ගමනට බිමනට බෑගයක්

පෙබරවාරි 20, 2019

ඉටි බෑග් තහනම නිසා පරිසර හිතකාමී බෑග් සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. මෙහි දැක්වෙන්නේ ඒ සඳහා කදිම ආදේශකයක්. මෙය ගෝනි රෙදි භාවිතයෙන් නිම කළ හැඩැති බෑගයකි. වෙළෙඳපොළට යන ඔබට වගේම අමතර පන්ති යන දරුවන්ටත් මෙවැනි බෑගයක් කදිමයි. එසේ නම් අපි මේ බෑගය නිර්මාණය කරගන්නා ආකාරය බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

ගෝනි රෙදි

ඇප්ලික් කිරීමට ෆෙල්ට් රෙදි

ලයිනිං සඳහා රෙදි

ගැළපෙන වර්ණ නූල්

 

නිර්මාණය කිරීම

පළමුව ගෝනි රෙද්දෙන් හා ලයිනිං රෙද්දෙන් අඟල් 12½ ක් පළල අඟල් 14½ ක් දිග රෙදි කොටස් දෙක බැගින් කොටස් හතරක් ඉදිරිපස හා පිටුපස පළු සඳහා කපාගන්න. ෆෙල්ට් රෙදි භාවිතකර මලක හෝ කුරුල්ලලා සහ පලතුරු ඉත්ත ගැළපෙන වර්ණවලින් කපාගන්න. ඉදිරි පළුව සඳහා ගෝනි රෙද්දෙන් කැපූ කොටසට මල් හෝ කුරුල්ලා සහ පලතුරු කොටස් තබා ඇප්ලික් කරගන්න. මෙම බෑගයේ හැන්ඩ්ල් සඳහා අඟල් 1 ක් පළලට අඟල් 30 ක් දිගට කොටස් දෙකක් කපාගන්නන. එය දිග අතට දෙකට නමා මසා හොඳිපිට හරවා ගන්න. පසුව බෑගයේ ඉදිරිපස හා පිටුපස පළු දෙකට හැන්ඩ්ල් අල්ලාගන්න. ඒ එම පළුවල මැද ලකුණුකර එහි සිට අඟල් 2 1/2 ක් පමණ දෙපසට වන්නටයි. පසුව බෑගයේ ඉදිරිපස හා පිටුපස කොටස් හොඳ පිටට හොඳ පිට තබා වටේ මසාගන්න. අවසානයේ ලයිනිං කොටස් 2 ද එලෙස බෑගයේ ඇතුළට රිංගවා බෑගයේ කට වටේ නමා මසාගන්න. කට වටේට කැමැති නම් වර්ණවත් පටියක් ද අල්ලා ගත හැකියි. දැන් බලන්න, ලස්සන බෑගයක් දැකගත හැකියි.

 

2019/02/20 තරුණි බලන්න.