උතුම් රතන සූත්‍රයේ අනුහසින් ලොවම සුවපත් කළ හැකියි

මැයි 19, 2021

 

විසාලා මහනුවර තුන් බිය දුරුවුණු හැටි

කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා ජීවිත ලක්ෂ ගණනින් බිලිගෙන හමාරය. මෙහි වඩාත්ම ශෝචනීය සිදුවීම වන්නේ අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ මේ වසංගතය නිසා මිනිස් ජීවිත දහස් ගණනින් නැති වීමයි. දිනකට වෛරසයට ගොදුරුව මිය යන පිරිස හාර දහසක් තරම් ප්‍රමාණයක් වී ඇති අතර අගනුවර වන දිල්ලියේ මහ මඟ පවා මිනිසුන් මිය යන අතර මළ මිනී දැවෙන දසුන් සිතට උපද වන්නේ භීතියකි.

 

මේ නිසා බොහෝ දෙනෙක් අතීතයේ විසාලා මහනුවර ඇතිවූ තුන් බිය සිහිපත් කරන අතර, බුදු හිමියන් විසාලාවට වැඩම කරමින් තුන් බිය දුරු කළ රතන සූත්‍ර දේශනාව පිළිබඳව සිහිපත් කරති.

අපේ රටේ ද මේ වන විට දිනකට රෝගයට ගොදුරු වන්නන් දෙදහසකකට තරම් ප්‍රමාණයක් වාර්තා වීමෙන් බොහෝ දෙනෙක් අනාගතයේදී අපේ රටත් විසාලාවක් වේ දෝයි බියෙන් පසුවෙති. මේ නිසා ලොව්තුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ රතන සූත්‍රයේ වටිනාකම එදාට වඩා අද හොඳින්ම දැනෙන කාලයකි. මුළු ලෝකයම විසාලාවක් කරා ඇද දමන්නට සැරසෙන කොරෝනා වෛරසය හමුවේ යළි යළිත් උතුම් වූ රතන සූත්‍රයේ ආනුභාවය බෞද්ධ අබෞද්ධ සියලු ලෝ වැසියෝ අද මෙනෙහි කරති. මේ මහා භද්‍රකල්පයෙහි ලොවට පහළ වූ සතර වැනි බුදුවරයාණන් වන අපගේ ගෞතම බුදුරදුන් වේළුවනාරාමයේ වැඩ සිටි සමයේ ඉන්දියාවේ විසාලා මහනුවර ඇතිවුණු තුන් බිය පිළිබඳවත්, රතන සූත්‍රය දේශනා කළ පසු එයින් අත් මිදුණු ආකාරයත් පිළිබඳව ඔබ දැනුවත් වීම වැදගත්.

බුදුන් දවස විසාලා මහනුවර මහා දුර්භික්ෂයක් ඇති විය. මේ දුර්භික්ෂය නිසා ආහාර හිඟ වුණු අතර ආහාර නොමැති වීමෙන් කුසගින්නේ විශාල පිරිසක් මිය ගියහ. මළ මිනී ඉවත් කරන්නට වත් කෙනෙක් ඉතුරු නොවුණු තරමට ඒ නුවර සිටි වැසියෝ මියගියහ. ඉවත් ‍නොකළ මළමිනී කුණු වී හැමූ දුගඳින් මුළු නුවරම දුර්ගන්ධවත් වූ අතර එය අමනුෂ්‍යයන්ට තෝතැන්නක් විය. ඒ නිසා අමනුෂ්‍යයෝ නුවර ආක්‍රමණය කළහ. මේ නිසා භීතියට පත් මිනිසුන් තව තවත් මිය යන්නට විය.

අධික ලෙස ගොඩගැසුණු කුණු වී ගිය මෘතදේහ හේතුවෙන් අභිවාතක නම් ඉතාමත් දරුණු රෝගයක් ඇතිවිය. මෙලෙස රෝග, දුර්භික්ෂ, හා අමනුෂ්‍ය යන තුන්බියෙන් වෙලීගිය නුවර වැසියෝ මේ බව රජතුමාට දැන්වූහ. බුදුන් වහන්සේ මේ නුවරට වැඩම කරවීමෙන් මෙම දුර්භික්ෂය දුරුකරගත හැකිවෙතැයි යන්න රජතුමන්ගේ සහ වැසියන්ගේ තීරණය විය.

පසුව බිම්බිසාර රජතුමන්ගේ අවසරය ඇතිව ලිච්ඡවී රජදරුවන් බුදුන් වහන්සේ හමුවී “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස විසාලාවේ තුන්බියෙන් වෙලීගිය ජනතාවගේ හිතසුව පිණිස විසාලාවට වඩින්නැයි” ඉල්ලීමක් කළේය.

බුදුන් වහන්සේ පන්සීයක් සංඝයාවහන්සේලා සමග විශාලාවට වැඩමකර රතන සූත්‍රය දේශනා කළ සේක. ඒ සමග ඇදවැටුණු මහා වර්ෂාවෙන් මළ සිරුරු සියල්ල ගංඟා වලට ගසාගෙන ‍ගොස් නුවර පිරිසුදු විය.

ඉන්පසු බුදු හිමියෝ ආනන්ද හිමියන් අමතා රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍ය සහිතව ලිච්ඡවී රජදරුවන් සමඟ විසාලාවේ පවුරු වටා පිරිත් පැන් ඉසින්නැයි වදාළ සේක. ආනන්ද හාමුදුරුවන් ද බුද්ධ පාත්‍රයට පිරිත්පැන් ගෙන රතන සූත්‍රය දේශනා කරමින් මුළු නුවරම පිරිත්පැන් ඉස්සාහ. මෙලෙස දින හතක් පුරා රතන සූත්‍රය දේශනා කිරීමෙන් තුන්බිය දුරුවූ අතර නුවර වැසියෝ සැනසුණාහ.

කොරෝනා රෝගයට එරෙහි එන්නත් කිහිපයක් මේ වනවිට සොයාගෙන ඇති අතර එම එන්නත් දැන් අපේ රටේ ජනතාවට ද ලබා දෙමින් පවතී. එහෙත් ඔබ කළ යුත්තේ වඩාත් පරිස්සම් වීමය. නිර්මාංස ආහාර රටාවකට හුරුවීමය. පන්සිල් රකිමින් ධර්මානුකූලව ජීවත් වීමය. දුර්ලභ මේ මිනිස් ජීවිත වලට ආලෝකයක් උදාකර දිය හැකි රතන සූත්‍රයේ අනුහස් හොඳින් දැන එය උදේ සවස නිවෙසේ සජ්ඣායනා කරන්න. එසේ සජ්ඣායනා කිරීමට අපහසු නම් උතුම් සංඝයා වහන්සේලා දේශනා කර ඇති රතන සූත්‍රය ඇතුළත් හඬ පට මගින් හෝ නිවෙසේ, ව්‍යාපාරික ස්ථානයේ, ගම් නියම් ගම් මධ්‍යයේ නිතර ඇසෙන්නට සලස්වන්න.

ඔබට ජීවිතාවබෝධය ඇති කර ගන්න කොරෝනා වසංගතය සමය හොඳම කාලයයි. එබැවින් රතන සූත්‍රයේ නියම අතීත කතාවත් එහි ඇති අසීමිත බල සම්පන්නභාවයත් සිත්හි තබා ගන්න. එය කොරෝනාවෙන් පමණක් නොව සියලු හානි වලින් අත්මිදීමට මඟක් වනු නිසැකය. එකිනෙකා කෙරෙහි අනුකම්පා සහගත වන්න. මෛත්‍රිය පතුරවන්න. ඒ සත්‍යානුභාවයෙන් යහපතක් සැනසිල්ලක් උදාවනු ඒකාන්තය.

 

 

අනුශාසනාව

සියනෑ හාපිටිගම් දෙකෝරළයේ අධිකරණ සංඝනායක, මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, රනිස්වල ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ