පාරිභෝගික රුචිය ඇතිකරන භාණ්ඩ ප්‍රදර්ශනයට තියන්න

නොවැම්බර් 26, 2018

ඕනෑම ආයතනයක පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට හැකියාවක්, දැනුමක් ලබා තිබීම අතිශයින්ම වැදගත්. අද වෙළෙඳපොළේ විවිධ නිෂ්පාදන දහස් ගණනක් ඇත. ඒ අතරින් සේවාලාභියාගේ අවශ්‍යතාවයට සරිලන පරිදි විවිධ තෝරා ගැනීම් සඳහා නොයෙකුත් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන සහ භාණ්ඩ ඉදිරිපත් කිරීමටත්, එයින් ලාභය වැඩි කර ගැනීමටත් රූපලාවණ්‍ය ශිල්පිනිය දැනුමක් ලබා තිබිය යුතුයි.

ඒ සඳහා ඔබ ආයතනය තුළ විවිධ සත්කාර, සේවා ලබා දීමට අමතරව අලෙවි කර ගත හැකි භාණ්ඩ ද කවුළු ලෙසින් ප්‍රදර්ශනයට තබා තිබිය යුතු වේ. මෙමගින් ව්‍යාපාරය විශාල ලෙසින් දියුණු වේ. එමෙන්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය දියුණුවෙමින් පවතින ක්ෂේත්‍රයක් වන නිසා සෑම මොහොතකම නව සේවා, නිෂ්පාදන නිපදවේ. එබැවින් ඒ සියල්ල ගැන දැනුවත්භාවයකින් පසුවිය යුතු අතර නව ආලේපන, අමුද්‍රව්‍ය ද ආයතනය තුළ ප්‍රදර්ශනයට ඇතුළත් විය යුතුයි.

එසේ ප්‍රදර්ශනයට තබා තිබෙන සියලුම ආලේපන, ද්‍රව්‍ය හා භාණ්ඩ යනාදිය ආයතනයට කෙතරම් ගැළපේද යන්නත් එයින් සපුරාලිය හැකි අවශ්‍යතාවයන් පිළිබඳව ඉගෙන ගැනීම තුළින් හොඳ ආදායමක් ලබා ගැනීමට ඔබට හැකි වනු ඇත.

NVQ පාඩම් මාලාව තුළදී මෙම පරිච්ඡේදයෙන් සේවාලාභින් සඳහා භාණ්ඩ හා සේවා ප්‍රවර්ධනය සහ ප්‍රදර්ශනය කිරීමේ ඒකක පවත්වා ගැනීම පිළිබඳව ඉගැන්වීම සිදු කරයි.

අද වන විට රූපලාවණ්‍ය ආයතන ඉතා තරඟකාරි දියුණු මට්ටමක පවති. එබැවින් පාරිභෝගිකයන් සෑම විටම උත්සාහ කරන්නේ තම මුදලට උපරිම සේවාවක් ලබා දෙන ආයතනයක් තෝරා ගැනීමටයි.

ඒ සඳහා අද කාලයේ සෑම රූපලාවණ්‍ය ආයතනයක්ම තරගකාරීව ව්‍යාපාර කටයුතු කරයි. එහිදී වෙළෙඳපොල දිරි ගැන්වීම සඳහා සිත් ඇදගන්නා, හැඟීම් වැඩි කරන ද්‍රව්‍ය සහ භාණ්ඩ ප්‍රදර්ශන කවුලු ලෙසින් පවත්වා ගැනීම සිදුකරයි. ඒ තුළින් පාරිභෝගිකයා කෙරෙහි ආයතනය සම්බන්ධව ධනාත්මක සිතුවිලි හට ගැනීමෙන් පාරිභෝගිකයාගේ ආකර්ෂණය දිනා ගැනීමටත් හැකි වේ.

භාණ්ඩ ප්‍රදර්ශනයේදී වෘත්තිමය පිළිවෙත්, සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙමින් ඒවා නිවැරැදිව ක්‍රමාණුකූලව පවත්වා ගැනීමට පුහුණු වන්න.

එහිදී ඔබ අලෙවි කරන දේ පිළිබඳව ඔබට මනා දැනුමක් තිබිය යුතුයි.

පාරිභෝගිකයකු නිෂ්පාදනයක් පිළිබඳව විමසන විට මනා සන්නිවේදන හැකියාව සාර්ථකව පවත්වා ගනිමින් අලෙවි කටයුතු සිදු කරන්නත් අමතක කරනන එපා.

අලෙවිකරණයේදී පහත සඳහන් කරුණු ගැන ද වැඩි අවධානයක් යොමු කරන්න.

සන්නිවේදන හැකියාව

භාණ්ඩ හා සේවා පිළිබඳ දැනුම

විකිණීමේ මූලධර්ම

මුදල් ගෙවීමේ ක්‍රම

ප්‍රවර්ධනය

අලෙවිකරණය සහ ප්‍රචාරණය

සේවා ප්‍රවර්ධනය සඳහා සන්නිවේදන හැකියාවන් වර්ධනය කළ යුතුයි. සන්නිවේදනය යනු කතාව සහ සවන්දීම ඇතුළු ද්විපාර්ශවික ක්‍රියාවලියකි. ආයතනයට යම් කිසි කෙනෙකු පැමිණෙන්නේ එම ස්ථානය තමාට ඉතා වැදගත් නිසයි.

භාෂාව භාවිතය

පරිභෝගිකයා ආයතනයට පැමිණ තත්ත්පර 30 ක් ඇතුළත සුහද සිනහවකින් පිළිගැනීම කළ යුතුයි. එය සේවාව ලැබීමට ප්‍රථම ඔබ ගැන යම් විශ්වාසයක් ගොඩනගා ගැනීමට ඉවහල් වේ.

පාරිභෝගිකයා සමඟ මනා සන්නිවේදනයක් පවත්වා ගැනීමට භාෂාව ඉවහල් වේ.

භාෂාව පිළිබඳව දැනුවත් භාවයකින් පසුවීම තුළින් පාරිභෝගිකයා සමඟ වෘත්තිමය සුහද සබැඳියාවක් ඇතිකර ගත හැකියි. එහිදී ගැඹුරු වචන භාවිත නොකර සරල වචන යොදා ගනිමින් සන්නිවේදනය පවත්වා ගන්න.

සේවා හා සත්කාර සඳහා භාණ්ඩ නිෂ්පාදනවලින් ලබා ගත හැකි ප්‍රයෝජන පිළිබඳව පරිභෝගිකයාට නිවැරැදි උපදෙස් ලබා දෙන්න.

සේවාව එක් වරක් නොව කිහිප වරක් කිරීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි බව වටහා දෙන්න.

සේවාලාභියාගේ අවශ්‍යතාවය පිළිබඳ හැකිතාක් තොරතුරු ලබා ගැනීම සඳහා විවෘත ප්‍රශ්න අසන්න.

අලෙවිකරණය සහ ප්‍රචාරණ කටයුතුවලදී වර්ණ සටහන්, ප්‍රවර්ධන පත්‍රිකා යොදා ගනිමින් ප්‍රචාරණ කටයුතු සිදු කරන්න.

අලෙවිකරණයේදී රළු අලෙවි ක්‍රම භාවිතය, සේවාදායකයා මෙන්ම ආයතනය ද පීඩාවට පිළිකුලට පත්වන බව වටහා ගන්න. සාර්ථක අලෙවිකරණයක් සඳහා මනා සන්නිවේදන හැකියාවක් ඇති කර ගන්න.

නොදැනුවත්කම නිසා ඇතිවන අවිනිශ්චිතභාවය සේවා ප්‍රවර්ධනයට බාධාවක්ය. භාණ්ඩවල නිෂ්පාදන උපදෙස් සහ පෙර අත්දැකීම් ද ප්‍රයෝජනයට ගන්න.