ඉවතලන යෝගට් කෝප්පවලින් පරිසරය සුරකින්න ඔබත් එක්වන්න....

මාර්තු 20, 2019

සුන්දර පරිසරයකට අපි කවුරුත් කැමැත්තෝ වෙමු. එහෙත් අප කුඩා කල දුටු සුන්දර පරිසරය මඳින් මඳ අපෙන් ඈත් වන බවක් හැඟෙමින් පවතී.

එහෙත් අප විඳි සොඳුරු පරිසරය අනාගත පරපුර වෙනුවෙන් ද සුරැකිය යුතු බව කොතෙක් අය හඬ ගා පැවසුව ද ඒ වෙනුවෙන් ක්‍රියාකාරී වූවෝ අතේ ඇඟිලි ගණනින් ගිණිය හැකි තරම් ය.

කුණු කසල ඉවතලීමේ දී ඒවා කොටස්කර දිරන හා නොදිරන කුණු ලෙස බැහැරලීමට කොතෙක් උපදෙස් දුන්න ද ඒ ගැන කිසිම සංවේදීතාවක් නොදක්වන පිරිස් අප අතර කොතෙකුත් වේ. කුණු වෙන්කර බැහැරලීමට තරම්වත් නොසිතන ඔවුහු එය කුණු ගෙනයන අය හෝ නගර සභාවෙන් මෙය සිදු කළ යුතු යැයි සිතති. එහෙත් අපගේ යුතුකම වන්නේ අපගේ නිවෙසින් බැහැරලන කුණු කසල පවා නිසියාකාරයෙන් බැහැරලීම බව නොසිතනතාක් අප දියුණු ජාතියක් වන්නේ නැත.

දිරන කුණු කසල, වත්තක් ඇති අයට කොම්පෝස්ට් තැනීමට මෙන්ම ජීව වායුව නිපදවීමට ප්‍රයෝජනයට ගත හැකිය. එහෙත් ගෙවත්තක් ඇති අය පවා තම දිරන කුණුකසල ද නගර සභාවෙන් ගෙන යාමට එනතෙක් ගොඩගසාගෙන සිටිති.

ඉවතලන ප්ලාස්ටික් කුණුකසල අප හැමටම වදයකි. පරිසරය රැකගැනීම උදෙසා මෙන්ම මේ ප්ලාස්ටික් වසංගතයෙන් පරිසරය බේරා ගැනීම උදෙසා ද අපට කළ හැකි දේ බොහෝ ය. අවශ්‍ය වන්නේ මඳක් සිතා බලා කටයුතු කිරීම පමණි.

අප භාවිතයට ගන්නා ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය හැකි තරම් අවම කිරීමට අපට හැකියාව ඇත. ඒ සඳහා අනවශ්‍ය ලෙස භාවිතයට ගන්නා ප්ලාස්ටික් පොලිතීන් නවතා දමන්න. නැවත නැවත භාවිතයට ගත හැකි එවැනි බඳුන් හා බෑගයන් නැවත නැවත භාවිතයට ගන්න. මේ සියල්ලට අමතරව ඒවායින් නව නිෂ්පාදන සැකසීමට උත්සාහයක් ද ගත හැකිය. එයද මනාලෙස නොදිරන දෑ ප්‍රතිචක්‍රීය කරන ක්‍රියාවලියකි.

මෙවැනි ප්ලාස්ටික් බඳුන් විශේෂයක් ප්‍රතිචක්‍රීකරණය කොට නව නිෂ්පාදනයක් හඳුන්වා දීමට අපේ රටේ එක්තරා කණ්ඩායමක් සමත්ව සිටී. මෙමඟින් සිදු කරන්නේ ඉවතලන යෝගට් කෝප්ප පිරිසුදුකර ඒවායින් නව නිෂ්පාදනයක් ලෙස ගොවීනට අවශ්‍ය වන තවාන් බඳුන් සැකසීමයි. මෙම තවාන් බඳුන් අවුරුදු කිහිපයක් ම (අවුරුදු 10ක් පමණ) භාවිතයට ගත හැකි බැවින් එය නොදිරන ද්‍රව්‍යවලට හොඳ විසඳුමක් සපයයි.

ආහාරයට ගත් සැනින් යෝගට් කෝප්පය සෝදා ඉවතලීම මඟින් පසුව පිරිසුදු කිරීමේ දී අනවශ්‍ය ලෙස, අමතරව අපතේ යන ජලය ලීටර මිලියන ගණනක් රටට ඉතිරි කරගත හැකිය. මෙවැනි එක් තවාන් බඳුනක් සැකසීම සඳහා වැය වන යෝගට් කෝප්ප නිෂ්පාදනයේ දී කාබන්ඩයොක්සයිඩ් කිලෝ 90 ක් පරිසරයට මුදා හැරුණත් එක් බඳුනකින් ශාක 60 බැගින් වසර 10 ක් තුළ මාස 120 ක් පුරා ශාක 7200ක් උපත ලැබුවහොත් එම ශාක 7200න් එම කාලය පුරාවට කාබන්ඩයොක්සයිඩ් කිලෝ දහස් ගණනක් උරා ගැනීමෙන් කාබන් චක්‍රය ආපස්සට හැරවීමට දායක වීම ද නිතැතින්ම මෙමඟින් සිදුවේ.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ දී සමාජ හිතකාමී අරමුණු කිහිපයක් ම සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේ. පරිසරයට අහිතකර නොදිරන ද්‍රව්‍යයක් ප්‍රතිචක්‍රීකරණය මඟින් පරිසරය සුරැකීමට දායක වීම ඉන් පළමුවැන්නයි. ගොවීනට අවම මිලක් වැයකොට දීර්ඝ කාලයක් භාවිතයට ගැනීමට හැකියාව ඇති තවාන් බඳුන් මඟින්ගොවියන්ට වාසියක් අත්වීම දෙවැන්නයි. තෙවැන්න වන්නේ කාබන් චක්‍රය ආපස්සට හැරවීමට හැකි වීමයි. සිව්වැන්න වන්නේ නිවෙසේ සිටින රැකියා විරහිත අයට රැකියා අවස්ථා උදා වීමයි. යෝගට් කෝප්ප සෝදා එකතු කිරීම මඟින් කාන්තාවන්ට වුවද පහසුවෙන් ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබේ. මෙය නිවෙසේ සිටම මුදල් ඉපයීමට පහසු ම මර්ගයකි. මෙම ව්‍යාපෘතිය පසුගිය පෙබරවාරි 14 වැනි දින 'පරිසරයට ආදරය කරමු' යන තේමාව ඔස්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි. මෙය මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යංශය සමඟ එක්ව දීප ව්‍යාප්ත වැඩසටහනක් හරහා මෙය ඉදිරියට ගෙන යාම මෙම ව්‍යාපෘති ක්‍රියාකාරීන්ගේ අරමුණයි.

අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ලෝක සමුළුව මෙවර ලංකාවේ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පසුගිය දා පැවැති අතර එහිදී ප්‍රදානය කෙරුණු සම්මාන දෙකෙන් රෙකොග්නයිස් අවෝර්ඩ් ලෙසින් නම් කෙරුණු සම්මානයක් දිනා ගැනීමට ද මෙම ව්‍යාපෘතියට හැකියාව ලැබිණි.

තොරතුරු සැපයීම - මොඩර්න් පැක් ලංකා ආයතනයේ සාමාන්‍යාධිකාරී
ලහිරු විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.