදෙන කායික රෝග කීයක් තිබේද‍? ගණන් කළ නොහැකි තරම් රෝග අපට ඇත. පැරණි අපේ මුතුන් මිත්තන් අට අනූවක් (98) ව්‍යාධි, නව අනූවක් රෝග (99) යනුවෙන් හැඳින්වූයේ සිරුරේ බොහෝ රෝග ඇති බව වටහාගත් නිසා වන්නට ඇති. හිස මුදුණේ සිට දෙපතුල දක්වා ඇති මුළු සිරුරම රෝග ගොඩකි. අහවල් තැන වේදනාවක් ඇති නොවේ,

අහවල් ඉන්ද්‍රීයයේ වේදනාවක් ඇති නොවේ. මේ ඉන්ද්‍රියේ රෝග ඇති නොවේ යැයි කියා අපට කිව නොහැකිය. සෑම ඉන්ද්‍රියයක්ම දුබල වේ. කැඩේ, බිඳේ, වේදනා ගෙන දේ. තුවාල වේ. විකෘති වේ. රෝග ඇති වේ. එම නිසා බුදුරජාණන් වහන්සේ ශරීරය රෝගවලට කැදැල්ලක් ලෙස හඳුන්වා ඇත.

අපස්මාර රෝග, දද රෝග, දියවැඩියා රෝග, පිළිකා රෝග, අංශ රෝග, පිත රෝග, සෙම රෝග, වාත රෝග, කර්ම විපාක නිසා හටගන්නා රෝග,‍ සීත, උෂ්ණ, කුසගින්න, පිපාසය නිසා හට ගන්නා රෝග වශයෙන් බොහෝ රෝග පවත්නා බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.

අද වන විට මීටත් වඩා රෝග ඇති බව අප දනී. කොරෝනා වසංගතය ඊට හොඳම නිදර්ශනයයි.

මෙලොව ඉපදුන අපට කායික සුවය මෙන්ම මානසික සුවය ද ඉතා වැදගත් වේ. සමහර විට කායිකව මොන සැප සම්පත් තිබුණත් මානසික සුවය නොමැති නම් ඵලක් නැත. ඒ නිසා කායික මානසික යන අංශ දෙකෙහිම සුවය රැක ගැනීමට වග බලා ගත යුතුය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පනවා ඇති විනය ශික්ෂා පදය විමසා බැලීමේදී පෙනීයන්නේ ඒ සෑම ශික්ෂා පදයක්ම අපේ කායික හෝ මානසික නිරෝගීතාවට උපකාරී වන බවයි.

බුදු දහමට අනුව ඔබට පන්සිල්, දස සිල් පිළිපැදීමෙන් කායික මානසික සුවතාව වඩවා ගත හැකි වනු ඇත.

අද වෛද්‍ය උපදෙස් මත සමහර අය රාත්‍රී ආහාර නොගෙන සිටිති. තවත් සමහරු සිරුර තරබාරු වේ යැයි ආහාර නොගෙන සිටිති. ලෙඩ රෝග අඩුවීමට කායික සැහැල්ලුවට විකාල භෝජන ශික්ෂා පදය අදාළත්වය කොතරම්ද යන්න අද අපට මනාව පසක් වේ. එසේම අධි සුඛෝපභෝගීබව නිසා මිනිසුන් බොහෝ සේ ලෙඩ රෝගවලට ගොදුරු වන බව කවුරුත් දැන් දන්නා කරුණකි. අල්පේච්ඡ දිවි පෙවෙත තුළින් අපේ නිරෝගී බව සැහැල්ලු බව ඇති වේ.

ඒ නිසා උච්චාසයන මහා සයන භික්ෂා පදය වැදගත් ව්. එපමණක් නොව නැටුම්, ගැයුම්, වැයුම් ආදිය නිසා අපගේ මානසික සුවය වර්ධනය වේ යැයි ඔබ සිතනවා ඇති. එහෙත් සත්‍යම දේ නම් ඒවා ද අපේ මනස විකෘති කිරීමට හේතුවක් වන බවයි.

එදා කෝලිත උපතිස්ස දෙදෙනා ගිරග්ග සමජ්ජ නාට්‍ය දෙස බලා ජීවිතය කලකිරුණා සේ අපටත් විසූක දස්සන නිසා විකෘති වන සිත යහමඟට ගැනීමට හැකිනම් කෙතරම් අගනේද?

ඔබ මේ දේවලුත් සිතට ගෙන අද වසංගතයක් වී ඇති කොරෝනා ව්‍යසනයෙන් ප්‍රවේසම් වී දිවිය රැක ගැනීමට මනා ජීවිතාවබෝධයක් ලබා ලබාගන්න.

 

 

පූජ්‍ය කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවක් ඇසුරිනි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.